🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සිංහල හින්දු අලුත් අවුරුද්ද


අළුත් අවුරුද්ද යනුවෙන් අදහස් කරන්නේ ගස් වල ඵල දරන, මල් පිපෙන දරණ වසන්ත කාලය එළඹීමයි. වසන්තය ලැබීමේ මෙම මංගල්‍ය සමරන්නේ ශ්‍රි ලාංකිකයන් පමණක් නොව, ජපානය, බුරුමය,තායිලන්තය, ලාඕසය‌, , ග්‍රීසිය, පෘතුගාලය, රොමේනියාව, ස්‌පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය වගේම උතුරු ඉන්දියාව ද සමරනු ලැබේ. බෞද්ධ දින දර්ශණයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමේ දිනය සිංහලයන් නව වසර උදාවීම ලෙස සමරනු ලැබේ. හින්දු මිත්‍යා හා ප්‍රබන්ධ කතාවලට අනුව සාමයට අධිපති කුමරා ලෙස සලකනු ලබන 'ඉන්ද්‍රදේව'පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම නව අවුරුදු උදාව සැලකේ.අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැඟී සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳ පොළවට වඩියි.ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ශණ බලය බිඳ දමා එය කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවතී. ආගම් දෙකක්, ජාතීන් දෙකක් එක්ව සමරන වර්ථමාන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස හැදින්වෙන මෙම සංස්කෘතික උත්සවයට ඒ නම ලැබීමද බොහෝම අපූරු කතාන්තරයකි.
සිංහල දින දර්ශණයට අනුව වසන්ත කාලය එළඹෙන නැතහොත් කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට ආරම්භ කරන දිනය අවුරුදු දිනයයි. එය අප්‍රෙල් මස 14 දිනට යෙදී ඇත. ශ්‍රි ලාංකික හින්දු ජාතිකයන් ද එදිනටම සිත්තර වර්ෂම් නැතිනම් සිත්තර පුත්තාන්ඩු නමින් උත්සවයක් පවත්වන අතර එම උත්සවයද සූර්යයා අරඹයා සිදු කරනු ලබන සංස්කෘතික මංගල්‍යයකි. බ්‍රාහ්මන ඉගැන්වීම් වලට අනුව බ්‍රහ්ම ලෝකයේ එක් දිනයක් මනුශ්‍ය ලෝකයේ අවුරුද්දක් වේ. ඒ අනුව හින්දූන් විසින් එම දිනය දහවල හා රාත්‍රීය ලෙස ලෙස බෙදා ඇත්තේ ජනවාරියේ තෛපොන්ගල් දිනයේ සිට ඔක්තො‍බරයේ අග දීපවාලිය දක්වා හිරු හොදින් පායන ඵල දරණ මල් පිපෙන කාලය දිවා කාලය ලෙසත් නොවැම්බර් මාසයේ සිට ජනවාරි දක්වා ඇති කොළ හැලෙන ශීත සමය රාත්‍රී කාලය ලෙසත්ය. අප්‍රේල් මස 13 හා 14 දෙදින අලුත් අවුරුද්ද ලෙස නිත්‍යනුකූලව ස්ථාපිතව ඇත්තේ 1886 දී අංක 4 දරණ නිවාඩු පනත නිසාය. 1986ට ප්‍රථමයෙන් අලුත් අවුරුද්ද සමරා ඇත්තේ අප්‍රෙල් 11 වන දිනය. මෙම පනතට අනුව අප්‍රෙල් 11 අප්‍රේල් 28 හා සැප්තැම්බර් 21 යන දිනයන් නිවාඩු දිනයන් ලෙස නම් කර ඇත. අප්‍රෙල් 28 වෙසක් දිනය නිවාඩු දිනයක් ලෙස සම්මත වීම නිසා හින්දූටද ආගමික නිවාඩු දිනයක් අවශ්‍ය බව එවකට පාර්ලිමේන්තු සභිකයෙක් ලෙස පත්ව සිටි පොන්නම්බලම් රාමනාදන් මහතා ප්‍රකාශ කර ඇත. මෙම විවාදයට අනුව හින්දූට ආගමික නිවාඩු නැති බව පෙන්වා දුන් අතර මෙට පිළියමක් ලෙස ලිච්මන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අප්‍රේල් 11 වැනිදා සිංහල අවුරුද්ද මෙන්ම හින්දුන්ගේ සිත්තර වර්ෂම් නැමැති ආගමික උත්සවය ඇති දිනය ද වන බවය. ඔහු විකල්ප දෙකක් ඉදිරිපත් කළේය.
එකක්‌ නම් බෞද්ධයන්ට වෙසක්‌ නිවාඩුව ලබාදී හින්දුන්ට අප්‍රේල් 11 සිත්තර වර්ෂම් නිවාඩුව ලබාදීමයි. අනික නම් මෙය සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව ලෙස නම් කිරීමය. අවසානයේ දෙවැනි විකල්පය සහිතව පමණත් කෙටුම්පත සම්මත විය. කෙසේ නමුත් සූර්යා මීන රාශියේ සිට මේශ රාශියට සංක්‍රමණය වීම අද සිංහල අළුත් අවුරද්ද ලෙස නම් කෙරේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන්නේ මධ්‍යම රාත්‍රියේ දී නොව නක්ෂත්‍රකරුවන් ලබා දෙන වේලාවටය. මීන රාශියේ සිට මේශ රාශියට ගමන් කරන නැකත් නැති කාලය පුණ්‍යකාලය නැතිනම් නොනගතය ලෙස නම් කරයි. මේ කාලයේ දී සිංහලයන් තම ආගමික වතාවත් වල නියැලෙමින් කටයුතු කරයි. අලුත් අවුරුද්දත් සමඟ ලිප දල්වා කිරිබත්, අතිරස, ආස්මි, කොකිස්, පැණිවලලු මුංකැවුම් ආදී රසකැවැලි සකසා සියලු අමනාපකම් දුරු කර නෑදැයන් අසල්වැසියන් හා හිතවතුන් සමඟ යලිත් හිතවත් කම් ගොඩනැගීම නව වසරේ ප්‍රධාන අභිමතාර්ථයකි. වසන්තය එළඹීම හා අස්වනු මංගල්‍ය සැමරීම වස් අලුත් අවුරුද්දට සමගාමීව චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරනවා මෙන්ම අවුරුදු ක්‍රීඩා කරමින් සතුට හා විනෝදය ලබා ගැනීමටත් පෙර සිටම සිංහල ගැමියා පුරුදු කොට ගෙන ඇත. කොට්ටපොර ගැසීම, පන්චො දැමීම, කනාමුට්ටි බිදීම, අලියාට ඇහැ තැබීම, ඔංචිලි වාරම් මෙන්ම චක්ගුඩු පැනීම ආදි ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩා ලොකු කුඩා සියලු දෙනා එක්ව ක්‍රීඩා කරන්නේ හුදෙක් විනෝදාස්වාදය පිණිසය. වර්ථමානය වන විට නවීන ක්‍රීඩා රැසක් බිහි වී ඇති අතර ගමෙන් ගමට අවුරුදු උත්සව ආදීය සමරනු ලැබේ.  සාමය, සෞභාග්‍ය, සාමුහිකත්වය ඔප් නංවන ජන සමාජයේ මුල් බැසගත් අලුත් අවුරුද්ද ආගමික සංස්කෘතික හා සමාජීය වශයෙන්ද ඒකාබද්ධ වූවකි. එකිනෙකා අතර අන්‍යෝන්‍ය සුහදතාවය වැඩි දියුණු කරන මෙවන් ගැමි සංස්කෘතික අංග රටේ දියුණුවටත් සමාජයේ සාමූහිකත්වයටත් මග කියන්නකි. දෙමාපියන්, දරුවන්, හිතවතුන්, නෑදැයන්, එකට එක් වන අලුත් අවුරුද්දේ වටිනාකම පසක් කරගෙන ක්‍රියා කිරීමත් ඉදිරි පරපුරට එය නොනැසී උරුම කර දීමත් අපේ යුතුකමක්ම වන්නේය. ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!!
සටහන : තිලිණි මිගහපල