🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

වසන්තය එනතුරා



පසුගිය සාක් සිනමා උළෙල නිමා වූයේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන යුගළම ශ්‍රී ලාංකික චිත්‍රපට දෙකකට හිමි කර දෙමිනි. එහිදී ශමීර රංගන නාඔටුන්න අධ්‍යක්ෂණය කරන ලද මෝටර් සයිකල් චිත්‍රපටයට හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද පටිභාන චිත්‍රපටය අධ්‍යක්ෂණය උදෙසා රබීන් චන්ද්‍රසිරිට ද සම්මාන පිරිනැමිණ. මේ දෙදෙනාම චිත්‍රපට අධ්‍යක්ෂණයෙහිලා නවකයන්ය. රබීන් චන්ද්‍රසිරි මෙයට දශක දෙකකට පමණ පෙර හොඳම නිෂ්පාදකට හිමි සරසවිය සම්මානය දිනා ගත්තේ දඩයම චිත්‍රපටය උදෙසාය.

ඔහු යළි සිනමාවට අවතීර්ණය වනුයේ අධ්‍යක්ෂවරයකු හැටියටය. ශමීර, ඔබ නැතුව ඔබ එක්ක ඇතුළු චිත්‍රපට කිහිපයකම සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන ලදී. පසුගිය වසරේ සාක් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස තෝරා ගැනුණේ සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කරන ලද සූවිසි විවරණ චිත්‍රපටයයි. සරත් එයට පෙර සිනමාවේ මෙන්ම ටෙලිවිෂනයේ ද වැඩ පෙන්නූ ඇත්තෙකි. එමෙන්ම සූවිසි විවරණ චිත්‍රපටයේ රංගනය උදෙසා ජයලත් මනෝරත්නට හොඳම නළුවාට හිමි සම්මානය නවදිල්ලියේ පැවැති බයිස්කෝප් සිනමා උළෙලේදී දිනා ගන්නා ලදී. එහෙත් මේ චිත්‍රපට ත්‍රිත්වයෙන් එකක්වත් මෙරට ප්‍රේක්ෂකයන්ට තවමත් දැකගන්නට ලැබී නැත. එය සිනමා ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් බැලුවත්, නිෂ්පාදනයන් අතින් බැලුවත් පාඩුවකට වඩා අපරාධයකැයි අර්ථ දැක්විය යුතුය. මෙරට සම්මාන දිනන චිත්‍රපට ලාංකික ප්‍රේක්ෂකයන්ට අකැපදැයි විමසා බැලිය යුතුය.

ඉහත චිත්‍රපට ත්‍රිත්වයෙන් තවමත් මට නරඹන්නට ලැබුණේ මෝටර් සයිකල් නම් චිත්‍රපටය පමණි. දිගු කලකට පසු නාගරික ලුම්පන් පන්තියේ ගැටවරයකු වටා ගෙතුන මේ චිත්‍රපටය 'අහස් ගව්වේ නූතන විලාශය අපට සිහිපත් කරයි. ට්‍රේල් බයිසිකලයක් පිළිබඳ සිහින මවන සංගීත ශිල්පියකුට අන්තිමට ලබා ගත හැකි වනුයේ බාල ගනයේ ලපටි මෝටර් සයිකලයකි. එය ද අම්මාගේ කර මාලයක් උකස් කරලමිනි. මේ මෝටර් සයිකලයේ තම පෙම්වතිය දමා ගෙන කොළඹ වටේ රවුමක් යන පෙම් යුවළට ආදරය කෙහේදෝ බාධා නැත්තේ යැයි වැටහෙයි. ඉතාම නැවුම් ඉදිරිපත් කිරීමක් මෙන්ම ජවසම්පන්න ගුණයකින් යුත් මෝටර් සයිකල් තාරුණ්‍යය ඉහිරෙන චිත්‍රපටයකි.

ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන ලද 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටයේ මෙන්ම අතුල ලියනගේ ගේ 'බඹරවලල්ල' චිත්‍රපටයේ ද දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා වූයේ ශමීරය. පළමු සහාය අධ්‍යක්ෂ වූයේ දමින්ද මඩවලය. එපමණක් නොව ශමීර නාඔටුන්නගේ සිනමාව පිළිබඳ තිබූ කුසලතාවයන් මා හඳුනා ගත්තේ රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් ' ද රෙස්ප්ලෙන්ඩන්ට් ලෑන්ඩ්' නමින් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වූ මොහොතේදීය. ඒ අවස්ථාව මට ලැබුණේ එවකට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්ව සිටි අනූෂ පැල්පිට සහ රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂකව සිටි දයාරත්න රටගෙදර යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේය.

එම වාර්තා චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ ලෙස රජයේ චිත්‍රපට අංශයේ එවකට සිටි කැමරා අධ්‍යක්ෂ සුනිල් පෙරේරාත්, නිෂ්පාදන කළමනාකරු ලෙස සුගත් අමරජීව බණ්ඩාර සහ ලක්මල් හෙට්ටිආරච්චි ද කටයුතු කළහ. එහි සෙසු කාර්මික ශිල්පීන් ද රජයේ චිත්‍රපට අංශයේ කාර්මික ශිල්පීන්ම විය. සහාය අධ්‍යක්ෂවරයා ලෙස ඒ සඳහා එක් කර ගත්තේ ශමීර රංගන නාඔටුන්නය. ශමීර සිනමාව ගැන අධික උනන්දුවෙන් පිරි තරුණයෙකි. සහාය අධ්‍යක්ෂණ කටයුත්තේ පමණක් නොසිට චිත්‍රපටයට අදාළ නිෂ්පාදන රූපගත කිරිමේදී හැම මඟුලටම අත දමන්න යෑම නිසා ශමීර කණ්ඩායමේ සෙස්සන් අතර කැපී පෙනිණි.

මේ කැපී පෙනීම නිසාම ඔහු කිසියම් දිනයක චිත්‍රපටයක් නිර්මාණය කරනු ඇතැයි මම අවංකව විශ්වාස කළෙමි. ඉන් පසු ඔහු මවිසින් නිර්මාණය කරන ලද 'රයිසිං සන්' වාර්තා චිත්‍රපටයේ ද සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. රූප ගැන්වීමේ අධික උනන්දුව නිසාම කෝවිලක වහල උඩට නැග ගත් ශමීර එහිදී උදහසින් බේරා ගත හැකි වූයේ ලොකු වෙහෙසක් අරගෙනය. මේ සෑම කටයුත්තකම පසුපස තිබුණේ සිනමාකරණය පිළිබඳ ඔහුගේ අධික උනන්දුවය. 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටය රූගත කරද්දී ඔහුගේ මේ සීරසිමා රෝගය ( සීමාරහිත සිනමා මාන්දම - මේ රෝගය සඳහා නම තබන ලද්දේ දිනේෂ් ප්‍රියසාද් සිනමාකරුවා විසිනි) නිසාම ඉතා ඉක්මනින් චිත්‍රපටයක් තනා රෝගය නිවාරණය කර ගන්නා ලෙස අපේ පරම්පරාවේ සිනමා ගුරු ප්‍රසන්න විතානගේ ශමීරට අත් බෙහෙතක් හැටියට කියා තිබිණ.

මේ අවධියේම ඔහු ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් මෙහෙය වන ලද සිනමාකරණ පාඨමාලාව ද හදාරා තිබිණි. ඒ අතර වාරයේ ශමීර අගනා වාර්තා චිත්‍රපට යුගළක් ද නිර්මාණය කළේය. වෘත්තාන්ත චිත්‍රපටය නිම කළ නිසා සීරසිමා රෝගය සුවපත්ව ඇතැයි සිතුව ද ශමීරගේ රෝගය සුව වී නැත. දැන් එය උත්සන්නව ඇත්තේය. එයට හේතුව චිත්‍රපටය ප්‍රදර්ශනය කරන වකවානුවක් ඔහුට සිතාගත නොහැකි වීමය.

1980 දශකය ආරම්භයේ අලුත් සිනමා පරම්පරාවකට මුල පිරුවේය. ඒ ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් චිත්‍රපටය සමඟය. ලක්ෂ දෙකහමාරක් වැනි මුදලක් වැය කර තනන ලද හංස විලක් ඒ අවධියේ ලක්ෂ විසි එකක් වැනි ආදායමක් ඉපැයූයේය. එය ඒ කාලයේ හැටියට ඉහළ ආදායමකි. 1992 දී ප්‍රසන්න විතානගේ තැනූ මුල්ම චිත්‍රපටය 'සිසිල ගිනි ගනී' ලංකාවේ සිනමාහල්වල දින 50 කටත් වඩා සාර්ථකව තිරගත වුණේ යැයි ඇසූ 'පිරවි' සැදූ සාජි එන්. කරූන් පුදුමයට පත් විය.

1991 දී පමණ ලෝකයේ මහත් අවධානයට පාත්‍ර වූයේ කේරළයේ තැනුණු 'පිරවි' නම් චිත්‍රපටයයි. එය ඒ වන විට ඉන්දියාවට වැඩිම විදෙස් සම්මාන ගෙනා චිත්‍රපටය විය. එමෙන්ම සාජි එන්. කරූන්ගේ මුල්ම චිත්‍රපටය ද එයම විය. අතුරුදහන් වූ දරුවා එනතුරු මඟ බලා සිටින පියෙකු වටා ගෙතුණ මේ චිත්‍රපටය 1993 වසරේ ශ්‍රී ලංකාවේ ද ඉන්දියානු සිනමා උළෙලේ අති විශාල ජනප්‍රියත්වයක් ලද්දේය. මේ අත්දැකීම ඒ කාලයේ ලංකාවේ තරුණයන්ගේ අත්දැකීමක් වූ හෙයින් 'පිරවි' වඩාත් අල්ලලා ගියේය. එබැවින් උත්සවයෙන් පරිබාහිරව ද 'පිරවි' විශාල වාර ගණනක් මෙරටදී තිරගත කරනු ලැබිණ. එදා 'පිරවි' සිනමාකරු අප සමඟ පැවසූ දෙයක් ඒ අවධියේ අපට මහත් පුදුමයක් වූයේය. ඒ ලෝකයේ කෙතරම් ගෞරවයට පාත්‍ර වුව ද 'පිරවි' කේරළයේ හෝ ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තයක හෝ සිනමාහලක වානිජ මට්ටමින් තිරගත කිරීමට එරට කිසිදු සිනමාහලක් කැමැති නොවුණු වග ඇසීමෙනි. ඒ යුගයේ අපේ රටේ සෑම හොඳ සිනමාකරුවකුටම තම චිත්‍රපටය තිරගත කරවීමට ගැටලු තිබුණේ නැත.

එදා අපේ තරුණ සිනමාකරුවන්ගේ මුල් චිත්‍රපටය රැක ගන්නට පමණක් නොව විශිෂ්ට යැයි සම්මත චිත්‍රපට රැක ගන්නට ක්‍රමවේදයක් තිබිණි. ඒ කවර අඩුපාඩුකම් මැද වුව ද චිත්‍රපට සංස්ථාව ගෙන ගිය බෙදා හැරීමේ වැඩ පිළිවෙළට පිං සිදුවන්නටය. චිත්‍රපට සංස්ථාව මඟින් 1978 වසරේ සිට බිහි කරන ලද පස් වැනි ප්‍රදර්ශක මණ්ඩලය සිනමා ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ඉක්මනින් ලක් විය. පස් වැනි මණ්ඩලයේ තිරගත වූ සෑම චිත්‍රපටයක්ම පාහේ ඉතා හොඳින් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් විය. එබැවින් ජනප්‍රිය බොහෝ සිනමාකරුවන් ද චිත්‍රපටයක් නැති අතරමඟකදී හෝ තම චිත්‍රපටය එම මණ්ඩලයේ තිරගත කරවීමට වෑයම් කරන ලද්දේය. අඩුලුහුඬුවට පස්වන මණ්ඩලයේ දමන බාල චිත්‍රපට පිළිබඳ ඇති වූ විරෝධය නිසා එවකට සංස්ථා බලධාරීහු පස්වන මණ්ඩලයේ සහතිකය නමින් සහතිකයක් චිත්‍රපට උදෙසා නිකුත් කළේය. එම සහතිකය දිනන චිත්‍රපට සඳහා විශේෂ වරප්‍රසාද හිමි විය. මේ චිත්‍රපට තෝරා ගත්තේ විශේෂ විද්වතුන් රැසක් විසිනි. එහෙත් මේ විද්වත් සභාවේ සියල්ලන්ම සිනමාව ගැන යාවත්කාලීන නොවීය. එහෙත් ඔවුන් නම්‍යශීලී වූහ.

ප්‍රසන්න විතානගේ ගේ මුල් චිත්‍රපටය වන සිසිල ගිනි ගනී චිත්‍රපටය පස්වන ප්‍රදර්ශක මණ්ඩලයේ සහතිකය ලබා ගැනීමට ඔවුන් හේතු ලෙස දැක්වූයේ තරුණ සිනමාකරුවකුගේ වෑයම යනුවෙනි. ඇත්ත නම් ඒ සහතිකය එලෙස හෝ එම චිත්‍රපටයට ලැබුණේ එවකට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු ලෙස කටයුතු කළ අයිවන් වීරක්කොඩි මහතාගේ මැදිහත්වීම මතය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිනමා සංගම් පුරෝගාමියකු වූ අයිවන් මහත්තයා නව සිනමාව ගැන දැන සිටීම සිනමාකරුවාගේ වාසනාව විය. කෙසේ වෙතත් එකක් පසුපස තව එකක් වශයෙන් සහතික ලත් චිත්‍රපට තිරගතවීමට තරම් උද්යෝගයක් එකල ඇති වී තිබිණ. ඒ මණ්ඩලයේ සහතික නොලත් චිත්‍රපටයක් වූයේ එහෙමත් වූ එකකි. සම්භාවනීය පස්වන මණ්ඩල සහතිකය යනුවෙන් ලද චිත්‍රපට සඳහා විශේෂ වරප්‍රසාදයක් ද හිමි විණි.

සංස්ථාව පිහිටුවන්නට ප්‍රථම නව දිශාතිනියන් සොයා යන බොහෝ සිනමාකරුවන් මුහුණ දුන්නේ ද අද අපේ සිනමාකරුවන් මුහුණ දුන් ගැටළුවලටය. ජී. ඩී. එල්. පෙරේරාගේ සාමා, සිරි ගුණසිංහගේ සත්සමුදුර වැනි චිත්‍රපට සඳහා ද ප්‍රදර්ශකයන් සොයන්නට ඔවුන්ට වෙහෙස දරන්නට සිදු විය. ලාංකික සිනමාවේ සන්ධිස්ථානයක් වූ ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටය රාජ්‍ය චිත්‍රපට සංස්ථාව (ජාතික චිත්‍රපට සංස්ථාව මුලින්ම හැඳින්වුණේ එනමිනි) පිහිටුවාලීමෙන් පසු එහි මැදිහත්වීමෙන් තිරගත කරන ලද මුල්ම චිත්‍රපටය විය. එබැවින් වර්තමානයේදී ද චිත්‍රපට සංස්ථාවට මෙබඳු අලුත් මං සොයන සිනමාකරුවන්ගේ චිත්‍රපට සදහා මැදිහත්වීමට වගකීමක් කොයි හැටි වෙතත් යුතුකමක් ඇත්තේය. එයට හේතුව කවර ආකාරයේ සමාගම් පිහිටිය ද ජාතික චිත්‍රපට සංස්ථාවට මෙරට සිනමා සංස්කෘතියක් පිළිබඳ වගකීමක් පැවරී ඇති හෙයිනි. එම සංස්කෘතිය නම් අලුතින් සිතන සිනමා පරම්පරාවකට දොරගුළු විවර කිරීමයි. මෙයට පෙර සැමීගේ කතාව චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවීමෙන් අනතුරුව එම චිත්‍රපටය තිරගත කරවීමේ වගකීම සංස්ථාව බාර ගත යුතු බවට ලියන ලද ලිපියක් නිසා එකල සංස්ථාවේ බලධාරීන් මා සමඟ ජම්මාන්තර වෛරයක් ඇති කර ගත්තේය.

එහෙත් අපේ වෑයම මේ අලුත් පරම්පරාවට සිනමාවේ දොර විවර කරදීමය. දේශීය සිනමාව කියා කාලය නාස්ති කරන ව්‍යාපෘතීන් සිනමාහල්වල අහල පහලකටවත් වද්දා නොගත යුතුය යන ස්ථාවරය ද අප සතුව ඇත. එහෙත් යමක් කළ හැකි තරුණයන්ට දොර විවර කර දීම කළ යුතුය. එබැවින් මේ සටහන ලියන්නේ මෝටර් සයිකල් චිත්‍රපටය සඳහා පමණක් නොවේ. වින්දන හා කල්ප ආරියවංශ දෙසොහොයුරන්ගේ ප්‍රේමය නම්, ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ හෝ ගාන පොකුණ, ඩෙනිස් පෙරේරාගේ ත්‍රීවිලර් ඩයරි, උදය ධර්මවර්ධන සහ චින්තක ධර්මදාස ගේ හව් වයි වන්ඩර් වට් යූ ආ ආදී වශයෙන් එක දිගට කියවිය හැකි දීර්ඝ චිත්‍රපට නාමාවලියක් වෙනුවෙනි. සිනමා ශාලාවල ප්‍රදර්ශනයෙන් බැහැරව අද මේ තරුණයන්ට වෙනත් විකල්ප ආදායම් මාර්ග උපයා ගත හැකි ක්‍රම එමටය. අන්තර් ජාල සිනමා වෙළඳාම, ජාත්‍යන්තර ටෙලිවිෂන් කේබල් ජාලය ද මේ අතර වෙති.

එහෙත් ඔවුනට සිනමාශාලා ඉඩකඩ ලබාදිමට සංස්ථා මැදිහත්වීමක් විය යුතුය. ලෝකය පුරා තරුණ පරම්පරාවක් ඒ ඒ රටවල යහපත් සිනමාව පිළිබඳ සොයමින් පසුවන බව නොරහසකි. එය ලෝකයේ වෙනමම ඉස්මතු වන වෙළෙඳපොලකි. ඉරානය මෙන්ම ලතින් අමෙරිකාව ඇතුළු රටවල සිනමාව හෙමින් සීරුවේ ග්‍රහණය කරනුයේ හොලිවුඩ්, බොලිවුඩ් දෙඅන්තයේ සැඟවුණු මෙම අති විශාල වෙළෙඳපොළෙහි ඇති ඉඩකඩ නිසාය. තවදුරටත් චිත්‍රපට යනු සිනමා ශාලා මත්තෙහි යැපෙන්නක් පමණක් නොවන වග මම මෙයට පෙර ද පෙන්වා දී ඇත්තෙමි. සිනමාවට ආදරය කරන අලුත් පරම්පරාවට අවකාශ නොදීම සාපරාධී වරදක් බැව් මම විශ්වාස කරමි. එයට නීතියෙන් දඬුවමක් නොලැබුණ ද ඉතිහාසය විසින් දඬුවම් සපයනු ඇති බව අතීතයේ සනාථ වී ඇත. මේ තරුණයන්ගේ සිනමාව ඇට්ටකුණා වන්නට පෙර තෝරාගත් සිනමා ශාලා කිහිපයක හෝ තිරගත කරවීම කළ යුතුව ඇත. මෙරට සිනමාවේ අලුත් පරම්පරාවේ බහුතරය හැඟීම් මතින් කොයි හැටි වෙතත් විලාසයෙන් ඉදිරියෙන්ය. මේ විලාසය ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගන්නවා යනු යළි අපේ රටේ සිනමා රසඥතාව පිළිබඳ මහ ඉහළින් කතා කරන යුගයක් යළි එළැඹෙනු නියතය.

සරසවිය