This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
සුනඛයකු කළ හපන්කමක්...

වයස අවුරුදු එකොළහේ සිට අන්ධව සිටි නවසීලන්ත ජාතික ලීසා රිඩ්ට යළිත් දෙනෙතින් ලෝකය දැකීමේ වාසනාව හිමි වූයේ පුදුමාකාර ලෙසය. හිසේ හට ගත් ගෙඩියක් නිසා මුළුමනින්ම පෙනීම අහිමි වූ තමාට 2000 වසරේදී සිදුවූ සාමාන්‍ය සිදුවීමක් නිසා අහඹු ලෙස යළිත් පෙනීම ලැබිමේ පුදුමාකාර සිද්ධිය ලීසා පසුගිය දිනකදී පළමු වරට මාධ්‍යයට හෙළි කළාය. 

උපන්දා සිටතමන්ට හිමිව තිබූ පෙනීම ලීසාට අහිමි වන්නේ ඇගේ ඇසේ දෘශ්‍ය ස්නායුව තෙරපමින් හටගන්නා ගෙඩියක් නිසාය. එතැන් පටන් වසර දහතුනක් අන්ධයෙකු මෙන් දිවි ගෙවූ ඇගේ හොඳම මග පෙන්නන්නා බවට පත්වන්නේ ‘ඒමි’ නමැති සේවා සුනඛයායි. (විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට සහය වනු පිණිස ලබා දෙන විශේෂ පුහුණුව ලැබූ සුනඛයන් මෙනමින් හැඳින්වේ) ඇයට නොසිතූ ලෙස යළිත් ලෝකය දැකීමේ වාසනාව හිමි වන්නේද ඒමි නිසාය. ඒ 2000 වසරේ නොවැම්බර් 15 දාය. එදින රාත්‍රියේදී නින්දට යාමට පෙර සුපුරුදු ලෙස ඒමිව සිප ගැනීමට පහළට නැමුණු ලිසා දැඩි වේදනාවට පත්වන්නේ ඇගේ හිස අසලවූ මේසයක ගැටීම නිසයි. ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකර නින්දට ගිය ලීසාට පසු දින උදෑසන එළඹෙන්නේ ඇය කිසිදා නොසිතූ ආකාරයේ පුදුමයක් ගෙනෙමිනි. තමාට යළිත් පෙනීම ලැබි ඇති බව දැන ගත් එම මුල්ම අවස්ථාවේදී දැනුණු හැඟීම වචනයෙන් විස්තර කළ නොහැකි බව දැන් තිස්අට වන වියේ පසු වන ලීසා කියයි. වසර දහතුනක් මුළුල්‍ලේ අහිමිව තිබූ පෙනීම යළි ලැබිම කෙසේ සිදු වූවාද කියා විස්තර කිරීමට නොහැකි වුණත් ඒ වෙනුවෙන් තමා ඒමිට සදාකල් ස්තුතිවන්ත වන බව ලීසා කියන්නීය. පසුගියදා ලීසා තමා මුහුණ දුන් මෙම සිදුවීම මාධ්‍යයට හෙළි කළේ අන්ධව සිටි කාලයේදී තමාට බෙහෙවින් උපකාර කළ නවසීලන්ත අන්ධ පදනම විසින් වාර්ෂිකව පවත්වන අන්ධ පුද්ගලයන් උදෙසා වූ තෙසතිය නිමිත්තෙනි. අන්ධ පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා පදනමට අරමුදල් රැස් කරගැනීම මෙන්ම අන්ධභාවය පිළිබඳ දැනුවත් කිරීමද අන්ධ පුද්ගලයන් වෙනුවෙන් මෙබඳු සති තුනක් වෙන්කිරීමේ අරමුණයි.

ප්‍රියන්ති රුද්‍රිගු
උපුටා ගැනීම ලක්බිම