This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
අලුත් විදිහට හිතමු. අපි කවුරුත් හොඳ මිනිස්සු

පුද්ගල ජීවිතය යනු සමාජානුයෝජනයක ප්‍රතිඵලයකි. දැනුම, ආකල්ප සහ කුසලතා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යනු ලබන්නේ ඉගැන්වීම, ඉගෙනීම සහ සමාජානුයෝජනය මඟිනි. මේ සඳහා වගකීම ඇත්තේ ප්‍රධාන වශයෙන් දෙමාපියන්ට වන අතර ඔවුන් පූර්ව ආචාර්ය ලෙස හැඳින්වෙන්නේ ඒ නිසාවෙනි. දෙමාපියන්ට දරුවන් සම්බන්දව දිය හැකි වැදගත් ම දේ වන්නේ දරුවකු තුළ ස්වසංකල්පය පෝෂණය කිරීමයි. ස්වසංකල්පය යනු යම් පුද්ගලයෙකු තමන් පිළිබඳ සිතන ආකාරයයි. තමා කෙබඳු කෙනෙක් දැයි හඳුනාගැනීම ජීවිතය සාර්ථක කර ගැනීමට බලපාන ආකාරය ගැන හොඳ ම නිදසුන් අපට හමුවන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ ජීවිත කතාව තුළිනි. 

පාසලේ පසුගාමී ශිෂ්‍යයෙකු වූ එඩිසන් කොතරම් දුර්වලද යත් ඔහුගේ පංති භාර ගුරුවරයා එඩිසන්ගේ මවට ලිපියක් ලියමින් කියා සිටින්නේ මෙම දරුවා පංතියේ තබා ගැනීමෙන් අනෙක් සිසුන්ට හානියක් වන අතර පංතියේ ඉගැන්වීම්වලට ද බාධාවක් වන බැවින් පාසලෙන් අයින් කරගෙන ගෙදර නවත්වා ගන්නා ලෙසයි. මෙම ලිපිය තම මවගේ අතට දුන් එඩිසන් කුතුහලයෙන් බලා සිටින බව දුටු එඩිසන්ගේ මව ලිපියේ අඩංගු කරුණු මඳක් වෙනස් කර මෙසේ පැවසීය. “ඔබේ දරුවා ඉතාමත් දක්ෂයෙක්. අපේ පාසල ඔහුට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා දරුවා නිවසේ රඳවාගෙන උගන්වන්න.” මේ ලියමන තුළින් තමා පිළිබඳ අදහස තේරුම්ගත් එඩිසන් ලෝක පූජිත නිර්මාණ කරුවෙකු වන්නේ තම මවගේ ඥානයේ මහිමය නිසාවෙනි. මේ අනුව දෙමාපියන් මෙන් ම ගුරුවරුන් දරුවකුගේ අනාගතය නිර්මාණය කිරීමේ වගකීම් සහිත අය වෙයි. දැනුම පිළිබඳ අදහස යම් දුරකට වෙනස් වෙමින් පැවතිය ද දෙමාපියන් සහ ගුරුවරුන් සතු කාර්යභාර්යය අවතක්සේරු කළ නොහැක. එසේ ම පොලීසිය, බන්ධනාගාරය, උසාවිය තුළින් ද සිදු විය යුත්තේ පුද්ගලයින් නිවැරදි කිරීම ය. මේ සඳහා ඔවුන් සතු හැකියා, කායික ස්වරූපය මෙන් ම සමාජ පිළිගැනීම පිළිබඳ අදහස් වෙනස් කරගැනීමට උදව් කරගැනීම තුළින් නිවැරදි, රටට වැඩදායි පුද්ගලයෙකු නිර්මාණය කරගත හැකි වේ. ස්වසංකල්පය යනු පුද්ගලයා ඔහු පිළිබඳව සත්‍ය ලෙස සලකනු ලබන වටිනාකම්, විශ්වාසයන්ගෙන් සකස් වූ සංකීර්ණ ක්‍රියාකාරී පද්ධතියකි. එය වෙනස් විය හැකි අතර වෙනස් කළ හැකි වීම විශේෂත්වයයි. අංගුලිමාල නමින් අහිංසක වෙනස් වන්නේ මෙතන දී. ගුරුවරයා වෙනුවෙන් මිනීමරුවෙකු වෙන්න ඔහුට හයිය දුන්නේ ස්වසංකල්පයයි. ඒත් එක්කම බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් වෙන්නත් ඔහුට හැකි වුණේ මේ ස්වසංකල්පය වෙනස් කරගැනීම නිසායි.

ගෝනවල සුනිල්ලා, සොත්ති උපාලිලාගේ පටන් කැටම් චින්තකලා, පාලංකඩ හින්නලා මෙන් ම සමයංලා බිහි කළ පාතාල අර්ථය ඇත්තේ මෙම ස්වසංකල්පය තුළයි. ලංකාවේ බන්ධනාගාරවල සිදුවන්නේ අහිංසකයින් අපරාධකාරයින් බවට පත්කරන අධ්‍යාපනික සහ සමාජ, සංස්කෘතික ක්‍රියාවලියකි. බන්ධනාගාරයට ගිය අයෙකු නිවැරදි පුද්ගලයෙකු වීමට වඩා ඉඩහසර විවිර වනුයේ අපරාධකාරයෙක් බවට පත්වීමටයි. අයි ආර්සී හෙවත් එක අපරාධයකට වඩා වැඩි අපරාධ කළ විත්ති කරුවන් නිර්මාණය වීමේ රහස් ඇත්තේ මෙම බන්ධනාගාර සංස්කෘතිය තුළයි. තමන්ට පවරා දෙන පාතාල සංකල්පය පෝෂණය කිරීම; ඔවුන් ලවා තම කාර්යයන් කරවා ගන්නා දේශපාලකයින්ටත් ව්‍යාපාරිකයින්ටත් අවශ්‍ය වේ. අවසානයේ තමා පාතාලයේ චණ්ඩියෙකු ලෙස සංජානනය කර ගන්නා අතර ඒ අනුව ක්‍රියා කරනු දැකිය හැකියි. ස්වසංකල්පය ගතික හෙවත් වෙනස් කරගත හැකි දෙයක් වන අතර ම එය ඇගයීමට ලක් කළ හැකි වීම අනෙක් විශේෂත්වයයි. සමාජයක් ලෙස නිවැරදි වූ මිනිසුන් ඇගයීමට ලක් කිරීමක් අපට නුහුරු දෙයකි. ජාතියක් ලෙස අපට අනෙකෙකු වෙනුවෙන් ඇගයීමක් කිරීමට තම වචන යෙදවීමට බැරි කුහකකමක් නායකත්වයේ සිට පුරවැසියා දක්වා සියලු රාජ්‍ය අංශවල පවතී.

පෞද්ගලික අංශය තුළ තම අරමුණු සඳහා මෙහෙයවීමට ඇගයීම භාවිත කළ ද සමාජයක් ලෙස පුද්ගලයෙකු දිරිගැන්වීම, අභිප්‍රේරණය කිරීම පිළිබඳව අප සිටින්නේ කණගාටුදායක තැනක ය. විදේශිකයින් සමඟ ඇසුරු කරන විට අභිප්‍රේරණය කොතරම් දුරට ඔවුන්ගේ ජීවිතය සමඟ බද්ධ වී ඇත්දැයි නිරීක්ෂණය කර බලන්න.

දෙමාපියන් දරුවන්ට නිතරදෙවේලේ “එපා”, “ඔයාට බැහැ”, “මොඩයා” වැනි අභිප්‍රේරණයන් දීමෙන් සිදුවන්නේ කුඩා කල සිට ම දරුවන් තුළ දුර්වල මානසිකත්වයක් ඇති වීමයි. එසේ ම පාසල තුළ ඇති විභාග තරගය තුළින් දරුවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන අතර එක් කොටසක් ඉගෙන ගන්නා පිරිස වන අතර අනෙක් කොටස වැඩ බැරි කොටස වේ. විෂය සමගාමී මෙන් ම විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් පද්ධතිය තුළ වැඩි වැඩියෙන් තිබිය යුත්තේත් සමස්ත පාසල් ශිෂ්‍ය ප්‍රජාව ම අභිප්‍රේරණය කිරීමට වුවද පාසල් පද්ධතියෙන් එය සිදු නොවේ. මේ නිසා පාසලෙන් එළියට එන බහුතරයක් ස්වසංකල්පය ලෙස ත්‍රී වීලර් රියදුරන්, මදාවියන්, පාතාලකාරයන් සංජානනය කර ගැනීම වැළැක්විය නොහැකි වී තිබේ. මෙවැනි දරුවෙකු පාතාලයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්, කුඩු කාරයන්, හොරුන් හෝ අපරාධකරුවන් ලෙස තම ස්වසංකල්පය සංජානන කරගැනීමට ඇති ඉඩ අති මහත් ය.

පාසල තුළින් සිදු විය යුත්තේ පාසල තුළට පැමිණෙන සෑම දරුවකුට ම අනාගතය සඳහා ස්වසංකල්පය ඇති කර ගැනීමටත් එය පෝෂණය කරගැනීමටත් ඉඩක් විවර කර දීමයි. මෑත වසර 13 තුළ කියුබාවේ එකඳු ස්ත්‍රී දූෂණයක් වාර්තා නොවූයේ කියුබානු අධ්‍යාපන ක්‍රමය තුළින් ගොඩනඟන දරුවන්නේ ආත්මය නිසාවෙනි. ආත්මීය හෙවත් අභ්‍යන්තරයෙන් පැනනඟින ජීවිතය පිළිබඳ අදහස ජීවිතය අර්ථවත් කරනු ඇත. මෙය නිර්මාණය විය යුත්තේ සියලු ම දරුවන්ගේ මනස තුළයි. එය ස්වසංකල්පය වේ. අපි අධ්‍යාපනය නැවතත් පර්වර්තනය කරමු. ලංකාව වෙනස් කළ හැක්කේ අධ්‍යාපනයෙන් පමණයි. අලුත් විදිහට උගනිමු.

උපුටා ගැනීම දිනමිණ