This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
රූස්ස තල්ගස් සහ පොල් ගස් එකිනෙකට කිට්ටු කරමින් හමන සුළඟ මන්නාරම් පිටිවැල්ල මොහොතකට සිපගනියි. ඒ විගස ඊට මුසුවන හඳුන්කූරු සුවඳක් දැල්වෙන පහන්සිලක සුවඳත් රැගත් සුළඟ ආදම්ගේ සහ ඒවගේ මිනී වළවල් මත මොහොතකට හිස තබයි. ආදම් සහ ඒවගේ ඉපැරැණි මිනී වළ මත එහා මෙහා යමින් වැලපෙන සුළඟ ඉනික්බිති ඈතින් ඈතට නික්ම යන හඬ ඇසෙයි. තලෙයි මන්නාරමේ ඌරුමලෙයි ප‍්‍රදේශයේ පිහිටි මෙකී මිනී වළවල් දෙක තබා ඇත්තේ ලී වැටකින් ආවරණය කරන ලද ගොඩනැගිල්ලකය. ඊට ඇතුළුවන්නට කලින් දෙපා ආවරණය කරන පාවහන් ගලවා ඉවත්කළ යුතුය. ලංකාවේ කුමන පූජනීය ස්ථානයකට ගියත් පාවහන් සහ හිස් වැසුම් ගලවා ඉවත් කළ යුතුය. ඒ අප පූජනීය ස්ථානවලට ගෞරවය පළකරන හැටිය. අපට මග පෙන්වන්නට පැමිණි තලෙයිමන්නාරම් පොලිසියේ මයුරන් රාළහාමි, ලී වැටේ දොරටුව විවර කර දුන්නේය. පළමුව ඇතුළුවන්නේ කුඩා කුටියකටය. එහි ඉදිරි පිටම වූයේ අඩි හතරක් පමණ උස කුටියකි. නමුත් එහි දොරක් නොමැත. දොරක ප‍්‍රමාණයේ විශාල විවරයෙන් තැන්පත් කර තිබෙන පොත්පත් ගොඩක් මොනවට පෙනෙයි. ඊට අතදමා පොතක් ඉවතට ගෙන බැලීමේ ආශාවක් උපන්නත් එය නොකළ යුතු දෙයකැයි සිත කීවේය. නමුත් ඒවා ආගමික ග‍්‍රන්ථ විය හැකියැයි මගේ අනුමානය විය. මෙම කුටිය අබියසද හඳුන්කූරු දල්වා සුවඳවත් කර තිබිණි. එම කුටියේ දකුණු පස කෙළවර වූ උළුවස්සකින් ඇතුළට යා හැකිය. එවිට හමුවන්නේ අර කී මිනී වළවල් දෙකයි. ආදම් සහ ඒව සැතපෙන ස්ථානයයි. එය මේ ලෝකයේ දිගම තනි පුද්ගල මිනී වළ විය යුතුය. මා එසේ කියන්නේ මේ මිනී වළේ දිග අඩි හතළිහක් වීම නිසාය. අනෙක ඊට වඩා අඩි දෙකකින් අඩුය. අඩි හතළිහේ මිනී වළ ආදම්ගේ වන අතර අඩි තිස් අටේ මිනී වළ ඒවගේය. කොළ පාට රෙද්දකින් ආවරණය කර තිබෙන මේ මිනී වළවල් දෙපසද හඳුන්කූරු දල්වා පහන් දල්වා සුවඳවත් කර තිබේ. අපි මේ මිනී වළවල් පැදකුණු කළෙමු. මිනී වළක හිස අද්දර කුඩා ප‍්‍රමාණයේ ලී ඔරුවක් රඳවා තිබේ. එහි බඳෙහි 786 සහ 1968 යන ඉලක්කම් සටහන් කර තිබේ. හැබැයි මේ ඔරුවේ දිග අඩි පහකට වඩා අඩු අතර පළල අඩියක්වත් නැති තරම්ය. එසේනම් මෙය සැබෑ ඔරුවක් නොවේ. ඔරුවක අනුරුවක් විය යුතුය. මෙම මිනී වළවල් වටකළ උස බිත්තිවල තැන තැන අඩ සඳ සහ තරුව සහිත ලාංඡනය සවිකර තිබේ. එය ඉස්ලාම් ආගමේ සංකේතයයි. ආදම්ටත් ඒවටත් අවසන් ගෞරව දැක්වූ අපි ඉනික්බිති එම ගොඩනැගිල්ලෙන් එළියට පිවිසුනෙමු. සුවඳ කූරු දල්වා සුවඳවත් කළ තැනක එසවූ දිග දණ්ඩක් අපේ නෙත් ගැටිණි. එම දණ්ඩ පුරාවටම වූයේ රෙදිපටිවල ඔතා ගැටගසන ලද පඬුරුය. - "මෙතෙන්ට එන අය බාරහාර වෙනවා" මයුරන් විස්තර කළේය. තම සිත්සතන්වල රැුඳුණු ඉටු නොවුණු බලාපොරොත්තු ඉටුකර ගනු පිණිස මිනිසුන් වන බාරහාර කොයිතරම්ද! -”මෙතෙන්ට එන හුඟාක් බැතිමත්තු එන්නෙ දුර බැහැර ඉඳලා. ඒ අය ආපුවාම බාරහාර වෙලා මෙතනම නවාතැන් ගන්නවා. මයුරන් පසෙකින් වූ විශ‍්‍රාම ශාලාවලට අත දිගුකරමින් කීවේය. ආදම් සහ ඒව යනු ලෝකයේ පහළවූ පළමු මිනිසා සහ ගැහැනියයි. මේ දෙදෙනා මැවූ දෙවියෝ ඔවුන්ට කියා සිටියේ තහනම් ගහේ ගෙඩි කෑමෙන් වැළකී සිටින ලෙසය. එහෙත් ඒ අමෘත ඵලය නොකා එදෙස බලාසිටින්නට අපොහොසත් වීම නිසා ආදම් සහ ඒවගෙන් පසුව තවත් මිනිස්සු මේ ලෝකයට බිහිවූහ. මේ ඉන්නේ අන්න ඒ ආදම් සහ ඒවද? ඔවුන් ලංකාවට ආවේ කවදාද? එතකොට ඔවුන් මියගියේ ලංකාවේද?’’ ප‍්‍රශ්න ගොඩකි. ‘‘මම මේ ප‍්‍රශ්නය විසඳාගනු පිණිස මන්නාරම් ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන් මහතා මුණගැසුනෙමි.’’ "ඕකට කතන්දරයක් තියෙනවා. ඔය ආදම් සහ ඒව දෙන්නා ලංකාවට ඇවිත් තියෙන්නෙ ඔරුවක. නමුත් ඒ දෙන්නා ආපු ඔරුව මුහුද මැද අතර මගදී කැඩිලා. ඊට පස්සෙ මේ දෙන්න ඇවිත් තියෙන්නෙ පාගමනින්. මුහුද මැද තියෙන වැලිපරය දිගේ. ඔය වැලිපර දූපත්වලට ආදම්ගේ පාලම කියන නම ලැබිල තියෙන්නෙ ඒ හේතුව නිසා කියලනෙ කියන්නෙ. ඒ වගේම මේ දෙන්නා සමනොල කන්දටත් නැගලා තියෙනවා. සමනොල කන්දෙ තියෙන සිරිපතුල ආදම්ගේ පාදය කියලනෙ. මුස්ලිම් ජනතාව විශ්වාස කරන්නෙ. ඉතින් මේ දෙන්නා ලංකාවෙදි මියගියාට පස්සෙ ඒ දෙන්නව වළදාපු තැන තමයි ඔය ආදම්ගේ සොහොන. ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ ක‍්‍රිස්තු පූර්ව 786 දී. ඒක තමයි අර ඔරුවෙ සටහන් කරල තිබුණෙ.’’ අලහකෝන් මහතා විස්තර කළේය. ඔහුට අනුව මෙකී කතාවම යම් යම් වෙනස්කම් සහිතව විවිධ අය පවසයි. කෙසේ වුවත් මේ සොහොන චිරාත් කාලයක සිට ඌරුමලෙයි වෙරළ අද්දර බැතිමතුන්ගේ වන්දනාවට ලක්වෙයි. උපුටා ගැන්ම - ලංකාදීප පුවත්පත