This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
යථාර්ථය
ඝනව වැඩී පැතිරී තිබූ රුක් ගොමු අතරින් විහිදී එන පැට්රෝල් මැක්ස් ආලෝකය ඉලක්ක කරගෙන ජයන්තන් සහ තංගරාජා ඉදිරියට පා තැබූහ. උඩැක්කිවල හඬ එන්න එන්නම වඩාත් පැහැදිලි ලෙස ශ්‍රවණය විය. ඡායාවන් ලෙස දිස්වන රුව මිනිසුන්ගේ බැව් අවබෝධ කරගත හැකි තරම් සමීපයට ඔවුහු පැමිණ සිටියහ. ජයන්තන් තංගරාජාට සමීප වී සිය දකුණතේ ඇඟිලි සමග වෙලාත්තතේය. ටිකින් ටික එම බැඳීම ශක්තිමත් විය. දෙදෙනා එහි ආසන්නයටම පැමිණියහ. ඇටුවන් බසිමින් මහත් ප්‍රදේශයක් පුරා තම අණසක පතුරුවාගෙන සිටි ඒ විශාල නුග රුක යට ගැහැනුන්, පිරිමින්, ළමා ළපටින් දෑත් එක්කරගෙන හිස නමාගෙන සිටිති. ඔවුන් සියල්ලෝම කිසියම් අදෘෂ්‍යමාන බලවේගයකට නතුවී සිටින්නා සේය. ජයන්තන්ගේ පාදවලට කුමක්දෝ ලිස්සන සුළු යමක් පෑගුන එය සරසර හඬනගමින් වියලී කොළ අතරින් ඇදීගියේය. සැබවින්ම එය කුමක් විය හැකිද? “මේවයි ගැරඬියො ඉන්නවා” තංගරාජා එසේ පැවසීය. ඒ පටු වැලි පාර ඔස්සේ ඔවුහු තවදුරටත් ඉදිරියට පා තබා ගිය නමත් ජයන්තන්ගේ දෙපතුල් මුළුමනින්ම පොළොවේ ගැටුණේ නැත. ඔහු දෑතින්ම තංගරාජාගේ දකුණත අල්ලාගෙන සිටියේය. මේ අමුත්තන් දෙදෙනාගේ සම්ප්‍රාප්තිය පිළිබඳව ඒ ස්ථානයේ සිටි පිරිසට කිසිදු හැඟීමක් නොවුණි. විභූති අළු තැටියක් ඇතැතිව සිටි කොළුවා ඔවුන්ව දුටුවේ ය. වටා කවාකාරව රැස්ව සිටි පිරිස අතරින් පිට වී ඔවුන් දෙදෙනා වෙතට පැමිණි ඒ කොළුවා දෙදෙනාගේම නළලේ අළු තැවරූහ. තංගරාජා කිසියම් මුදලක් ගෙන ඒ විභූති තැටියට දැම්මේය. කොළුවා නැවත කවය මැදට ගියේය. පිරිස අතරින් තෙරපෙමින් ජයන්තන්වත් ඇදගෙන තංගරාජා ඉදිරියටම ගියේය. ඒ පිණිබිදු වැටෙන සීතල මොහොතේ පවා දහදිල වැගිරෙන නග්න උඩු කයින් යුත් මිනිසුන් දෙදෙනෙක් උඩැක්කි වයමින් සිටිති. මිටි තරබාරු සිරුරකින් ද තට්ට හිසකින් ද යුත් පූසාරි ඉතා ගොරහැඩි හඬින් ගායනාවක් කරයි. ඔහුගේ ගෙලේ නහර පිටතට නෙරා විත් තිබුණි. වම් අතේ දෙහි ගෙඩියකුත් දකුණු අතේ මන්ත්‍ර යෂ්ටියත් තබාගෙන හිස එක් පසෙකට ඇළකර දකුණු පාදය මදක් උස්සා වම් පාදයෙන් සිරුරේ මුළු බර උසුලාගෙන, උඩැක්කිවල තාලය අනුව මදක් ගත සොලවමින්, බුලත් කහට බැදුණු දත් පාමින් ඔහු නොකඩවා ගයයි. මේ දසුනෙන් අමුත්තන් දෙදෙනාගේ සිත තුළ එක්තරා බිය මුසු හැඟීමක් ජනිත කෙ‍රිණි. පූසාරිගේ ඉදිරියෙන් ශක්තිමත් සිරුරින් යුත් රූමත් කාන්තාවක් හිසකේ විහිදාගෙන ඔහුගේ ගීතයට සමගාමීව ආරූඪ බවක් පාමින් නටමින් සිටියාය. කොට හැට්ටයකින් ඇගේ තරබාරු සිරුරේ උඩ කොටස තදට සිරවී තිබුණි. පූසාරි විසින් ඉසින ලද මන්ත්‍ර ජපකළ දියරින් ඇගේ රත් පැහැ සිරුර තුළට තෙතබරිත ඇඳුම් ඇලී තිබූ අතර ශරීරාංග නෙරා විත් පැහැදිලිව දර්ශනය විය. පූසාරිගේ රේඛා මතුවුන අඳුරුවන් දෑස් යොමුව තිබුණේ ඒ දෙසටමය. “මෑණියනේ පිංවත් නිර්මලවූ ඔබ වැඩියේ කොයි සිටදැයි කියනු මැනේ රාජිණියයි ඔබ අප වෙත හැමදාමත් ඔබ ආ මග අපටත් කියනු මැනේ මැණියනේ පිංවත් නිර්මල වූ. . .” පූසාරි එසේ ගයන අතර කෙස් විහිදුවාගෙන නටමින් සිටි කාන්තාව හදිසියේම පැන ගොස් නුග ගස යට සිරකර තිබූ ත්‍රිශූලයක් ගෙන රැස්ව සිටයවුන් අතරට වැදුනාය. පිරිස වහා ඈත් වෙමින් ඇයට ඉඩ දුන්නෝය. වැට අයිනේ නුග ගසේ මුලක් අල්ලාගෙන සිටි තරුණයකු කෙස් වැටියෙන් අල්ලා ඇද ගෙන ගියාය. මහත් කලබලයට පත් වූ පිරිස අතර කසුකුසුවක් පැතිර ගියේය. “කන්දවනම් අහුවුනා. අද නම් මෑණියෝ ලේසියෙන් අත්හරින එකක් නෑ” “මම ඔය ටික කලිනුත් කිව්ව. ඔය කොල්ලා කරන නොසණ්ඩාල වැඩ මෑණියන්ට කොහොම හරි අහුවෙන බව මම නම් සහසුද්දෙන් දන්නවා.” “කියල වැඩක් නෑ සිවලිංග අයියේ රක්ෂාවක් කරල හම්බ කරන මිනිහෙක් නම් අරක්කු ටිකක් බිව්වට වරදක් නෑ. ඒත් තමන්ගෙ ප්‍රමාණයට වෙන්න ඕන. එය කන්දවනම් අරක්කු දිවේ තියන්නේ නැතිව නිදි පැදුරෙන් නැගිටින්නේ නෑ. බීල ඇවිල්ල අර අසරණ ගෑනියෙකුට දෙන වදයක්. අම්මප මනුස්සයෙකුට බලන් ඉන්න බෑ.” “ඒක තමයි මෑණියො මිනිහව අල්ල ගත්තෙ. ඔය ගමන නම් මිනිහ හරි මාර්ගයට ඒවි.” “මිනිහ සති පහක් හයක් තිස්සේ මේ පැත්තෙ දකින්න හිටියෙ නෑ. මිනිස්සුන්ගෙන් හැංගිලා බේරුනාට දෙවියන්ගෙන් හැංගිලා බේරෙන්න බෑ. මෙතනට අද ඇවිල්ල මාට්ටු වුනේ ඒ නිසා.” කන්දවනම් ජන සමූහය මධ්‍යයේ හිස නමාගෙන සිටියේ ය. ඔහු වටා ත්‍රිශූලය තමාට සිතැගි ලෙස කරකවමින් දෑත්හි පැළදි ලෝකඩ ගිගිරි වළලු සළ හඩ නන්වමින් ඈ නටන්නට වූවාය. උඩැක්කි දෙකේ හඩ ද ඉහළ නැඟුණි. පූසාරි දකුණතේ වූ දෙහි ගෙඩිය වරින් වර උඩට ඔසවා මිරිකමින් උච්ච ස්වරයෙන් ගායනා කළ අතර ඇයගේ නැටුම ද තවත් වේගවත් විය. “මෑණියන් වහන්ස ඔබ වහන්සේ තමයි දැන් මට පිහිට වෙන්න ඉන්නෙ. මගේ මිනිහට අවවාද කරලා හොඳ මිනිහෙක් කරල දෙන්න මෑණියනේ.” පිරිස අතරේ සිටි කන්දවනම්ගේ බිරිඳ මුව අයා ප්‍රාර්ථනා කළාය. ඇගේ දෑස්වල කඳුළු පිරී තිබුණි. “ඒයි. . . කන්දවනම්” ත්‍රිශූලය බිමට තදකරමින් මෑණියෝ ඔහුව ඇමතූහ. ඔහු නිහඩවම සිටියේය. “ඒයි . . . මම කතා කරන කොට කතා නොකර ඉන්න උඹට මොන බලයක්ද බොල තියෙන්නේ?” ඇගේ හඬ උඩැක්කි හඩ ද ඉක්මවා ගියේය. “ඇයි මෑණියන් වහන්ස?” කන්දවනම් නමාගත් හිස නොඔසවාම ප්‍රශ්න කළේය. “ආ අන්න එහෙම වරෙන්. උඹ මීට පස්සේ ‍බොනවද? හ්ම් කියාපිය! උඹ මීට පස්සෙත් බොනවද?” මද නිහැඩියවකට පසු ඔහු අධිෂ්ඨානශීලී හඬින් පිළිතුරු දුන්නේය. “නෑ මෑණියන් වහන්ස මීට පස්සේ මම බොන්නෙම නෑ” ඈ විභූති තැටිය අතේ තබාගෙන සිටින කොළුවා ලඟට ගොස් අතපිරෙන්නට විභූති ගෙන කන්දවනම්ගේ හිස් මුදුනේ සිට දෙපා දක්වා තැවරුවාය. ඔහුගේ පහළට නමාගෙන සිටි හිස ත්‍රිශූලයෙන් ඉහළට ඔසවා සිය දකුණත මුඛය අසලට ගෙනැවිත් ඉතිරිව තිබූ විභූති ටික ඔහුගේ මුඛයට අල්ල පිම්බාය. “මීට පස්සේ බොන්නැද්ද ?” “සත්තයි නෑ මෑණියන් වහන්ස” ඇගේ කෙස් විහිදුවාලූ හිස මත තම දකුනත තබා කන්දවනම් ශපථ කළේය. “ජයන්තන්, මේකත් එක්තරා මනෝ විද්‍යාත්මක ක්‍රමයක්. තංගරාජා ජයන්තන්ට පැවසීය. “ඒ කියන්නෙ” “මිනිස්සුන්ගෙ සිත් පිරිල තියෙන්නේ නොයෙක් සිතුවිලි කල්පනාවලින්. සිත ඒ සියල්ලෙන්ම මුදවල එක අරමුණකට ගන්න ඕන. ඒ වෙනුවෙන් සත්‍යවගේම බොරුව වුනත් යොදවන්න පුළුවන්. ඒ විදියට සිත තුළ නිදහස් හැඟීමක් ඇතිකරනව. ඒ හැඟීම ආදරයෙන් හෝ විශ්වාසය තුළින් නැත්නම් බය කිරීම තුළින් වෙන්නත් පුළුවන්. එහෙම මෝහන තත්ත්වයක පවතින සිතක් තියෙන කෙනෙකුට මනෝ විද්‍යඥයො පවසන වචන ඉතාමත් පැහැදිලිව ඔහුගේ යටි සිතේ ඒ කියන්නේ ‘සබ්කොන්ෂස් මයින්ඩ් එකේ’ ධාරණය වෙනව. ඒ වගේම තමයි. නෑ ඊටත් වඩා ගැඹුරින් යටි සිතේ ධාරණය වෙනව මේ වගේ විධානයක් දෙනකොට. “ඒ කියන්නෙ “සෛකෝ අනාලිසිස්” මෙහේ පවතිනව. මීට පස්සේ මෙයා. . . නම මොකක්ද? ඕ . . කන්දවනම් මීට පස්සේ බොන්නෙම නෑ කියල සහතිකද? “සහතිකවම බොන්නේ නෑ” “ ඒ කියන්නෙ ලෝකේ ඉන්න හැම බේබද්දෙක්ම මෙහෙට එක්කගෙන ඇවිත් හොද මිනිහෙක් බවට පත්කරන්න පුළුවන් කියලද? “මම එහෙම කියන්නේ නෑ. මේ හැම දෙයක්ම විශ්වාසය මත තමයි පවතින්නෙ. යන්ත්‍ර මන්ත්‍ර දේව මෑණියො ඒ මොන ජාතියක දෙවියෝ වුනත් කමක් නෑ. හදවත පිරිසදුව හිතේ කහටක් නැතුව මුළු හදින්ම විශ්වාස කරනවා නම් ඒ ඉෂ්ටාර්ථයක් වෙනවා. ඒ වගේ මුළු ලෝකෙම උනත් මිනිස්සුන්ගේ ඕනෑම බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්නේ විශ්වාසය මතම තමයි.” “මොන විදියකින් හරි එක බේබදු මිනිහෙක්වත් හොඳ මිනිහෙක් කරන්න පුළුවන් වුණානේ. ඒ නිසා මම ඔයා කියන දේ පිළිගන්නම්. ඒක නරක පැත්තට නම් ඔය කිසි දෙයක් හරියන්නෙ නෑ.” “ඇයි එහෙම කියන්නෙ?” තංගරාජා ප්‍රශ්නයක් නැගුවේය. “එහේ මිනිස්සු කිසිම දෙයක් ගැන විශ්වාසයක් නැති විදියටනේ හැසිරෙන්නෙ. තමන් ගැන විශ්වාසයක් නෑ. තමන් බැඳපු ගෑනි ගැන විශ්වාසයක් නෑ. තමන්ට ලැබුණු දරුවො ගැනවත් විශ්වාසයක් නෑ. ඒ දරුවො තමන්ට දාව ඉපදුනාද කියන එක පවා සමහර මිනිස්සුන්ට සැකයි. විශ්වාසයක් නැති එක තමයි වැඩි දෙනාගේ විශ්වාසය. හැබැයි එකම එක දෙයක් ගැන හැම දෙනාගෙම විශ්වාසයක් තියෙනවා.” “තමන් හැර අනිත් හැම දෙනාම දරුනු පිස්සොය කියන එක. සමහරු ඉන්නවා කොහාමටත් සාමාන්‍ය ජනතාව පිස්සො රෑනක් කියලා විශ්වාස කරන” දෙදෙනා ඊළඟ දිනයේදී දහවල් “යාල් දේවියෙන්” කොළඹ යාම සඳහා සූදානම් වෙමින් සිටියෝය. පෙර දින රාත්‍රියේ අම්මාන් කෝවිලේදී වූ සිදුවීම සම්බන්ධ මතකය ගැමි පරිසරයට ආධුනිකයෙක් වූ ජයන්තන්ගේ සිතින් මුළුමනින්ම ඉවත් වුයේ නැත. ඔවුන්ට කෑම බැඳීම සඳහා කෙසෙල් කොළ කපන්නට ගිය තංගරාජාගේ මව අලුත් ආරංචියක් ද රැගෙන ආවාය. “පුතා අර කන්දවනම් කොල්ලට බදු මුලාදෑනිය වත්ත ඇතුළෙදි හොඳටම තඩිබාල.” “ඒ මොන වරදක් කළාටද?” “පසු ගිය වාරෙ බදු මුදල් තාමත් ගෙවල නැහැයි කියල. කන්දවනම් දිය හිස්කරපු වෙල්ලාවත් අරගෙන ඇවිත් තියෙනව. මුලාදෑනි උන්නැහේ රැකගෙන ඉදල ගහල. ඒ බේබද්ද මොකුත් නොකර මුලාදෑනි උන්දැව යහතින් අතහැරිය කිව්වම පුදුමෙනුත් පුදුමයි.” “දැන් කන්දවනම් බීම නවත්වල අම්මේ. ඊයෙ අම්මාන් කෝවිලේදී මෑණියො ඉදිරියෙ දිව්රුව බොන්නේ නෑ කියල. එයා ඊයේ ඉදල හොඳ මිනිහෙක් වෙච්ච නිසා බදු මුලාදෑනි උන්නැහේ අද භූතයෙක් වෙලා. තංගරාජාත් ජයන්තනුත් උදෑසන එකොළහට පිටත්වන කොටිකාමම් බස්රිය අල්ලා ගැනීම සඳහා මාලි හන්දිය දෙසට යමින් සිටියහ. වදිරි හන්දිය පසුකර බේබි කඩේ අසලට එනවිට කන්දවනම් ලේ තැවරුණ පොල්ලක් ද අතැතිව උස් හඬින් අසැබි වචන කියමින් ඔවුන්ව පසුකරගෙන යන්නට විය. ඔහුගෙන් වහනය වූ මත්පැන්වල සැර දෙදෙනාගේ නාස් පුඩු පසාරු කරගෙන යන තරම්ය. “තංගරාජා මනෝ විද්‍යාවෙ නියමයන් වුණත් පරිසරය විසින් ම තමයි නිර්මාණය කරන්නෙ” ජයන්තන් ප්‍රකාශ කළේය. දමිළ ලේඛක රාජ ශ්‍රී කාන්තන්ගේ කෙටිකතාවකි. ජී.ජී. සරත් විසින් පරිවර්තනය කරන ලද මෙම කෙටිකතාව නව යුගය මාසික සගරාවෙන් උපුටා ගත්තකි.