This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
ගස්වල සල්ලි තියෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ආදරෙයි

මේ කෝට්ටේ යුගයේ සාහිත්‍යයට හෝ මාතර යුගයේ සාහිත්‍යයට හෝ පේරාදෙණි සාහිත්‍යයට හෝ අයත් වැකියක් නොව ත්‍රීවිලර් සාහිත්‍යයට අයත් වැකියකි. මේ කතාව ඇත්තය. මෙය ඇත්තක් වූවත් එය කෙල්ලන් නොඑසේනම් ගැහැනු ළමයින්ගේ නුගුණයක් වශයෙන් හැඳින්වීමට මම ඉදිරිපත් නොවෙන්නෙමි. ඒ වෙනුවට එය ‘කෙල්ලන්ගේ’ හොඳ ලක්ෂණයක් වශයෙන් හැඳින්වීමට කැමැත්තෙමි. එනම් ගස්වල සල්ලි තියෙනවා නම් වඳුරන්ටත් ආදරේ වීම ගැහැනු ළමයින්ගේ හොඳ ලක්ෂණයකි. ගැහැනුන්ගේ හා පිරිමින්ගේ වෙනස එයයි. එනම් පිරිමි සල්ලි සෙවීමට බලාපොරොත්තු වෙති. එහෙත් ගැහැනු සල්ලි සෙවීමට බලාපොරොත්තු නොවෙති. ඒ වෙනුවට එය පිරිමින් ගෙන් බලාපොරොත්තු වෙති. මෙය යහපත් සිතිවිල්ලක් හා පැවැත්මක් නොවන්නේ ද? ගැහැනු සල්ලි හම්බ කිරීම ගැන එතරම් සිතන්නේ නැත. එහෙත් ඒ වෙනුවට ඔවුන් උනන්දු වන දේ තිබේ. ළමයින් බලා හදා ගැනීම, ගෙදර දොර අස්පස් කර පිරිසිදුවට අලංකාරයට තබා ගැනීම, රසට කෑම ඉවීම, අඟරදඟර පෑම එසේ උනන්දු වන දේ අතරට අයත් වේ. ඇත්තටම සල්ලි හම්බ කිරීම ගැන සිතනවාට වඩා මේ දේවල් ගැන සිතීම කොතරම් වටින්නේ ද? සල්ලිවලට වඩා මේ දේවල් කොතරම් වටින්නේ ද? ඉතින් ඒ දේවල් හරියට කරගෙන වාසය කිරීම සඳහා ඔවුන්ට සල්ලි සෙවීම ප්‍රශ්නයක් නොවිය යුතුය. සල්ලි ගස්වල තිබේනම් ඔවුහු වඳුරන්ටත් ආදරය කරන්නේ ඒ නිසා ය. කෙසේ වුවත් එය වඳුරන්ට ආදරය කිරීමකට වඩා ගැහැනු ළමයකු ලෙස තමන්ගේ යුතුකම් වගකීම් සමුදායට ආදරය කිරීමකි.

මේ කාරණය නොදැක ගැහැනුන් සල්ලි බලාපොරොත්තු වීම පිළිබඳව පිරිමි තරහ වෙති. අර ත්‍රීවිලර් සාහිත්‍යයට අයත් වැකිය තුළ පිළිබිඹු වන්නේ ඒ තරහයි. එහෙත් ඇත්ත කතාව ගැහැනු මෙසේ සල්ලි බලාපොරොත්තු වන්නේ සල්ලිවලට ඇති ආසාවට වඩා තමන් අතින් ඉටුවිය යුතුකම්වලට ඇති ආසාව හා ආදරය නිසාය. ඒ නිසාම ගැහැනු සල්ලි ගස්වල තිබේනම් වඳුරන්ටත් ආදරය කරති. මෙහි ඊළඟ අරුත ගැහැනු පිරිමින්ටත් වඩා තමන්ගේ යුතුකම්වලට ආදරය කරන බවය. එය කොතරම් දෙයක් ද? අප සිතා සිටින්නේ ගැහැනුන් වැඩියෙන්ම ආදරයකරන්නේ පිරිමින්ට බවය. එහෙත් ඇත්ත එය නොවේ. පිරිමි නම් වැඩියෙන්ම ආදරය කරන්නේ ගැහැනුන්ට බව ඇත්තය. එහෙත් ගැහැනු වැඩියෙන්ම ආදරය කරන්නේ තමාගේ වගකීම් හා යුතුකම්වලටය. මේ වනාහී ජීව විද්‍යාත්මක ගැහැනිය නොව සංස්කෘතික ගැහැනියයි. සැබවින්ම රටක් සමාජයක් රකින්නේ මේ ගැහැනු ගුණයයි. ඒ ගැහැනු ගුණයට ඉඩ ඇති පරිදි පිරිමින්ට හරි හම්බ කළ හැකිනම් පිරිමියකුට ඒ හැකියාව ඇතිනම් ඊටත් වඩා වාසනාවන්ත පවුලක් නැත. එවන් පවුල් සහිත රට තරම් ලස්සන රටක් ද නැත. සරච්චන්ද්‍ර මහතා මනමේ කතාවෙන් කියන්නට හදන්නේ ද ස්ත්‍රීය චපල බව ම පමණක් නොවේ. ඈ ආදරයට වඩා ඉබේම ආරක්ෂාව ගැන සිතන බවකි. ළඳ බොළඳ ස්ත්‍රියක් රැගෙන මහ වනයක් මැදින් යන්නට වීම මනමේ රජුගේ අවාසනාවයි. එවන් මහ වනයක් මැදින් ගමනක් යන්නට සිදු වේ නම් කළ යුතු හොඳම දෙය ඒ ගමනට ස්ත්‍රියක් එක් කර නොගැනීමයි. නොඑසේනම් මනමේ කුමරුට අත්වූ ඉරණම ඕනෑම අයකුට අත්වීමට ඉඩ ඇත. සරච්චන්ද්‍රයන් ප්‍රේක්ෂකයා වෙතින් ඉල්ලා සිටින්නේ ඒ දයාවයි. එනම් මිනිසත් බව ඒ සැටියෙන් තේරුම් ගැනීම තුළින් උපදින දයාවයි. ආදරය නොඑසේනම් ආසාව මෙන් ම තරහ ද උපදින්නේ අවබෝධයේ සීමා සහිත බව තුළිනි. සැබෑ ආදරය ඇතිවන්නේ අවබෝධය පුළුල් වීමත් සමඟය. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ගැන අප කතා කරන්නේ ඒ නිසාය. ආදරය සමඟ ම අප සොයා යා යුතු දේ බොහෝය. ත්‍රීවිලර් සාහිත්‍යයට අයත් ගස්වල සල්ලි තියෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ආදරෙයි යන වැකිය අපට බොහෝ දුරක් යාමට දොරටුවක් විවෘත කළේය. ඒ කුඩා වැකිය විසින් ගැහැනුන්ගේ චරිතයෙන් ක්‍රියා කලාපයෙන් සියයට අනූවක්ම ග්‍රහණය කරගැනීම එයට හේතුවයි. මෙසේ ත්‍රීවිලර් ආදියේ වාක්‍ය ලිවීම පිටරට ඇති ද යන්න මම නොදනිමි. සාහිත්‍ය පරිහානියක් ගැන කියවෙන නමුදු ත්‍රීවිලරයක් පිටුපස පවා සාහිත්‍ය පිටුවක් බවට පත්වීම එක් අතකට කියාපාන්නේ අපේ සාහිත්‍ය ළැදියාවයි. ඒ සමඟම සන්නිවේදනය උදෙසා පත්තර හෝ ෆේස්බුක්ම අවශ්‍ය නොවන බව ද ඉන් ගම්‍ය වේ. ඒ සමඟම මෙහිදී කියවෙන අනිත් කතාව විවිධ රූපවලට වඩා වචන මඟින් මවන රූප කොතරම් ලස්සන ද යන්නයි. එනම් ත්‍රීවිලරයක පිටුපස ඇඳිය හැකි මේ වාක්‍යයට වඩා ලස්සන රූපයක් අපට සිතාගත හැකි ද? ඉතින් දැන් පිරිමින්ට මට කියන්නට ඇත්තේ මෙයයි. හම්බ කිරිම නැතිනම් හරිහම්බ කිරීම ගැන වෙහෙසෙන්න. නැතිනම් කෙල්ලන් සල්ලි තියෙන ගස්වල වඳුරන් සොයා යනු ඇත. මෙහි වැදගත්ම කරුණ අපට ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දොස් කීමට නොහැකි වීමයි. එනම් ගැහැනුන් ලස්සන වන්නේ ද අපට ඔවුන් අවශ්‍ය වන්නේ ද ඔවුන් තුළ පවත්නා මේ සංස්කෘතික ගුණාංග නිසාය. අවසාන වශයෙන් පිරිමින් වන අප ද ආදරය කරන්නේ ජීව විද්‍යාත්මක ගැහැනියට නොව සංස්කෘතික ගැහැනියටයි. 

Silumina