🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

හින්දු දහම පිළිබඳ ඔබ දැනුවත්ද?

හින්දු දහම පිළිබඳ ඔබ දැනුවත්ද?

සැම කෙනෙක්‌ම එකිනෙකා ගේ ආගම් ගැන යම් තාක්‌ හෝ අවබෝධයක්‌ තිබීම රටක ආගමික සහජීවනයේ පැවැත්මට ඉතා වැදගත් වෙනවා. සෑම ආගමකම අපට ගතයුතු යහපත් දේවල් තිබෙනවා. අපේ රටේ කාහටත් බුදු දහම ගැන යම් අවබෝධයක්‌ තිබෙනවා. නමුත් අප හට අපේ රටේ අනිකුත් ජාතින් වන දමිල සහ මුස්‌ලිම් ජනතාවගේ ආගම් පිළිබඳ යම් අවබෝධයක්‌ තිබෙනවාද? මේ ලිපියෙන් මා අදහස්‌ කරන්නේ ඔබ හට හින්දු දහම ගැන යම් අවබෝධයක්‌ ලබාදීමටයි. 

ඔබ දන්නවාද ලොව පැරණිම ආගම ලෙස හඳුන්වන්නේ හින්දු ආගම බව. එය සනාතන ධර්මය ලෙස ද හැඳින්වෙනවා. එය වසර 3000 ක්‌ පැරණි බව පැවසෙනවා. බුදු දහම බිහිි වී ඇත්තේත් ඊට වසර 500 කට පමණ පසුවයි. ඒ වගේම ලොව ආගම්වලින් වැඩිම ජනගහනයක්‌ අදහන්නේ ක‍්‍රිස්‌තු ධර්මයයි. ලොව බිලියන 2.1 ක ජනතාවක්‌ ක‍්‍රිස්‌තු ධර්මය අදහනවා. දෙවැනි තැන ගන්නේ ඉස්‌ලාම් ධර්මයයි. ලොව ජනගහනයෙන් බිලියන 1.6 ක ජනතාවක්‌ මුස්‌ලිම් ආගම අදහනවා. 3 වෙනි ස්‌ථානය ගන්නේ හින්දු දහමයි. ලොව පුරා බිලියනයකට අධික හින්දු භක්‌තිකයන් සිටින අතර බෞද්ධයන් මිලියන 500 ක්‌ පමණ සිටිනවා. බුදුදහමේත් හින්දු ආගමේත් උපත ඉන්දියාවයි. හින්දු යන්නෙහි අර්ථය වන්නේ සින්දු නදිය ආශ‍්‍රිතව ජීවත් වූ යන්නයි. බුදු දහම මෙන්ම හින්දු දහමද අහිංසාව මුල් කොට ගත් දහමක්‌.බොහෝ හින්දුන් සත්ව ඝාතනය නොකරන අතර මස්‌ මාංශ ද අනුභව කරන්නේ නැහැ. හින්දු ආගමේ විශේෂත්වය අන් ආගම්වලට මෙන් ආගමික නායකයෙක්‌ නැහැ . ඔවුන්ගේ ධර්ම ග‍්‍රන්ථය භගවත්ගීතාව ලෙස හැඳින්වෙනවා. මෙහි වැකි 700 ක්‌ පමණ සඳහන් වෙනවා. මීට අමතරව වේද ග‍්‍රන්ථ , උපනිශාද, පුරණාස , ශ‍්‍රිති (අසා දැනගත්) ස්‌මිත‍්‍රි (මතකයෙන් ලබා ගත්) ධර්ම ග‍්‍රන්ථ ලෙස පිළිගැනෙනවා. මීට අමතරව මහාභාරතය සහ රාමායනයද හින්දු දහමට අදාළ පුරාවෘත්තින් සහිත ග‍්‍රන්ථයන් වෙනවා. මේවා අද අපේ රටේත් බහුතරයක්‌ අතර ඉතා ජනප‍්‍රිය වෘතාන්තයන් වෙලා තිබෙනවා. බුද්ධාගම නිර්වාණය කේන්ද‍්‍ර කොට ඇති අතර හින්දු ආගම කේන්ද‍්‍ර කොට ගෙන තිබෙන්නේ මෝක්‌ෂයයි එනම් නැවත උත්පත්තියක්‌ නොලබා ඉහළම ආත්මය සමග එක්‌වීමයි. මෙහිදී ඔවුන් විශ්වාස කරන්නේ මහා බ‍්‍රහ්මයන් ලොව පාලන කරන ඉහළම ආත්මය ලෙසයි. නමුත් මෙයත් නිර්වාණයට සමාන කරන්න පුළුවන්. බුදු දහම වගේම හින්දු දහම ද පුනරුත්පත්තිය පිළිගන්නවා. හින්දු දහමේ බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්‌ ලෙස හඳුන්වනවා. ඒ මගින් ඔවුන් බුද දහමට ගෞරව කරනවා.බුදුදහමේ මෙන්ම හින්දු දහමේද ආමිස පුජාවලට මුල්තැනක්‌ දෙනවා. ප‍්‍රතිමා වන්දනාව මේ ආගම් දෙකේම ලක්‌ෂණයක්‌. බුදු දහම මැවුම්කාර දෙවි කෙනකු පිළි නොගන්නා අතර දේවත්වයටද වැදගත් තැනක්‌ දෙන්නේ නැහැ. නමුත් දෙවියන්ට පින් දීම අනුමත කරනවා. තම සිතුවිල්ලම සියලූම දෙයට මුල්වේ යන්න බුදදහමේ අර්ථය වන අතර බුද්ධ ධම්ම සංඝ යන ත‍්‍රිවිධ රත්නයට සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය මුල් තැනක්‌ ලබාදී තිබෙනවා නමුත් හින්දු දහමේ මැවුම්කාර දෙවියන් මුල්කොට ගෙන විශාල දෙවි දේවතාවුන් පිරිසකට පූජා යාග හෝම පැවැත්වීම කරනවා. මෙහි දි ශිව දෙවියන් මුල් කොට අදහන පිරිස ශිවසම් ලෙසද විෂ්ණු දෙවියන් මුල් කොට අදහන පිරිස විෂ්නුවසම් යනුවෙන්ද ශක්‌ති දෙවියන් මුල් කොට වන්දනා කරන කොටස ශක්‌තිසම් ලෙස කොටස්‌ කිහිපයකට බෙදෙනවා. තවත් කොටසක්‌ භේදයකින් තොරව මේ සියලූම දෙවියන් අදහනවා. අද බෞද්ධයන්ද මෙම හින්දු දෙවිවරුන් අදහනවා. ඔවුන්ට පූද පූජා පවත්වනවා. විෂ්ණු, කතරගම ලක්‌ෂ්මි, සරස්‌වති, කාලි, ගණදෙවියන් මේ සියල්ලෝ ම හින්දු දෙවිවරුන් බුද දහමේ මෙන්ම දාන මාන ආදිය හින්දු ආගමේද පිරිනැමෙනවා දිනක ට දෙවරක්‌ පූජා තැබිය යුතු අතර එහිදි පවිත‍්‍රත්වයට එනම් පිරිසිදු සිරුර පිරිසිදු ඇඳුම් පිරිසිදු චිත්තය ට මුල් තැනක්‌ ගන්නවා. ධර්ම ප‍්‍රචාරය සඳහා හින්දු දහමේ වෙනම පිරිසක්‌ නැහැ. ධර්මය කියාදෙන්නෝ යෝගින්, සෘෂිවරුන්, පූසාරිවරුන් , ගුරුන් ලෙස හැඳින්වෙනවා. ආගම මනා ලෙස ප‍්‍රහින කල අය ආර්යන් ලෙස හැඳින්වෙනවා හින්දු ආගමේ ධ්‍යාන වඩන ලද සෘෂිවරයන්ගේ ඉතා වැදගත් කියමන් ශ්ලොකයන් ලෙස භාවිත කරනවා බුදුදහම පාලි භාෂාව ආශ‍්‍රිතව පිළියෙළ වු අතර හින්දු ආගම සංස්‌කෘත භාෂාවෙන් අලංකෘත වී තිබෙනවා ඔවුන්ගේ පූජාස්‌ථාන හැදින්වෙන්නේ කොවිල් ලෙසයි. සැම මිනිස්‌ ජීවිතයක්‌ම අවස්‌ථා 4ක ට බෙදෙන බව හින්දු දහමේ ඉගැන්වෙනවා . ඒ නම්, 

  • බ‍්‍රහ්මචර්යා : එනම් ශිෂ්‍ය අවධිය.
  • ග‍්‍රහස්‌ථා : එනම් විවාහ වන අවධිය.
  • වන ප‍්‍රස්‌ථා : විශ‍්‍රාම අවධිය.
  • ෂත්සායා : සියලූම දේ අත්හරින මහලූ අවධිය.

මේ ලෙස ජීවිතයේ බාල තරුණ මධ්‍යම සහ මහලූ යන අවස්‌ථා දැක්‌වෙනවා. ඒ වගේම,

  • ධර්ම : තමන් ගේ අභිමතාර්ථයන් සාධාරණව ඉටු කර ගැනීම.
  • අර්ථ : සෞභාග්‍ය.
  • කර්ම : ආශාව කාමය විනෝදය.
  • මොක්‌ෂ : නිවන යනුවෙන් ගිහි ජීවිතයේදි පිළිපැදිය යුතු ධර්මයන් දැක්‌වෙනවා. අපගේ පන්සිල් අටසිල් සහ ක‍්‍රිස්‌තු ධර්මයේ දස පනත මෙන් හින්දු ආගමේද දසවැදෑරුම් පනතක්‌ තිබෙනවා.
  • සත්‍ය : සත්‍ය පැවසීම සත්‍යම ප‍්‍රකාශ කර සිටිම.
  • අහිංසා : අවිහිංසාව සතුන් නොමැරීම කිසිවකුට හිංසා නොකරීම.
  • බ‍්‍රහ්මචාරි : කාම සේවනයෙන් සම්පූර්ණයෙන් වැළකීම සහ වැරදි කාම සේවනයෙන් වැළකීම.
  • අස්‌තෙයා : අනුන් සතු දේ ගැනීමෙන් වැළකිම සිතින් වත් කෙනෙකුගෙන් යමක්‌ ගැනිමට නොසිතිම.
  • අපරිග‍්‍රහ : තණ්‌හාවෙන් වැළකීම දූෂණයෙන් වැළකීම.
  • සෞචා : පවිත‍්‍රත්වය සිතෙහි සහ කයෙහි පවිත‍්‍රත්වය.
  • සන්තොෂ් : සතුට ලද දෙයින් සතුටු වීම.
  • ස්‌වාධියා : ධර්ම ග‍්‍රන්ථ පරිශීලනය භගවත් ගිතා වැනි ග‍්‍රන්ථ කියවීම.
  • තපා හෝ සධානා : නියමිත ලෙස ආගමික කටයුතු වල යෙදීම පැවරුණ කාර්ය නිසි ලෙස ඉටු කිරීම.

ඊශ්වර ප‍්‍රනිදාන්ඡ් දෙවියන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසය තැබීම ලොව විශාලම දේවාලය වන තිරුපති දේවාලය නාරයන දෙවිඳුන් (විෂ්ණු දෙවිඳුන්) සහ ලක්‌ෂ්මි දෙවිඳුන්ට කැප කරන ලද දෙවොලක්‌ ඉතා විශාල ජනකායක්‌ දිනපතා මෙම දෙවොල වන්දනා කිරීම සඳහා පැමිණෙනවා. ලොව විශාලම ආදායම ලබන්නේද මේ දෙවොලයි. අද අපේ රටේ ද දේශපාලඥයන් ව්‍යාපාරිකයන් සහ සමාජයේ පිළිගත් බොහෝ දෙනෙක්‌ වසරකට වරක්‌වත් මෙම දෙවොල වන්දනා කරනවා.

හින්දු දහම සහ ජ්‍යෝතිෂය : හින්දු දහම ජ්‍යෝතිෂයට ද වැදගත් තැනක්‌ දෙනවා. හින්දුන් සැම සුබ ක‍්‍රියාවක්‌ම කරන්නේ ජ්‍යෝතිෂයට අනුවයි. ජ්‍යෝතිෂයේ මවු බිමත් භාරත දේශය බව කියවෙනවා. ඔබ අසා ඇති ජීවිතය පිළිබඳ අකුරටම පැවසිය හැකි නාධි වාක්‍ය එයද හින්දු ජ්‍යෝතිෂය හා සම්බන්ධ වුවක්‌ මෙලොව බිහිවන සැමගේ උත්පත්තිය පැරණි සෘෂිවරුන් විසින් පාම් වර්ගයක කොලවල සඳහන් කර තිබෙන බව පැවසෙනවා. හින්දු දහම නවග‍්‍රහ පූජා වැනි දේටත් මුල් තැනක්‌ දෙනවා සැම කෝවිලකම වගේ නවග‍්‍රහයන්ට අධිපති දෙවිඳුන් උදෙසා පූද පූජා පැවැත්වෙනවා. බුදු දහමේ උවැසියන් සුදු වස්‌ත‍්‍රවලින් සැරසී පන්සල් යන අතර හින්දුන් විචිත‍්‍ර වර්ණයන්ගෙන් සැරසී කෝවිල් යනවා. මෙම සමහර බැතිමතුන් තම සිරුරට නොයෙකුත් වද හිංසා පමුණුවා ගනිමිින් දෙවියන් උදෙසා පූද පූජා පවත්වනවා . හින්දු ආගමේ ආභාෂය කෙතරම් අපේ රටට බලපැ ඇති ද කියතොත් අද අපේ පන්සල්වලත් මෙම දෙවිවරුන්ගේ දේවාල තිබෙනවා. සැම ප‍්‍රධාන පෙරහැරකටම මෙම දෙවිවරුන්ගේ දේවාලවල සහභාගිත්වය දක්‌නට පූළුවන් ලංකාවේ පෙරහැරක්‌ අවසානයේ සිදු කෙරෙන් දිය කැපීම් ද මෙම දහමේ අංගයන් වෙනවා. හින්දු ආගමේ පොල්වලටත් විශේෂ තැනක්‌ හිමි වනවා. පුජාවන් සඳහා පොල් තැබීම විශේෂ වනවා. ඒ වගේම පොල් ගැසීමද හින්දු චාරිත‍්‍රයක්‌. තවද පුෂ්ප පත‍්‍ර මල් මාලා කරි සඳුන් කුඩු සුභුති වැනි දෑ පූජාවල අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය වනවා . හින්දු දහමේ එළදෙනට හිමිිවන්නේ සුවිශේෂි ස්‌ථානයක්‌ ඇය ජනතාවට ආහාර සපයන්නියක්‌ ලෙස ඇගැයීමට ලක්‌වෙනවා පමණක්‌ නොව දෙවියන්ගේ වාහනයක්‌ ලෙස දේවත්වයෙන් සලකනවා. හින්දු සමාජයේ මවට හිමිවන්නේ සුවිශේෂි ස්‌ථානයක්‌. ඔවුන් මවට දක්‌වන්නේ දැඩි ගෞරවයක්‌ භක්‌තියක්‌. මවට දේවත්වයෙන් සැලකිය යුතු බව හින්දු ධර්ම ග‍්‍රන්ථවල සඳහන් වෙනවා බුදදහමේද ගෙදර බුදුන් අම්මා කියා හැඳින්වුවද අද අපේ රටේ නම් මවට එවන් තත්ත්වයක්‌ හිමි වී ඇති බවක්‌ පෙනෙන්නට නැහැ. හින්දු දහම සංගීතයත් නෘත්‍ය කලාවත් සමග බැඳී තිබෙනවා. ඔවුන්ගේ ගීතිකා ස්‌ත්‍රෝත‍්‍ර භජන් වැනි දෑ ඉතා මාදුර්ය වනවා. ඒ වගේම දේව පූජාවලදී බොහෝ දෙනෙක්‌ නෘත්‍ය පූජාවල ද යෙදෙනවා. දේවපූජාවලට බොහෝ සංගීත භාණ්‌ඩ යොදාගන්නවා. ඒ වගේම භාවනාව යෝගි ව්‍යායාම මෙන්ම ආයුර්වේදය ද බෙහෙවින්ම මෙම දහම හා සම්බන්ධ වී තිබෙනවා. ඔවුන් ඉතා දැඩි ලෙස වත්පිළිවෙත්වල බැඳී සිිටිනවා. විවාහය පොරොන්දුවක්‌ නොව ශුද්ධ වු දෙයක්‌ ලෙස පිළිගැනෙනවා. ඒ අනුව වත්පිළිවෙත් රැුසක්‌ ඉටු කෙරෙනවා. අවමංගල්‍යයකදී සිරුරු ඉතා චාම් ලෙස ආදාහනය කෙරෙනවා. දර සෑයකම දවාලනවා. මීට අමතරව හින්දු ආගමේ ලිංග පූජා විශේෂයෙන්ම ශිව ලිංග පූජාව දෙවිවරුන්ගේ පිළිමයන් පිරිසිදු ජලය සහ නොයෙකුත් සුවඳ සහ කරි වැනි ද‍්‍රව්‍යවලින් දෝවනය කිරිමත් හින්දු ප‍්‍රධාන ක‍්‍රියාවලියන් වෙනවා. දෙවියන් උදෙසා පලතුරු, කැවිලි පූජා ආදියට අමතරව ශබ්ද පූජා නෘත්‍ය පූජා ආදිය තැබීම එහි ලක්‌ෂණයක්‌. හින්දු ආගමේ තරම් පූජා උත්සව ඇති ආගමක්‌ නැති තරම්ය විශේෂ පූජා උත්සව 43 කට වඩා තිබෙනවා ඒවා එක එක ප‍්‍රාන්තවල වෙනස්‌ විදිහට සැමරෙනවා. බොහේ උත්සව පවත්වන්නේ දෙවිවරුන්ගේ ජන්ම දිනයන් සැමරීම උදෙසායි. මේවායේ විශේෂත්වය නම් පූජාවන්ට අමතරව නොයෙකුත් උපවාසවල යෙදීමයි. නමුත් ප‍්‍රධාන වශයෙන් උත්සව 4 ක්‌ තිබෙනවා. ඒවා නම් දීපවාලි, මහා ශිවරාත‍්‍රි, නවරාත‍්‍රි හෝලි සහ තෛයිපොන්ගල් දිපවාලි යන්නෙහි අර්ථය පහන් වැට යන්නය. මෙය පැවැත්වෙන්නේ ක‍්‍රිෂ්ණ දෙවිඳුන් සහ එම දේවිය විසින් නරක අසුරයා නම් යක්‌ෂයකු විනාශ කිරීම සැමරීමටයි තවත් පුවතක්‌ නම් රාම සහ සීතා දේවිය වසර 14 ක වනගත වීමකින් පසුව අයෝධ්‍යා නගරයට පැමිණීම සැමරීමට බවයි.

මහා ශිවරාත‍්‍රි ශිව දෙවියන් උදෙසා පැවැත්වෙන විශේෂ පූජෝත්සවයකි. ඒ වගේම තෛපොන්ගල් උත්සවය හින්දු ආගමික උත්සවයක්‌ නොවේ එය දමිල ජනතාවගේ උත්සවයකි එය දමිල ජනතාව වාසය කරන ප‍්‍රාන්තවල සහ ශ‍්‍රී ලංකාවේ සැමරෙනවා. එය සශ‍්‍රික අස්‌වනැන්නක්‌ ලබා දීම වෙනුවෙන් හිරු දෙවියන් ට ස්‌තුතිය පුද කිරිමේ සුර්ය මංගල්‍යයක්‌ එහිදි ඔවුන් තම නිවෙස්‌ කෙසෙල් සහ අඹ පත‍්‍රවලින් සරසමින් සහල්වලින් නොයෙකුත් චිත‍්‍රයන් බිම අඳිමින් හිරු උදාවත් සමගම නැවුම් මැටි බඳුන්වල කිරි උතුරවනවා. නව රාත‍්‍රියන් රාත‍්‍රි නවයක්‌ යන්නයි. මෙහිදි ශක්‌ති දෙවන වන්දනා මාන කරන අතර නෘත්‍ය පූජාද පවත්වනවා. හෝලි යනු තවත් ප‍්‍රධාන පෙළේ ආගමික උත්සවයකි. මෙහි විශේෂත්වය එකිනෙකා වර්ණවලින් නාවමින් නටමින් ගයමින් ඉතා විනෝදජනක ලෙස සමරන උත්සවයක්‌ වීමයි. මෙහි අරුත විෂ්ණු දෙවිඳුන්ගේ භක්‌තිවන්තයකු වන ප‍්‍රලාදි විසින් හෝලිකා නම් අසුර අගන විනාශ කර දැමීම සැමරීමයි. කුල භේදය ඉතා තදින් හින්දු සමාජයේ දක්‌නට ලැබෙනවා. අපේ සමාජයේ මෙන්ම පෙර හින්දු සමාජයේ එක්‌ එක්‌ පුද්ගලයන් කරන ලද කාර්යන් අනුව බ‍්‍රාහ්මණ ක්‍ෂත‍්‍රිය වෛශ්‍ය ක්‌ෂුද‍්‍ර චණ්‌ඩාල ලෙස වෙන්කර තිබෙනවා . අද හින්දු සමාජයේ එය දැඩි කුල භේදයකට තුඩු දී තිබෙනවා. බ‍්‍රාහ්මණ කුලය ඉහළම ලෙස පිළිගන්නවා. ඔවුන් වේද ග‍්‍රන්ථ පරිශීලනය කොට පූජා ආදි ආගමික කටයුතු කරන කොටසක්‌ ඊළඟට පිළිගන්නේ ක්‌ෂතිය කුලයයි මෙහිආරක්‌ෂක ක්‌ෂෙත‍්‍රවල අය සිටිනවා. මොවුන්ටත් වේද පරිශීලනය කරන්නට පුළුවන් තෙවැන්න වෛශ්‍ය නැත්නම් වෙළෙදාමේ යෙදෙන්නන් සිටින කුලයයි. ඔවුන්ටත් වේද ඉගෙන ගැනීමට පුළුවන්. අනෙක්‌ කුලවල අය කුල හීනයන් ලෙස හැඳින්වෙන අතර ඔවුන්ගෙ කාර්ය ඉහත සඳහන් කුල තුනෙහි අයට බැල මෙහෙවර කම් කර ජීවත් වීමයි. ඔවුන් ට වේද ඉගෙනීමද තහනම්ය. පූජා ස්‌ථානවලට පවා ඔවුන්ට යැමට තහනම් වෙනවා. හින්දු ආගමේ හින්දු භගවත් ගීතා වැනි ආගමික ග‍්‍රන්ථවල පවා මෙම කුල භේදය පිළිගෙන තිබෙන බැවින් එය එම සමාජයෙන් තුරන් කිරීම ඉතා අපහසු කාර්යක්‌ වී තිබෙනවා. තම කුලයට පිටින් විවාහයක්‌ කර ගතහොත් සමහර විට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවනවා. අහිංසක ආදරවන්තයන් රැුසක්‌ මෙවැනි අවස්‌ථාවලට මුහුණ දී තිබෙනවා. 

මා මේ ඉතා කෙටි වශයෙන් ඔබට ඉදිරිපත් කළේ හින්දු දහමේ බිරිඳක්‌ පමණයි. භගවත් ගීතාවලිය වැනි දේ පරිශීලනය කිරීමෙන් සහ හින්දු භක්‌තිකයන්ගෙන් ඔබට මේ පිළිබඳව වැඩිමනත් විස්‌තර ලබා ගන්නට පුළුවන්. බුදුදහමත් හින්දු දහමත් අතර ඇති සමානාත්මතාවය නිසාම අපට හින්දු භක්‌තිකයන් සමග මනා සබඳතාවක්‌ පැවැත්විය හැකි වෙනවා. අපේ රටේ ජීවත්වන බොහොමයක්‌ දමිල ජනතාව හින්දු භක්‌තිකයන් නිසා ආගමික පමණක්‌ නොව ජාතික සහජීවනයට ද එය ඉතා වැදගත් වෙනවා. 

උපුටා ගැනීම දිවයින