🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ෆේස් බූකියේ පින්තූර කොළම

ෆේස් බූකියේ පින්තූර කොළම

ෆේස් බූකියට සැට් නෙවෙන කොල්ලෙක් කෙල්ලෙක් මහල්ලෙක් මැහැල්ලක් නැති තරම්. සියළු දේ විකිනෙන ලෝකෙක නොමිලේ ගන්න දෙයක් වේද ඒ දේ ගන්න පසුබට නොවන මානවයා මොකෙද්ද? සමහර විට ඒකා ගොඩයා මෝඩයා විය හැකිය. ඉතින් නොමිලේ ෆේස් බූකියට ගොඩ වදින ෆේස් බූකියනට පුදුමා කාර වින්දනීය ලෝකයන්ට ගමන් කරන්නට ගත වෙන්නේ ඉතා සුළු කාලයක්. මේක හරියට අර ලෝක වලට මඟ විවෘත කොරන පොට් එකක් (දොරක්) කිව්වත් වරදක් නෑ කියලයි මටනම් හිතෙන්නේ. ෆේස් බූකියත් හරිම පුදුමාකාරයි! මනුස්සයෙක්ගේ ඕනෑ එපා කම් සියල්ලක්ම පාහේ පිරිමහන්න තරම් මේක තෝතැන්නක්. ඇත්තටම පාරෙදි දැකල ඔරවල අහක බලන් යන උදවිය ෆේස් බූකියේ හායි! බායි! කියා ගත්තු ගමන් තමයි. ඔන්න 80 ගණන් වල කොල්ලෙක් කෙල්ලෙක්ට ඇඩ්‍රෙස් එකක් දුන්නා සමහර විට හදිසියෙන ටැලිෆෝන් නොම්බරෙකුත් දෙන්නැති. ඔහොම කාලය ගත වෙලා කොල්ලා කෙල්ලට දෙනවා මොබයිල් නොම්බරේ දැන් ඉතින් ස්කයිප් කියාවි.. ෆේස් බූක් Id එක කියාවි. ඔව්වා නැත්නම් එකේ ගැම්මකුත් නෑ වගේ වෙලා. තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉස්සරහට යන ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ වැඩිහිටි පරම්පරාව අපේ බාල පරම්පරාව සන්තෝස වෙනවා උදම් අනනවා... ඇත්තටම මේ වෙන පරිහානිය ගැන කිසිම දැනුවත් කමක් නෑ. පරිහානිය කෙසේ වෙතත් මිනිස්සු සද්ද බද්ද දාන්නේ නැතුව අර දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න තත්වයට දාන්න මේක යම් කිසි විදියකින් ප්‍රයෝජනයක් වෙන නිසා ඉහල තැන් වල උදවිය මේ ගැන හිතන්නේ නෑ. ෆේස් බූකියෙන් අපරාධ සිදු උනාට ඒ ගැන එතරම් සැලකිල්ලක් නෑ. අම්මා අප්පා දැනගන්න ඕන තමන්ගේ දරුවා හදා ගන්න.. ඕකනේ අර රටේ සමබර news කියන උන් රටේ දෙමව්පියන්ට කියන්නේ. ඒ උන්දැලට කියන්න තියෙන්නේ හක්ක පටස් කටේ තියා ගෙන බල්ලෝ වගේ බුරන්න ගියාම ඔය ඉතුරු වෙලා තියෙන දිරච්ච දත් කෑල්ලකට හරි ඔය කුණු වෙලා ගද ගහන හක්කට කොයි වෙලාවක හරි ඔය කටේ තියෙන පටස් එක පිපුරුවොතින් "අනේ අම්මා මාත් මේ news කිව්වට මටත් බැරි උනා මගේ දරුවා ගැන සැලකිලිමත් වෙන්න කියල තමා කියන්න වෙන්නේ." මේ ගැන නම් කියන්න අනන්තවත් දේවල්. 

ඉතින් ඔන්න කියනව නම්, ෆේස් බූකිය හරි මනරම් නැත අඩුවක් සුපිරි ලදුන් අම්මපා දාල තියෙන ෆොටෝ දැක්කම හිතෙනවා ලංකාවෙන් රූ රැජින තරගෙට යන්නේ නවදැලි හේනේ ඉන්න වැදිරියෝද කියල. කමක් නෑ ඔව්වට සල්ලිත් ඕන ඇති තවත් සුදුසු කම් ඕන ඇති. අනෙක අපේ ගම් වල හැදුනු දැරිවියෝ නගරෙට ඇවිත් පොඩ්ඩක් හිරට කොටට ඇදල ඔය ෆොටෝ කෑල්ලක් දැම්ම කියල වරදක් නෑ. මොකද ඔව්ව බලල ආශ්වාදයක් ගන්න කොල්ලෙක් කෙල්ලෙක් නැතුවමත් නෙවිනේ. අනෙක ඔය ගවුමක් සායක් හැට්ටයක් ඇදල ෆොටෝ දැම්මොත් තාත්තා උනත් ෆේක් account එකක් හදා ගෙන ඉදල ඔය පැණි ටෝක් එකක් දාන්න ගිහින් හත්තිලව්වක් වුනොත්. නැතුව මේ අවලංකමකට ඒ වගේ පින්තූර දමනවා නෙවි. හදුනා ගන්නවට අපේ මේ දැරිවියෝ කරන උප්පර වැට්ටියක් නොවැ. අනෙක ඉතින් ලෝකේ ත්‍රෙන්ඩ් එක එකනම් ලිඳේ ඉන්න ගෙබ්බෝ වගේ ඉන්න බෑ නේ. ඉදිරියට යන්න ඕන. එතකොට වියදම් අධික වෙනකොට අවශ්‍යතා වැඩි වෙනකොට එම අවශ්‍යතා ඉටුකර ගැනීමට වියදම් පාලනය කරන්න ඕන. එතකොට ඇගවල් වැහෙන්නම රෙදි ගන්නවා කියන එකත් ලේසි පහසු කාරනාවක් නෙමේනේ. ඉතින් ෆේස් බූකියේ profile එක සරසන්න ලස්සන ලස්සන ෆොටෝ දාන එක ඉතින් අහිංසක විනෝදයක්. මහා වියදමක් යන්නෙත් නෑ. ඕන තරම් camera තියෙනවා අනෙක ඉතින් apple කියයි iphone කියයි. තියේ නම් ඉතින් ඕන හැටියේ ෆොටෝ දාගන්න බැරිය. දාගෙන අමාරුවේ වැටුන උදවියත් නැතුව නොවෙයි නේ. අම්මප මේ ෆොටෝ කෑලි දානවා කියන්නෙත් එසේ මෙසේ ගනුදෙනුවක් නෙවි. මොකද? මේකත් යම්කිසි විදියකට අර තමන්ගේ තත්වේ පෙන්නන එකක් වෙලා. සමහරක් අය ලෝකේ රට රටවල් වල ඇවිදපුව දාල. එක එක පිළිම බදාගෙන ගහපුවා. පිළිම උඩ ගහපුවා, පොකුණු උඩ ගහපුවා. ඇගිලි නවල ගහපුවා හිතා ගන්න බෑ මරු ගැහිලි. මොකද ඉතින් මේ රටේ ඉදන් ගහපුවා නෙමේ නේ. වෙනසකුත් ඇති ඒවගේ රටවල ඉදන් ගහන කොට. ඉතින් මිතුරන් අතරේ බෙදා ගැනීමේ පරාර්ථකාමී චේතනාවෙන් ෆේස් බූකියට එකතු කරනවා. ඔය සමහරු හරි මාන්නෙන් කියන්නේ මේ මම මෙහෙම හිටියට රට රට වල ඇවිදලා තියෙනවා. මට ඕන හොද තත්වේ කෙනෙක් හදුනා ගන්න ආස්සරේ කරන්න පුළුවන් නම් දැකල ඇතිනේ මම දාල තියෙන ෆොටෝ කියල. අම්මප ඔය වෙලාවට තමා කියන්නේ "කෝපි නොබිව්වත් පස්ස පැත්තෙන් හිනා වෙන්න පුළුවන්" කිය. නන්නත්තාර වෙලා බය වෙලාද කියලත් හිතෙනවා. එත් ඉතින් හොදයි. ඔය කියන විදියට රට රටවල් ගැන දේවල් දැනගන්නත් පුළුවන් නේ.

ඇත්තටම ෆේස් බූකිය මිනිස් ජීවිත වලට පුදුමාකාර විදියට ඇද බැද තබන්න තරම් විශ්වකර්ම නිර්මාණයක්. ඇල්බට් අයින්සටයින් උනත් පරමාණු බෝම්බය පිළිබඳව සොයා ගැනීමක් අනාවරණය කිරීමක් සිදු කළා. එයත් අවසානයේ භාවිත කලේ මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීමට. මේ ෆේස් බූකිය හරහා මිනිසුන් මේ ශ්‍රී ලංකා වාසීන්ගේ සාර ධර්ම හැදියාව අධ්‍යාපනය කියන දේවල් වලට විනාශයක් සිදු නොවෙනවා කියන්න බැහැ. මොනවා උනත් පරිස්සමෙන් හක්ක පටස් එක කටේ තියාගෙන බත් කන්න පුරුදු වෙන එක හොදයි! මොකද මේක ත්‍රෙන්ඩ් එකනේ. අනේ බුදු අම්මේ තාත්තේ අර සමබර ප්‍රකාශකයෝ කියන විදියට උබලට මේ සංසාරේ ගෙවන්න තියෙන පව වැඩියි. දරුවා පරිස්සම් කර ගන්න. මොකද බුදු අම්මා තාත්තා අඩන එක market කරන තුප්පහි ජාතියක් උන්.

(රස්තියාදු හිත)