🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

රෑට වෙලාවක් නෑ

කොළඹින් බොහෝ ඈත පළාතක පැවැති උත්සවයක දේශනයක් පැවැත්වීම සඳහා යමින් සිටි විජේසූරිය වෙල්යායක් මැදින් වැටී තිබූ ගම්බඳ පාරක් දිගේ තම රථය ධාවනය කරමින් සිටියදී ඔහුගේ වාහනයේ ඉදිරි රෝදයක් වතුරෙන් පිරී තිබූ වළක වැටී හිරවිය. ඔහු රථය පණගන්වා රෝදය වළෙන් ගොඩට ගැනීමට කීපවරක්ම උත්සාහ කොට, එසේ කිරීමට අපොහොසත්ව දාඩිය පිසිමින් අවට බැලීය. යාබද වෙල්යායක ට්‍රැක්ටරයකින් තම කුඹුර හාමින් සිටි ගොවියකු ඔහුගේ ඇස ගැසින. හේ වහා රථයෙන් බැස, පාර අද්දරට ගොස් ගොවියාට කතා කොට තම රථය ඔහුගේ ට්‍රැක්ටරයෙන් ගොඩට ඇද දෙන ලෙස ඉල්ලුවේය. තම රාජකාරිය නවතා එය ඉටු කිරීමට රුපියල් පන්සීයක් ගෙවන ලෙස ගොවියා කළ ඉල්ලීමට විජේසූරිය එකඟවිය. මෝටර් රථය කඹයකින් ට්‍රැක්ටරයේ ගැට ගසා වළෙන් ගොඩට ඇද දීමට ගොවියා හට අඩහෝරාවක්වත් ගත වූයේ නැත. ගොවියා වෙත රුපියල් පන්සීයේ නෝට්ටුවක් දිගු කරමින් විජේසූරිය ඔහුගෙන් මෙසේ ඇසීය.

‘ඔය විදිහට මේ පාරේ වළවල්වල එරෙන වාහන ගොඩට අරගෙන දෙන්ඩ,ලොකු උන්නැහේ දවල් රෑ නැතුව උදව් කරනවා ඇති නේද?’

‘දවල්ට නං එහෙම නොකර ඉන්නෙ නෑ මහත්තයො. ඒත් රෑට නං එහෙම දේකට ඉඩක් නෑ.’ ගොවියා කීවේය.

‘ඒ මොකද?’  විජේසූරිය ඇසුවේ කුතුහලයෙනි.

‘මේ පාරේ ඔය වගේ ගැඹුරට වළවල් හාරලා වතුර පුරවන්ඩ කොයිතරම් වෙලාවක් යනවා කියලද මහත්තයා හිතන්නෙ? ඒකට රෑ කාලෙ සම්පූර්ණයෙන්ම ගත කරන හින්දා වාහන ගොඩදාන්ඩ රෑට නං වෙලාවක් නෑ මහත්තයො.’ ගොවියා කීවේය.