This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
වන්දනාව
මතක දිග හැරුම සල්වාරි එකට ඔයා ගොඩක් ලස්සනයි. අහිංසක පාටයි...\" \"තෑන්ක්ස්, ඒත්...\" \"ඇයි ? ඒත් කියන්නේ\" \"නෑ... ඉතිං, මේක මගේ නෙවෙයිනේ\" \"දන්නවා... මේ ලොකේ තමන්ගේ කියලා කිසි දෙයක් නෑ සපූ\" \"ඒත් මොන දේ නැතත් මං දන්නවා සර් මගේ කියලා\" \"නෑ බබා... නෑ... ඒක වැරදියි. මේක තාවකාලික අයිතියක් විතරයි\" \"ඇයි ?\" \"නෑ... මං කිව්වේ මේ ලෝකේ හැමදේම අස්ථීර නිසා\" \"ඒත් සර් අපේ ආදරේ ස්ථීර නැද්ද ?\" \"කියන්න බෑ...\" \"ඔව් මං දන්නවා... ඔයා මට ආදරේ කියලා මාව අරන් යන්නේ කොහේටද කියලා.\" \"කොහේටද ?\" \"ගැඹුරු අගාධයකට...\" \"ඒක ඇත්ත\" \"එහෙනම් මොන එහෙකටද මාව කතරගම එක්ක ආවේ\" \"ඔයා මගේම කරගන්නනේ බබා\" \"ඔයා මාව රැවැට්ටුවා...\" \"අ~න්න එපා මෝඩියේ... විහිළුවක් කලේ\" \"ඔව් මං මෝඩයා තමයි. මං ඔයාගේ චාටු කතාවලට රැවටුනා. කැම්පස් ආවට මගේ හිත බොළඳයි. ඔයා ඒකෙන් ප්‍රයෝජන ගත්තා.” \"කෑ ගහන්න එපා මේ පූජා භූමිය කියන එක අමතක උනාද ? මෝඩයා කිව්වේ විහිළු තේරුම් නොගත් නිසා\" \"ඔයා මට ඇත්තටම ආදරේද සර්...? කතරගම දෙවියන් ඉදිරියේ පොරොන්දු වෙන්න මාව දාලා යන්නේ නෑ කියලා\" \"නෑ රත්තරං නෑ... මං ඔයාට ආදරෙයි. මං පොරොන්දු වෙන්නම්. දැන් හිනාවෙන්න සපූ\" සෙනසුරාදා දිනයක් වූ නිසා කතරගම පූජා භූමිය අතුරු සිදුරු නැතිව පිරී පැවතිණි. නන් දෙසින් ආ බැතිමතුන් පූජාවන්ට සහභාගී වී සිටිති. සපූගේ බැතිබර සිතින් සැනසීම තුරන් වූවාය. තමන් පැමිණියේ නොආයුතුව තිබූ ගමනකි. ආමන්ත නිසා යෙහෙළියන්ට ද බොරු කීමට සිදු වුනි. ස්නේහාගේ සල්වාරිය අඳිනවිට ඈ තමන් සැක කරන්නටද ඇත. \"අදනම් උඹ යන්නේ මළ ගෙදරක වෙන්න බෑ කෙල්ලේ... මොකද ආමන්ත සර් පන්සලකටවත් යමු කිවද ?\" \"නෑ... බං නෑ... සර් ගමේ ගියා\" අවසන් වසර විභාගයට ඇත්තේ තවත් මාස දෙකකි. විභාගය අත ලඟ තිබියදී මෙවන් ගමනක් පැමිණියේ ඇයි දැයි සපුමලී තමාගෙන් ම විමසා ගත්තාය. ඇගේ කල්පනා ලොව දේවාලයේ මුරුතැන් පූජාව නිසා බිඳී ගියාය. ආමන්ත දෙවියන් ඉදිරියේ තවුසෙකු බඳු විය. කඳ සුරිඳුන්ගේ ආනුභාවයෙන් සියළු දෝමනස්සයන් අකා මකා දමන්නට සපුමලී අදිටන් කර ගත්තාය. ස්වල්ප වේලාවකට පෙර තමන් කිරි වෙහෙර සෑ රදුන් ඉදිරියේ සිටියේ කෙතරම් සතුටකින්ද ? එහෙත් ඒ සතුට ආමන්තගේ වදන් වලින් සුණු විසුනු වී ගියේ ක්ෂණයකිනි. \"අපි රෙස්ට් එකට යමු බබා\" සපුමලී තිගැස්සුනාය. ජීවිතයේ ප්‍රථම වතාවට පිරිමියෙකු සමග එකම කුටියක එකම යහනක තනි වන්නට සිදු වේ. ඇයට අම්මා සිහි වූවාය. අප්පච්චි දැන ගත්තොත් කුමකින් කුමක් සිදු වේදැයි කිව නොහැක. ගමනට සූදානම් වන්නැයි ආමන්ත කී මොහොතේ වත් මෙවන් තිගැස්මක් ඇති නොවූවාය. එහෙත් දැන් කළ යුතු දෙයක් නැත. ආමන්ත හැරදා පලා යා නොහැක. එක අතකට ආමන්ත අවිශ්වාස කිරීම පාපයකි. ඔහු පිවිතුරු සිත් ඇත්තෙකි. තමන් ඔහුගේ ශිෂ්‍යාවකි. ගුරුවරයෙකු විසින් ශිෂ්‍යාවක කිසි දිනෙක අමාරුවේ දමතියි විශ්වාස කළ නොහැකිය. ඇය සිත හදා ගත්තාය. එහෙත් මොහොතකට පෙර ආමන්ත සිත මඳකට හිරි වැට්ටුවා නොවේද ? ඈ බිය වූයේ ඒ නිසාය. \"බය වෙන්න එපා\" \"අපි යමු සර්...\" මැණික් ගං මිටියාවතේ පිහිටා තිබූ \"සන්ධ්‍යා\" නිවාඩු නිකේතනය දුටුවන් මන බඳින සොඳුරු නවාතැනකි. එහි ඇතුල්වනවිටම සපුමලීට අමුත්තක් දැනුනි. සොඳුරු නවාතැනක තම සිත ගත් සොඳුරිය සමග රැය පහන් කරන මනරම් රාත්‍රිය පිළිබඳ සිතමින් ආමන්ත තමන්ට හිමිවූ කුටියේ දොරගුළු විවර කලේය. පහත මාලයේ ආපන ශාලාවෙන් රාත්‍රි ආහාරය ගත් යුවළ කුටියට පිවිසියේ අළුත බැඳපු මනාල යුවලක් පරිද්දෙනි. සපුමලී ආමන්තගේ අත ගත්තාය. ආමන්තගේ සිරුරෙන් වහනය වන සුවඳට ඈ ආශා කාළාය. \"මොකද මාව ඉඹින්නේ ?\" \"සුවඳයි\" \"අද රෑට ඇති වෙනකම් ඉඹින්න...\" \"මට බෑ...\" \"ඇයි ?\" \"මට බයයි සර්...\" \"ඔයා බය වෙන්නේ ඇයි ? මං ඔයා බඳන්න නේද ඉන්නේ...?\" \"ඒත් අපි තාම බැඳලා නෑ නේ\" \"ඔයාට මාව අවිශ්වාසද සපූ ?\" සපුමලීට ආමන්ත පිළිබඳ දුක සිතිනි. තමා ඔහු රිද්දනවා වැඩී නොවේද ? අනාගත ජීවන සහකරුවා අවිශ්වාස කිරීම වරදකි. \"ඔයාට මාව විශ්වාස නැත්නම් මං වෙන රූම් එකක් ගන්නම්...\" \"එපා...\" ඇගේ ක්ෂණික වෙනසට හේතුව පූජා භූමියේදි තමන් කළ අනවශ්‍ය විහිළුව නිසා බව ආමන්ත දැන සිටියේය. කෙසේ හෝ කෙල්ලගේ හිත හදන්න ඕන. ඒත් තමා කලේ මෝඩ කතාවක් බව වැටහෙන විට සපුමලී ඒ හරහා බොහෝ දුර ගොස් සිටියාය. \"මට සමාවෙන්න සපූ\" \"හරි හරි ඒවා සේරම හරි\" \"හොඳ ළමයා වගේ දැන් වොෂ් එකක් දාගෙන එන්න\" \"සර් යන්න...\" \"මං පහළට ගිහින් එන්නම්\" \"සිගරට් බොන්න එපා...\" \"එකක්...\" \"හැබැයි එකයි ඔන්න...\" \"තෑන්ක්ස් කෙල්ලේ...\" රාත්‍රිය නිසංසලය. සඳ පායා බැබලී බැබලී සිනා සෙන්නීය. ශීතල දිය දහරින් පිබිදුනු සපුමලීගේ ගත හිරි ගඩු පිපී තිබුනි. රාත්‍රී ඇඳුමින් සැරසුනු ඇගේ ගත වෙනදාටත් වඩා සොඳුරු යැයි ආමන්තට සිතිනි. ආමන්ත ශීතල දිය දහර තවරා ගත්තේ උතුරා යන සතුටිනි. නාන කාමර දෙසින් ඇසෙන ආමන්තගේ ගී හ~ට සපුමලී සවන් දුන්නේ සිහින් සිනාවක මුවඟ රඳවා ගනිමිනි. \"පව් අහිංසකයා...\" එහෙත් තමන් සිතන තරම් තම ගුරුවරයා අහිංසකයෙකු විය හැකිද ? සියල්ල රාත්‍රීය විසින් තීරණය කරනු ඇත. උඩු කය නිරාවරණය කර පිජාමා සරමකින් සැරසුනු ආමන්ත ඈ වෙත ආවේ ඇගේ ගත සිත කිති කවමිනි. ශක්තිමත් දේහයකින් යුතු මොහු ඉදිරියේ අද දින තමාගේ තවුස්දම් බිඳී යාදෝ යි බියක් ඇගේ සිත වෙලා ගත්තාය. \"මොකද ? බලං ඉන්නේ...\" \"සරම ඇන්දම ලස්සනයි...\" \"ඇයි මොකුත් පේනවාද ?\" \"අනේ... හ්\" \"මගේ ලඟට එන්න...\" \"ඇයි ?\" \"එන්නකෝ...\" \"ම්ම්හ්...\" \"ලයිට් එක ඕෆ් කරන්නද ?\" \"හා...\" ආදරණීය සිහින් වර්ෂාවක් කතරගම නගරයට ඇද හැලෙන්නට විය. කතරගම නගරයට වැසි වසින්නේ කලාතුරකිනි. සන්ධ්‍යා නිවාඩු නිකේතනයට වැසි බින්දු වැටෙන අයුරු සපුමලී අසා සිටියේ දෙගිඩියාවෙනි. යෞවනය දඟකාරය, දඩබ්බරය, ඊටත් වඩා හිතුවක්කාරය, කියන දේ නාසයි. සත්පට මාල දමා පෝරුවේ නැඟ කුලගෙට යන්නට සිටි සපුමලීගේ සියළු සිහින ඒ වැසිබර රාත්‍රියේ බොඳ වී ගියාය. පරම පිවිතුරු ප්‍රේමය ඉදිරියේ පවිත්‍ර නිකැලැල් පාරිශ=ද්ධත්වය පූජා නගරයේදී සිය පෙම්බරා ඉදිරියේ පෙන්වා ප්‍රේමයේ යදමින් ඔහුගේම වූවාය. ආමන්තගේ ප්‍රේමණීය ඇරයුමට පිටුපෑවද ඔහුගේ දඟකාරකම් ඉවසන්නට තරම් ඇගේ සිත ප්‍රබල නොවූවාය. සඳ ඈටත් නොකියාම කතරගමින් පළා ගියාය. රැය පහන් වූයේ කඳුළු සයුරක් මවමිනි. \"මං ඔයා තනි කරන්නෑ මැණික...\" \"ඒත් සර්... ඇයි මට මෙහෙම කලේ ?\" \"මට සමාවෙන්න...\" උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා පැමිණෙන ලෙස දන්වා එවා තිබූ ලිපිය පුංචි අනුකී තමාගෙන් උදුරා ගත් බවක් ඈට සිහි නොවූවාය. ලිපිය කියවන අතර තුර තමාට සරසවි ජීවිතයෙන් ලැබුනු දේව ත්‍යාගය වන අනුකී නිම්සරා ලැබීම දක්වා කල්පනා ලොව බොහෝ සේ දුර ගොස් සිටියාය. සපුමලී කල්පනා ලොවෙන් මිදෙන විට අනුකී විසින් ලිපිය කීතු කරමින් සිටියාය. සිරිසේන සිගිති මිණිබිරිය ඔසවා ගත්තේ සෙනෙහසිනි. අනේකවිධ බලාපොරොත්තු රාශියක් මැද ගේ දොර පවා උකස් කර උසස් අධ්‍යාපනයට යැවූ ලොකු දුව තමාට ත්‍යාග කලේ උපාධිය වෙනුවට සිඟිති අනුකී පමණී. අනේකවිධ නින්දා ඉවසමින් සිරියාවතී සිඟිත්තියගේ දඟකාරකම් දෙස බලා සැනසුනාය. ජීවිතය පටලවා ගත් පමණින් දියණිය අතැර දමන්නට තරම් ශක්තියක් දෙමාපියන්ට නැත. \"සීයා තාත්තා\" \"ඇයි වස්තුවේ...\" \"අම්මා අ~නවා...\" \"මයේ පැටියා අම්මාගේ ලියුම ඉරුවනේ...\" \"මං ආයේ ඉලන්නේ නෑ සීයා තාත්තා. ඉතිං අම්මාට අඩන්න එපා කියන්නකෝ\" \"හා... මං කියන්නම්\" \"සීයා තාත්තේ... අපි හෙට කොහේද යන්නේ ?\" \"කවුද මයෙ දුවට කිව්වේ ?\" \"ආච්චි අම්මා...\" \"අපි හෙට කතරගම යනවා. මයේ පැටියාට බාරයක් උනානේ. ඒක ඔප්පු කරන්න\" සපුමලී ගැස්සුනාය. දෛවය තමන්ට සරදම් කරන අයුරු රුදුරු වැඩී නොවේදැයි ඈට සිතිනි. නිමි... \"ස්වර්ණ පන්හිඳ\" කේ . එම් . එස් . කුමාර, සංස්කෘතික නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කතරගම.