This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
භූමිතෙල් ගඳ
වෙළඹකගේ හේෂාරවය ඇසුණ සැනින් “ගුලේජි” ඉමහත් ප්‍රීතියට පත්වූවාය. ඇය වහා පිටතට දුව ගොස් වෙළඹගේ ගෙලට ඇයගේ හිස තබා සිය සතුට ප්‍රකාශ කළාය. ඇය වෙළඹ දුටුවේ සිය මවුපියන්ගේ නිවසෙහි ඉදිරිපස ද්වාරය ලෙසිනි. ගුලේරීගේ මවුපියන්ගේ නිවස පිහිටා තිබෙන්නේ චම්බා නම් ගමෙහිය. ඇය විවාහයෙන් පසු සැමියාගේ නිවස පිහිටි ලකර්මන්දි ගම්මානයට පැමිණියාය. එය ඉතා උස් බිමක පිහිටා තිබේ. එම උස් බිමේ සිට කවාකාරව පහළට යමින් තම උපන්ගමට යා යුතුය. තනිකමක් දැනෙන සෑම මොහොතකම ඇය තම සැමියා සමඟ එම කවාකාර මාවත දැකිය හැකි ස්ථානයට එයි. සූර්යාලෝකයෙන් දිදුලන සිය ගම්මානය දෙස ඇය බලා සිටින්නේ ඉමහත් අභිමානයෙනි. වාර්ෂිකව එළඹෙන අස්වනු මංගල්‍යයේ දී ගුලේරි හට තම දෙමව්පියන් හා දින කිහිපයක් ගත කරන්නට අවසර ලැබේ. මෙවර ද ඇයගේ පියා, නාටු නම් වූ විශ්වාසවන්ත සේවකයා ඒවා ඇත්තේ සිය දියණිය වූ ගුලේරි ගෙන්වා ගැනීමටය. ඇයගේ යෙහෙළියන් දෙදෙනා ද විවාහ වී චම්බා ගමෙන් බොහෝ ඇත පෙදෙසක ජිවත් වුවද ඔවුහු ද එකම දිනයේ ගමට පැමිණෙති. ඔවුහු එකිනෙකා අත් බැඳ මහමඟ ඇවිදිති. අස්වනු මංගල්‍යය සඳහා ඇඳුම් ගැනීමට පොළට යති. හිස් ආවරණ සාළුව නැවත පාට ගන්වා, කැඳ දමා සෝදා වේලා, මිනිරන් කුඩු සහ පබළුවලින් අලංකාර කර ගනිති. වීදුරු වළලු සහ රිදී පැහැ තෝඩු මිලයට ගනිති. ගුලේරි අස්වනු ගෙට ගන්නා දිනය එනතුරු බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි. ගිම්හාන සුළග, මෝසම් වැහි අඳුර ආකාශයෙන් මකා දමද්දී ඇය දිනපතා උදෑසන තමාගේ දිනචරියාවට අයත් යුතුකම් ඉටු කරන්නේ බලාපොරොත්තු සිත තුළ පුරවා ගනිමිනි. ගව මහීෂාදීන්ට කෑම දීම, සැමියාට සහ ඔහුගේ දෙමාපියන් හට කෑම සකස් කිරිම, ආදී සෑම කාර්යයක්ම අතුරතුරදී දෙමව්පියෝ තමා කැටුව යන්නට කවුරුන් හෝ එවතියි සිතයි. දැන් නැවතත් ඇයට ගමට යන්නට අවස්ථාව උදා වී තිබේ. ඇය අසීමිත ප්‍රීතියෙන් වෙළඹ අතගෑවාය. පියාගේ සේවකයා වූ නාටු දයාබරව පිළිගත්තාය. පසුදින පිටත්වීම සඳහා සූදානම් වූවාය. ඇයගේ චිත්ත ප්‍රීතිය වචනයෙන් ප්‍රකාශ නොකළද සියල්ල ඇයගේ ශෝභා සම්පන්න වූ මුහුණේ ඇදී තිබුණි. ඇයගේ සැමියා ඇය දෙස බලා උරමින් සිටි ගඩුගුඩාව ඉවතට ගෙන දෙනෙත් පියා ගත්තේය. එක්කෝ ගඩුගුඩාවට දැමූ දුම්කොළ වලින් හැමූ අප්‍රසන්න සුවඳ හෝ තම බිරිඳගේ මුහුණ දෙස බැලීමෙන් ඇති වූ අපහසුතාව එයට හේතුව විය හැක. “ඔයා චම්බා පොළට එනවා නේද? අනේ එක දවසක් හරි එන්න” ඇය සැමියාට කන්නලව් කළාය. ඔහු දුම් උරනය ඉවත තැබුවද කිසිවක් නොකීවේය. “ඇයි ඔයා මොකුත් නොකියන්නේ” ඇය මඳක් තරහින් ඇසුවාය. “මං ඔයාට කියන්නමයි හිටියේ” ඔහු ඇය දෙසට හැරී කීවේය. “එපා මං දන්නව ඔයා කියන්න යන දේ... මට තේරෙනව. ඔයා විතරක් අවුරුද්දකට සැරයක් ගමට යන්නේ ඇයි කියලනේ? හොඳයි, මෙච්චර කාලයක් මං ඔයාට යන්න එපා කිවවේ නෑනේ? ඔහු ඇයගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම පිළිතුරු දුන්නාය. “එහෙනම් ඇයි ඔයා මේ සැරේ විතරක් මාව නවත්තන්න හදන්නේ? මේ වතාවෙ විතරක්වත්.... ඔහු ඉල්ලා සිටියේය. “ඔයාගේ අම්මවත් මොකුත් කිව්වෙ නැහැනෙ. ඇයි ඔයා හරස් වෙන්නේ? ගුලේරි හිතුවක්කාර ළදැරියක සේ තර්ක කළාය. “මගේ අම්මා.. ” මනක් යමක් කියන්නට උත්සාහ කළද කියාගන්නට නොහැකිව වේදනාවෙන් නිශ්ශබ්ද වූයේය. එම දිගු රාත්‍රිය අවසානයේ ගුලේරි හිමිදිරියේම සූදානම් වූවාය. ඇයට දරුවන් සිටියේ නැත. එසේ හෙයින් රැගෙන යන්නේ කෙසේද හෝ තබා යන්නේ කෙසේද යන ප්‍රශ්න ඇයට තිබුණේ නැත. නාටු සෑදලය සකස් කොට වෙළඹ සූදානමින් තැබුවේය. ගුලේරි මනක්ගේ දෙමව්පියන් වැඳ සමුගනිද්දී ඔවුහු ඇයගේ හිසට අත තබා ආශිර්වාද කළහ. “මාත් මගට එන්නං” ‘මනක්’ කීවේය. ගුලේරි අධික ප්‍රීතියෙන් ගමන ආරම්භ කළාය. ඇය ඔහුගේ බටනලාව සිය සාළුවෙහි ඔතා සගවා ගත්තාය. බාජිරි ගම පසු කරද්දී ගුලේරි සගවා ගත් බටනලාව‍ ගෙන ඔහු අත තබා “එන්න මෙය වාදනය කරන්න” යි කීවාය. නමුත් මනක් සිතුවිලි අතර, අතරමං වී සිටියෙන් ඇය කියූ කිසිවක් නොඇසුණි. “ඇයි ඉතින් ඔයා වාදනය කරන්නේ නැත්තේ”? ඇය සුපුරුදු තොදොල් බසින් අසුවාය. ඔහු ශෝකයෙන් ඇය දෙස බලා බටනලාව තොල් අතරේ තබා වාදනය ආරම්භ කළේය. ඉන් නිකුත් වූයේ ශෝකී විලාපයකි. “ගුලේරි අනේ ඔයා යන්න එපා. මං මේ තවපාරක් කියන්නේ‍ හේතුවක් තියෙන නිසා. මේ වතාවේ යන්න එපා” කියමින් ඔහු ශෝකයෙන් බටනලාව ඇය අත තැබුවේය. “ඇයි ඉතින්... මොකක්ද හේතුව? ඔයා පොළට එන්න. එතකොට මං ඔයා එක්කම එන්නං. මං පොරොන්දු වෙනව. ඔයා එහේ ආව ගමන් මං එනව” ඇය කීවාය. මනක් කිසිවක් කීවේ නැත. කන්ද පා මුලදී ඇය අසුපිටින් බැස්සාය. දෙදෙනාට කතා කරන්නට ඉඩ දී නාටු, වෙළඹ මදක් ඈතට රැගෙන ගියේය. දැනට වසර හතකට ඉහත මේ පාරටම තමා මිතුරන් සමග ආ බව මනක් සිහි කළේය.‍ පොළේදී දුටු ගුලේරි ඔහුට අමතක කළ නොහැකි විය. ඔවුහු ආදරයෙන් බැදුනහ. දෙදෙනා තනිව හමු වූ එක් දිනක් මනක් සිහි කළේය. “ඔයා හරියට කිරි වැදුණ තිරුඟු කරලක් වගෙයි.” “කිරි වැදුණ ධාන්‍ය සොයාගෙන හරක් එනවා.” ඇය තම අත මදුවා ගනිමින් කීවාය. “මිනිස්සු ඒවා තම්බලයි කන්නේ” ඔහු පිළිතුරු බලාපොරොත්තුවෙන් ඇගේ මුහණට එබුණේය. “ඔයාට මාව ඕන නං මගේ තාත්තව හමුවෙන්න වේවි.” මනාලිය වෙනුවෙන් පියාට මිලක් ගෙවීම මනක් අයත් ගම් ප්‍රදේශයේ චාරිත්‍රයකි. ඉතා ධනවත්, උගත් පුද්ගලයකු වූ ගුලේරිගේ පියා කොපමණ මුදලක් ඉල්ලාවිද යන සිතුවිල්ල ඔහු අකර්මණ්‍ය කළේය. නමුත් ගුලේරිගේ පියා කියා තිබුණේ දුව වෙනුවෙන් සතයකවත් නොගන්නා බවත්, කවදා හෝ වැදගත් පවුලක විනීත තරුණයකු ඇයට සොයා දෙන බවත් හෙයින් සියල්ල පහසු විය. කල්පනාවේ නිමග්නව සිටි මනක්ගේ කර වටා ගුලේරිගේ අත දැවටුණේය. “මොනවටද ඔයා මේ තරම් හීන දකින්නේ?” ඇය විහිලු කළාය. ඔහු මුනිවත රැක්කේය. වෙළඹ නොඉවසිල්ලෙන් හඩ නැඟුවාය. ඇය අසුපිටට නැග්ගාය. මොහොතක් තම සැමියා දෙස බලාසිට මදහසින් කටහඩ අවදි කළාය. “ඔයා දන්නවද මීට ටිකක් ඈතින් තියන නීල සූනු වනය. කවුරු හරි ඒ කැලෑව මැදින් යන එන කෙනෙකුගේ කන් බීරි වෙනවලු. ඔයා නං ඒ කැලේ මැදින් ඇවිත් තියනවා. මං කියපු කිසිම දෙයක් ඔයාට ඇහුණේ නෑ” “ඔහා හරි ගුලේරි. ඔයා කියපු කිසි දෙයක් මට අහුනේ නෑ” කියමින් සුසුම් ලෑවේය. දෙදෙනා එකිනෙකාගේ මුහුණ දෙස බලමින් මොහොතක් සිටියහ. නොවැටහීම ඔවුන් ගොළු කළේය. අවසානයේ “මං යනවා ඔයා ගෙදර යන්න” ගුලේරි සෙමෙන් කීවාය. “ඔයා මේ බටනලාව ගන්න” මනක් ශෝකයෙන් කීවේය. “නෑ ඒක ඔයා තියාගන්න. පොළ දවසට ඔයා එහේ ඇවිත් ඕක වාදනය කරනවා නේද?” සිනාසෙමින් ඇසූ ඇය පිළිතුරක් බලාපොරොත්තු නොවී අසුට සන් කළාය. ඇයගේ දෙනෙත් හි‍රුගේ තෙදවත් ආලෝකය විහිදුවමින් තිබුණි. මනක් ඉවත බලාගත්තේය. ගුලේරි ‘චම්බා’ බලා ගමන් කලේ, මනක් ආපසු හැරී තම නිවස බලා යමින් සිටියදීය. මනක් නිවසට ගොඩ වූයේ අප්‍රාණික සිරුරකින් සහ උදාසීන මනසකින් යුතුවය. සෝපානය මත ඇද වැටුණු ඔහු දෙනත් පියා ගත්තේය. “මනක්, ඔයා ගෙදරින් ගිහින් කොච්චර වෙලාද? ගුලේරිගේ ගෙදරටම ගියාද?” මනක්ගේ මව කෝපයෙන් ඇසුවාය. “නැහැ කන්ද පාමුලට විතරයි” බරවූ නාසයෙන් යුතුව මනක් කෙඳිරුවේය. “මොකද මේ නාකි ගෑණියෙක් වගේ කොඳුරන්නේ මිනිහෙක් වගේ හැසිරියන්” ඇය තදින් කියා සිටියාය. ඔහුට සිය මවට විරුද්ධව කතා කරන්නට වුවමනා විය. මව තවමත් කෝපයෙන් බලා සිටියි. උඹ හරියට ගෑනියෙක් වගේ. ඇයි උඹට අඩන්න බැරි තව කෙනෙක් ඉල්ලල අලුත් වෙනසකට”. ඔහු නිහඩව අසා සිටියේය. ගුලේරි තම බිරිද වී අවුරුදු හතකි. ඇය දරුවන් වැදුවේ නැත. මනක්ගේ මව රහසිගතවම විසදුමක් සෙව්වාය. ඇය තරයේ කියා සිටියේ විවාහ දිවියේ අටවැනි අවුරුදු සැමරුමක් සිදු නොවිය යුතු බවයි. මේ වර්ෂයේ ඇයගේ අභිමතය පරිදි රුපියල් පන්සියයක් ගෙවා දෙවැනි බිරිදක් සොයා ගත්තාය. දෙවැනි බිරිද ගුලේරි දෙමවුපියන් වෙත යනතුරු බලා සිටියාය. සිය මවට හා සම්ප්‍රදායන්ට සිය සිරුර කීකරු වුවද, නව බිරිය වෙනුවෙන් ඔහුගේ හදවතෙහි ඉඩක් නොවීය. ඔහුගේ හදවත මිය ගොසිනි. එක් හිමිදිරි උදෑසනක මනක් සුපුරුදු ලෙස සිය උදාසීන ජීවිතයේ එකම සුමිතුරා වූ පයිප්පය මුවට ළං කළේය. සිය පැරණි මිතුරකු වූ බවානි නිවස පසු කරමින් යනු දුටු මනක් මේ තරම් උදෙන්ම යන්නේ කොහිදැයි විමසීය. විශාල පොට්ටනියක් ඔහුගේ උරහිසෙහි විය. “විශේෂ හේතුවක් නෑ මනක් අයියේ” බවානි අකමැත්තෙන් කීවේය. “ඒකට කමක් නෑ දුම් ටිකක් උරල පලයන්” මනක් කීවේය. බවානි පොට්ටනිය බිම තබා මනක්ගේ ගඩුගුඩාව අතට ගත්තේය. “මං චම්බාවට යනව මනක් අයියේ” අවසානයේ බවානි කීවේය. මනක්ගේ හදවත පසාරු කරගෙන බවානිගේ වචන රිංගා ගියේය. “අද පොළද?” මනක් වේදනාවෙන් ඇසුවේය. “ඔව්. ඇයි හැම අවුරුද්දෙම එකම දවසටනේ තියෙන්නේ මතක නැද්ද?” බවානි ඇනුම්පදයක ස්වරූපයෙන් කීවේය. “දැනට අවුරුදු හතකට කලින් අපි පොළට ගියා මතකද මනක්” මනක් කිසිවක් නොකීවද ඔහුට දැඩි අපහසුතාවක් දැනුණි. බවානි ගඩුගුඩාව පසෙකින් තබා පොට්ටනිය කරට ගෙන මනක් දෙස නොබලාම නැගී සිටියේය. පොට්ටනියේ වූ විවරයකින් එළියට පැන තිබූ බටනලාව දෙස මනක් බවානි නොපෙනී යන තුරුම බලා සිටියේය. පසු දින උදෑසන මනක් කුඹුරේ සිටියදී බවානි ඈතින් එනු දුටුවද, ඔහු ඉවත බලාගත්තේය. තවදුරටත් පොළ ගැන බවානි සමග කතා කරන්නට මනක්ට අවශ්‍ය නොවීය. එය එතරම්ම ඔහුට වේදනාකාරී විය. නමුත් බවානි කුඹුරේ වටයක් කැරකී විත් මනක් ඉදිරියෙන් බිම හිද ගත්තේය. බවානිගේ මුහුණ අගුරු කැබැල්ලක් මෙන් කලු වී ශෝකයෙන් බර වී තිබුණි. “ගුලේරි මැරිලා” භවානි මෙසේ කීවේය. “මොකක්” “උඹ ආපහු බැන්ද බව අහල භූමිතෙල් හලාගෙන ගිනි තියාගෙන” මනක් අසීමිත වේදනාවෙන් ගොළු විය. තමගේ ජීවිතයම ගිනි ගන්නාක් මෙන් ඔහුට දැනුණි. දින, සති, මාස ගත වී ගියේය. මනක් නිහඩව කුඹුරේ වැඩට ගියේය. කෑම බෙදා දුන් විට කෑවේය. නමුත් ඔහු සිතින් මිය ගොසිනි. ඔහුගේ දෙනෙතෙහි මෙන්ම මුහුණ පුරාම පැතිරී තිබුණේ හිස් බවකි. “මම එයාගේ බිරිද නෙවෙයි. එයාට බදින්න සිද්ධ වුණ කෙනෙක් විතරයි. එයා මට බැදීමක් ආදරයක් නැහැ” දෙවන බිරිද සිය නැන්දණියට කීවාය. නමුත් ඇයගේ කුසෙහි දරුවකු මෝරා ‍වැඩෙන විට මනක්ගේ මව ප්‍රීතියෙන් උද්දාමයට පත් වූවාය. ඇය මනක්ට මේ සුභාරංචිය කිවේ ඉමහත් බලාපොරොත්තුවෙනි. නමුත් ඔහු සිටියේ මව කී දේ නොවැටහුණු ආකාරයෙනි. ඔහුගේ දෙනෙත් තුළ වූයේ සුපුරුදු හිස් බවකි. “ඔහුගේ මව තම ලේලිය සනසා පුතාගේ හැසිරීම දරා‍ගෙන සිටින්නට දිරි දුන්නාය. “ඕව වෙනස් වේවි බලන්නකෝ තව ටික දවසක්” ඇය තම ලේලියට කීවාය. දරුවා ඉපදුණු පසු මනක්ගේ මව අපරිමිත සෙනෙහසින් දරුවා නහවා හොදින් සරසා මනක්ගේ උකුල මත තැබුවාය. මනක් දරුවා දෙස හිස් බැලමෙන් බොහෝ වේලා බලා සිටියේය. කිසිදු හැගිමක් ඔහුගේ මුහුණේ දිස් නොවීය. නමුත් හදිසියේ හටගත් බියකින් ඔහුගේ දෙනෙත පිරුණේය. ඔහු යටි ගිරියෙන් කෑගැසුවේය. “මේකා ගෙනියපල්ලා” ඔහු උමතුවෙන් මෙන් කෑගැසුවේය. “ගෙනියපල්ලා මේකව භූමිතෙල් ගදයි” ඉන්දියානු ලේඛක අම්රිතා ප්‍රීතම්ගේ Stench of Kerosene නම් කෙටිකතාවේ අනුවාදයකි. උපුටා ගැනීම : මුතුහර සගරාව