This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
නාරිලතා
තනිකඩ දිවිය හරිම සුන්දරයි. දැන් හිතුණද දැන් ගියා. ලංකාවෙද? සල්ලි තියෙනව නම් පිටරටකද? අනුරාධපුරයෙ පොලොන්නරුවෙ නටබුන් අතරද, වෙහෙරක් විහාරයක්, බෝ මැඩක් ළඟද, හිතත් එක්ක තනිවෙන්න පුළුවන්. වටේ ඉන්න යහළු යෙහෙළියන් තනිකඩ දිවිය සමච්චලයකට අරගෙන. “ලෝකේ ලස්සන වෙන්නට දෙදෙනෙක් ඕනෑ වෙයි” මේක තමයි ඒ අය මගේ හිතට වද්දන්නෙ. දෙන්න තුන්දෙනා වෙන එක ඒ ගොල්ලන්ගෙ ඉලක්කය. තනි අලියා සැරයි. ඌට අරමුණක් නෑ, ඉලක්කයක් නෑ. රංචුවක් නෑ. අම්ම තාත්ත අහිමි වුණා. සහෝදර සහෝදරියො වෙන වෙනම කූඩු තනාගෙන විසිරිලා ගිහින්. මහ ගෙදර තනි වුණ මගේ ජීවිතයට හොඳ කවි සංකල්පනා, ගී පදවැල් ලියන්න මුමුනන්න නිදි මරාගෙන පුළුවන්. මහරෑ මැදියම් රැයේ සඳ තරු පිරිවැරූ අහස දිහා බලාගෙන ලස්සන චිත්ත රූප මවන්න පුළුවන්. මොකද අද පරක්කු වුණේ? අනේ! දැන් නිදාගන්නෙ නැද්ද? අහන්න කෙනෙක් නෑ. තනිවීම අසපුවක් කරගෙන, හිත භාවනාවක් කරගෙන. මම දැහැන්ගත වෙලා. තනි වෙන්න, තනිවෙන්න කියල වැර දැරූ හිත අද්දර ඔන්න නාරිලතා මලක් පිපුණා. නෙතු පියන් වසඟ වුණා, හිත උඩු යටි කුරු වුණා. “ලෝකේ ජීවත් වෙන්නට දෙදෙනෙක් ඕනෑ වෙයි” එයා ගයනව, රඟනව, තනි වෙන්න ඉඩ දෙන්න බෑ - නාරිලතා මල කියනව. ඔයා පරපුරක් ගැන හිතන්නෙ නැද්ද? ඔයාට පීතෘ පදවි. මට මාතෘ පදවිය. ලබන්න ලබාදෙන්න බැරිද? ඔය කකුලෙ කටුවක් ඇනුනහම අරන් දාන්නෙ කව්ද? වයසට ගියාම කොන්දෙ කැක්කුමක් ආවහම තෙල් ටිකක් ගා ගන්නෙ කොහොමද? නාරිලතා මහ හයියෙන් හිනාවෙනව. කෝම කෝම හරි දන්න හැම රංගනයක්ම දාල නාරිලතා, හැඳි මිටේ දිග තියෙන නුවණින් මාව දියාරු කරල අල්ලට අරගෙන දිව ගාල ලුණු ඇඹුල් රහ බැලුව. ඇත්ත නේන්නම් දෙන්නෙක් එක වහලක් යට කොච්චර සුන්දරද? අපරාදේ මම තනිවෙලා හිටිය කල්, තව පොඩ්ඩෙන් ජීවිතයෙ වසන්තය මග හැරෙනව. නාරිලතා මල ඔයා සුවඳයි මම ඔයාව වැලඳ ගන්නව. ගම්පහ සිරි පෙරේරා කහවල උපුටා ගැනීම සිළුමිණ පුවත්පත