🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නිරෝගී නැති කිසි කෙනෙක් ලස්සන නැහැ

නිරෝගී නැති කිසි කෙනෙක් ලස්සන නැහැ

අප දිනෙන් දින වසරෙන් වසර වයසට යන විට තුරුණු බව ක්‍රමයෙන් අතුරුදන් වේ. මුළු ජීවිත කාලයම තාරුණයෙන් පිරිපුන්ව සිටීමට අප සියලුදෙනාම කැමැතිය. නැතහොත් වයසට යෑම අප කැමැත්තෙන් ඉවසා සිටින දෙයක් නොවේ. විශේෂයෙන් කාන්තාවන් පිරිමින්ට වඩා තරුණ පෙනුම කෙරෙහි සංවේදීය ඔවුන් හැම විටම සුන්දරව සිටීමට කැමැති වෙනවා වගේම රුව ආරක්ෂා කරගැනීමට ඕනෑම කැපකිරීමක් කිරීමටද පෙලඹේ. මේ නිසාම විවිධ රූපාලංකරණ ක්‍රම අනුගමනය කිරීමටත් ඒ වෙනුවෙන් අධික වශයෙන් මුදල් වියදම් කිරීමටත් ඔවුන් පසුබට නොවේ. මේ සියලු රූපාලංකරණ ක්‍රම මගින් ඔවුන්ගේ බාහිර පෙනුම ඔපමට්ටම් කරනවා විනා ඒවා ඔවුන්ගේ වයසට යෑමේ ක්‍රියාවලීන් (Aටැසබට චරදජැිි) කෙරෙහි කිසිදු බලපෑමක් නොකරයි. 

නිරෝගීකම : සුන්දර රූ සපුවක් ලැබීමට අවශ්‍ය ප්‍රමුඛ සාධකය වන්නේ නිරෝගී ශරීරයකි. නිරෝගී නොවන කිසිදු කෙනකු සුන්දර නොවේ. මේ අනුව නිරෝගී මෙන්ම සුන්දර ආකර්ෂණය සිරුරක් ලබාගැනීමට අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් දක්වා ඇත. ආයුර්වේදයට අනුව නිරෝගී බව යනු කායික, මානසික මෙන්ම ආධ්‍යාත්මික සංහිඳියාවේ ප්‍රතිඵලයකි. රෝගවලින් වැළකී සිටීම පමණක් නිරෝගී බව නොවේ. කායික මෙන්ම මානසික නිරෝගීතාව සාක්ෂාත් කරගැනීම සඳහා ඉතා වටිනා උපදෙස් මාලාවක් ලසද්වෘත්තල වශයෙන් දක්නට ඇත. එනම් දිනපතා කෙනකුගේ එදිනෙදා කටයුතු සැලසුම් කරගන්නා ආකාරය උදෑසන නින්දෙන් අවදිවූ අවස්ථාවේ සිට නැවත රාත්‍රියේ නින්දට යන මොහොත දක්වාම ඉතා ක්‍රමවත්ව දක්වා ඇත. එමෙන්ම ආධ්‍යාත්මික නිරෝගීතාව (Spiritual well being) පවත්වා ගැනීම සඳහා ලසද්වෘත්තල ලෙස හඳුන්වන සිරිත් විරිත් හා ඇවතුම් පැවතුම් සමුදායක් දක්වා ඇත. මේ සියල්ල මනා ලෙස අනුගමනය කිරීමෙන්, ඔබ වයසට ගියද සැමදා තරුණ පෙනුමෙන් ලබාගත හැකිය. එමෙන්ම වයස්ගත වීමත් සමග ඇතිවන විවිධ රෝග අවස්ථාවන් ඇති නොවී සැමදා නිරෝගීව ජීවත් විය හැකිය. 

මවු පදවිය ලද පසු : විශේෂයෙන්ම, කාන්තා ඔබ විවාහයෙන් පසුව විශේෂයෙන් මවක් වීමෙන් පසුව ඔබගේ නිරෝගී බව මෙන්ම සුන්දරත්වය කෙරෙහි අඩු සැලකිල්ලක් ඇතිවීම නොරහසකි. ඒ වෙනුවෙන් ඔබට සඳහන් කිරීමට ඕනෑ තරම් හේතු තිබිය හැකිය. එහෙත් ඔබ ඔබගේ වගකීම් ඉටුකරන ගමන්ම, කිසියම් සංවේදී බවක් පහත සඳහන් කරුණු කෙරෙහි දක්වන්නේ නම් කිසිදු අමතර මහන්සියකින් තොරව, කිසිදු වියදමකින් තොරව නිරෝගී, තෘප්තිමත් තරුණ පෙනුමක් ඔබට ඔබගේ ජීවිතය පුරා අත්විඳිය හැකිය. 

ආහාර ඉතා වැදගත් : ඔබගේ ආහාර වේල කුසගින්නේ තරමට ගැළපෙන්නක් විය යුතුය. උදේ ආහාරය අංගසම්පූර්ණ ආහාර වේලක් ලෙස ලබාගැනීමට වග බලාගන්න. මේ අතර දිවා ආහාරය සහ රාත්‍රි ආහාරය ක්‍රමයෙන් ප්‍රමාණයෙන් අඩු ආහාරයක් වීමට වග බලාගන්න. දිවා ආහාරයට පසු පමණක් අතුරුපසක් ගන්න. වැඩි වැඩියෙන් එළවළු, අලුත් පලතුරු ආහාරයට ගන්න. පලතුරු සීනි ප්‍රමාණය අඩු එහෙත් කෙඳි වැඩි පලතුරක් නම් වඩා හොඳයි. එළවළු වර්ග තද කොළ පැහැති ඒවා නම් ඒවා පෝෂණ ගුණයෙන් වැඩිය. වැඩි වැඩියෙන් ධාන්‍ය වර්ග ආහාරයට ගන්න. මස් වර්ගවලට වඩා මාළු ආහාරයට ගැනීමත් වැදගත්. රාත්‍රි ආහාරයෙන් පසු පැණිරස ආහාර ගැනීමෙන් වළකින්න. සීනි හා ලුනු හැකිතාක් අඩුවෙන් පරිභෝජනය කරන්න. මාගරින් වැනි අධික කොලෙස්ටරෝල් අඩංගු මේද වර්ගවලින් වළකින්න. ආහාරය සමග වැඩිපුර ජලය පානය නොකළ යුතුය. එමෙන්ම ආහාරයට පසුව සුළු වේලාවක් ඇවිදීමට හැකි නම් එය ඔබගේ සෞඛ්‍යවත්භාවයට මෙන්ම තුරුණු බව ආරක්ෂා කිරීමට වැදගත් වේ. 

දිනපතා ව්‍යායාම කරන්න : වයසත් සමග ඇතිවන බොහෝ ශාරීරික අපහසුතාවන් හා රෝග ආබාධවලට ප්‍රධාන හේතුවක් වන්නේ ක්‍රමවත් ව්‍යායාම අනුගමනය නොකිරීමයි. ව්‍යායාම මඟින් රෝග වළක්වාගැනීමට හැකියාව ලැඛෙනවා පමණක් නොව ශරීරය තරබාරු වීමෙන් වළක්වා ගැනීමට හැකි වෙනවා. ශරීරය ශක්තිමත් වෙනව වගේම තුරුණු බව ආරක්ෂා වෙනවා. විනාඩි 35ක පමණ කාලයක් අඩුම වශයෙන් සතියකට දින තුනක් මෙම ව්‍යායාමවල යෙදීම ප්‍රමාණවත්ය. ශරීරය ශක්තිමත් කරන ව්‍යායාම මෙන්ම හෘදය ක්‍රියාකාරී වන ව්‍යායාමද, ශරීරයේ නම්‍යශීලී බව පවත්වා ගැනීමට ඉවහල්වන ව්‍යායාමද සංකලනයකින් යුතුව කිරීම වැදගත්ය. මෙම ව්‍යායාම අතර, ඇවිදීම, පිහිනීම, බයසිකල් පැදීම මෙන්ම යෝග අභ්‍යාසවල නිරතවීම කළ හැකිය. විශේෂයෙන්ම යෝග අභ්‍යාසවල සඳහන් සුමට ආසන කීපයක් පුහුණුවීමෙන් ව්‍යායාම කිරීමෙන් බලාපොරොත්තුවන සියලු ප්‍රතිඵල ලැබේ. ප්‍රමාණය ඉක්මවා ව්‍යායාමවල යෙදීම යෝග්‍ය නොවේ. එමෙන්ම අධික වෙහෙස ගෙන දෙන සංකීර්ණ ව්‍යායාමවල නොයෙදිය යුතුය. ව්‍යායාම නිසා ශරීරයේ හැඩය ආකර්ෂණය වේ. අනවශ්‍ය මේද ඉවත්වී තරබාරු වීමෙන් වළකී. 

අමතර පෝෂ්‍ය පදාර්ථ : වයස්ගතවීමත් සමඟ ශරීරයේ පටක දිරාපත්වීම වැඩිවේ. එමෙන්ම එම දිරාපාත්වීම හේතුවන මුක්තඛණ්ඩ නිපදවීම වේගවත් වේ. එම නිසා නිරෝගී පැවැත්ම මෙන්ම මෙම මුක්තඛණ්ඩ උදාසීන කළහැකි අමතර පෝෂ්‍ය පදාර්ථ ලබාගත යුතුය. මේ සඳහා හැකිතරම් ශාකමය ද්‍රව්‍ය කෙරෙහි ප්‍රමුඛත්වය දීම වැදගත්ය. අලුත් පලතුරු වර්ග ආහාරයට ගැනීම, විවිධ විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථ බහුල කොළ කැඳ පිළියෙල කර සතියකට කිහිප වරක්වත් ආහාරයට ගැනීමට කටයුතු කරන්න. කොළ කැඳවල අඩංගු ෆිනොලික සංයෝග නිරෝගී පැවැත්මට දායක වේ. මේ ආකාරයට අලුත් එළවළු, පලතුරු පලා වර්ග මෙන්ම කොළ කැඳ ආහාරයට ගැනීමෙන් තරුණ බව ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක ශරීරයට ලැබීමෙන් තරුණ බව ආරක්ෂා වේ. සම සුන්දර වේ. ඇස් පෙනීම යහපත් වේ. 

ආතතිය පාලන කිරීම : වර්තමානයේ කාන්තාවන් විවාහ වූ සමාජ ආතතීන්ට වෙනදාටත් වඩා භාජන වේ. ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය, පවුල් දිවියේ ස්වභාවය, කාර්යබහුල බව, වෙනත් ආර්ථික ගැටලු ඇය කායික මෙන්ම මනසින්ද වෙහෙසට පත්කර වියපත් කිරීමට හේතුවේ. මේ සඳහා ආතතිය මගහරින උපක්‍රම යොදාගැනීම වැදගත් වේ. ආගමානුකූල ජීවිතයත් ගත කිරීම. ප්‍රිය කරන සංගීතයට සවන්දීම මෙන්ම යෝග අභ්‍යාසවල සඳහන් ලප්‍රාණයාමල ක්‍රම අනුගමනය කිරීමෙන්ද ආතතිය පාලනය කරගත හැකිය. ප්‍රණයාම යනු හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් කරනු ලබන සරල භාවනාවන් ක්‍රියාවලියකි. මේ මගින් මනස සන්සුන් කරන අතරම, නින්ද යෑම ක්‍රමවත් වේ. වයසත් සමග ඇතිවන අමතකවීම් මගහැරී යයි. සිරුර ප්‍රසන්න වේ. දකින්නා ප්‍රියමනාප වේ. 

හෝමෝන ක්‍රියාකාරීත්වය : වියපත් වන විට ශරීරයේ විවිධ අත්‍යවශ්‍ය හෝමෝන වර්ග ක්‍රමයෙන් අවප්‍රමාණය වෙයි. විශේෂයෙන් වර්ධක හෝමෝනය ද ගැහැනුන්ගේ ඊස්ට්‍රජන් හා පිරිමින්ගේ ඇන්ඩ්‍රොජන්ද එසේ අවප්‍රමාණය වේ. මේ තත්ත්වය මඟහරවා වයසත් සමඟ ඇතිවන මෙම අව ප්‍රමාණයවීම නැවැත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනුගමනය කළ හැකි පියවර කීපයක් වේ. රාත්‍රි කාලයේදී වැඩිපුර වර්ධන හෝමෝනය ස්‍රාවය වේ. එම නිසා සුවපහසු නින්දක් රාත්‍රියට ලැබීම වැදගත් වේ. මේ නිදන පරිසරය තද අඳුරේ තිබීමද වර්ධක හෝමෝනය වැඩිපුර ස්‍රාවය වීමට හේතුවේ. ක්‍රමානුකූල ව්‍යායාම්වල නිරතවීමද ශාරීරික හෝමෝන ස්‍රාවය විධිමත් වීමට බලපායි. අධික කැලරි අඩංගු ආහාර අවම කිරීමෙන්ද වර්ධන හෝමෝනය වැඩිපුර ස්‍රාවය වේ. වර්ධක හෝමෝනය විශේෂයෙන්ම ශරීරය තරුණු බවෙහි රඳවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන රසායනිකයෙකි. ආයුර්වේදයේ සඳහන් ලවයස්ථානල ඖෂධ අඩංගු විවිධ රසායන ඖෂධ ක්‍රමානුකූලව ගැනීමෙන්ද මේ ශරීරය තිරිහන් කරන හෝමෝන ස්‍රාවය යථා තත්ත්වයට පත් කළ හැකි බව විවිධ පරීක්ෂණවලින් සොයාගෙන ඇත. විශේෂයෙන්ම නෙල්ලි හා හාතාවාරිය අඩංගු ඖෂධ කාන්තාවන්ගේ මාස් ශුද්ධිය නතරවීමත් සමග ඇතිවන හෝමෝන අසමතුලිතතාව මගහරවා එම`ගින් ඇතිවන විවිධ අපහසුතා පාලනය කරගැනීමට හේතුවේ. මේ ආකාරයට තුරුණු බව සැමදා පවත්වා ගැනීමට නම් කෙනකුගේ ජීවිත පැවැත්ම, ආහාරපාන මෙන්ම නිරෝගීකමද හේතුවන බව පැහැදිලිය. එමෙන්ම මානසික සංහිඳියාවද තරුණ බව රැකගැනීමට අවශ්‍ය විශේෂ කාරණයකි. මේ සියල්ල ළගා කරගත හැක්කේ සරල ස්වාභාවිකත්වයට ලැදි ජීවන ක්‍රමයක් අනුගමනය කිරීමන් පමණි. 

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම