🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දෑවැද්ද ආදරයටත්, ජීවිතයටත් ඉහළින්

දෑවැද්ද ආදරයටත්, ජීවිතයටත් ඉහළින්දෑවැද්ද නිසා සෑම පැයකට ම ඉන්දියාවේ මරණයක්. හින්දු චාරිත‍්‍රානුකූලව කුලගෙට යාමට මනාලයාත් සමග වට හතක් යද්දීවත්, සෙනෙහසින් පිළිණ දී මනාලයාගේ සුරතින් නළලත තිලක තබද්දීවත් සිහිනෙදු ඇය මරණයේ බියකරු සිහිනය නොදකින්නට ඇත. එහෙත්, ආදරයට හෝ ජීවිතය ට වඩා දෑවැද්ද බලවත් වී තිලක තැබූ අත්වලින් ම ගෙල සිරවී වැඩිකල් නොයාම ජීවිතයට සමු දෙන්නට සිදුවන්නේ නම්... කිසිදු යුවතියක් කිසි කලෙකත් සිහිනෙනුදු නොපතන්නේ වුව ද ඉන්දීය සමාජයේ එය එතරම් විරල අත්දැකීමක් නොවන බව, සුලබ සිදුවීමක් වෙමින් ඇති බව දැනගන්නට ඇත. ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශය ඉකුත්දා නිකුත් කළ වාර්තාවකට අනුව 2012 වර්ෂයේ දී දෑවැදි ප‍්‍රශ්නය නිසා මරණයට පත්කර ඇති කාන්තාවන් ගේ ගණන 8233 කි. එනම්, සෑම පැයකට වරක්ම එක් අයෙක් දෑවැද්ද නිසා මරා දමා ඇති බව හෙළිදරව් වෙයි. ඉන් බහුතරය අලූතෙන් යුගදිවියට පත් යුවතියන් ය. ඉකුත් දෙසැම්බරයේ දී නවදිල්ලියෙන් වාර්තා වූ සමූහ දූෂණ සිදුවීමට වැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක මේ වාර්තාව ඉදිරිපත් වී ඇත. 2011 දී සිදුවූ මෙවැනි මරණ සංඛ්‍යාවට වඩා යම් අඩුවීමක් 2012 දී පෙනෙන්නට ඇතත් කාන්තාවන් ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වෙමින් ඇති බව ඉන් පැහැදිලි වෙයි. 2011 දී වාර්තා වූ දෑවැද්ද ආශ්‍රිත කාන්තා මරණ සංඛ්‍යාව 8618 කි. මේ බොහොමයක් මරණ සිදුකර ඇත්තේ එම කාන්තාවන්ගේ සැමියන් විසින් ම බව ද අනාවරණය වී තිබේ. 2012 වර්ෂය තුළ සිය සැමියන් හෝ ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන් ගේ වධහිංසාවලට ගොදුරු වී ඇති කාන්තාවන් සංඛ්‍යාව 106,527 කි. 2011 දී වාර්තා වූ එවැනි සිදුවීම් සංඛ්‍යාව 99135 කි. එනම් එහි පැහැදිලි වර්ධනයක් පෙන්වයි. මෙවැනි බොහොමයක් වධහිංසා කිරීම් සිදුව ඇත්තේ දෑවැදි ප‍්‍රශ්නය මුල්කරගනිමින් බව වාර්තා වී තිබේ. සෑම පැයකට වරක්ම එක් ඉන්දියානු කාන්තාවක මරා දැමෙන්නේ ඇය සහ ඇයගේ පවුලේ උදවිය ට දරා ගැනීමට පවා අපහසු දෑවැදි ඉල්ලීම් සපුරාලීම ට නොහැකි බැවිනි. එහෙත්, ඉන්දීය නීතියට අනුව විවාහයේ දී දෑවැදි ලබාදීම හෝ ලබා ගැනීම නීති විරෝධී ක‍්‍රියාවකි. කෙසේ වෙතත්, කුලය, පංතිය, අධ්‍යාපනික විසමතා ආදී තවත් කාරණා ගණනාවක් මැද දීර්ඝ කාලයක් තිස්සේ පැවැති එය තවමත් දක්නට ලැබෙන්නේ අතිශය අවාසනාවන්ත අන්දමිනි. වඩාත් බරපතළ කාරණයක් වන්නේ මෙවැනි ඉල්ලීම් වෙනුවෙන් දැරීමට සිදුවන මුදල මනාලියට හෝ ඇයගේ පවුලේ අයට සපයා ගැනීමට නොහැකි තරම් ඉහළ මිලක් වීමයි. විවාහයෙන් යම් කාලසීමාවක් ගත වන විට සැමියා විසින් දෑවැදි පොරොන්දු සිහිපත් කරමින් බිරියට හිරිහැර කරනු ලබයි. බිරිය වෙනුවෙන් ප‍්‍රමාණවත් දෑවැද්දක් නොලැබුණු බව බොහෝ විට ඔවුන් නගන මැසිවිල්ලකි. මේ තත්ත්වය කෙළවර වන්නේ සැමියා විසින් බිරිය ගින්නට බිලිදීමෙනි.

ඉකුත් වසරේ වාර්තා වූ එවැනි එක් සිදුවීමක් වන්නේ ප‍්‍රවර්තිකා ගුප්තා නම් කාන්තාවක් ඇයගේ එක් හැවිරිදි දියණිය ද සමග නිදි යහනේ සිටියදී සැමියා විසින් ගිනිතබා මරා දැමීමයි. ඇයගේ පවුලේ අය ඇය වෙනුවෙන් සැමියාට ගෙවිය යුතු වූ දෑවැදි මුදල කඩිනමින් ගෙවා නිමා කිරීමට අපොහොසත් වීම පිළිබඳ ඇයට හිරිහැර එල්ල වෙමින් තිබිණි. මේ දෑවැදි පොරොන්දුවට අදාළව ප‍්‍රවර්තිකා වෙනුවෙන් පවුම් 15,000 ක් මුදලින් ගෙවීමටත් හොන්ඩා සිටි වර්ගයේ මෝටර් රථයක් ලබාදීමටත් ඇයගේ පවුලේ අය එකග වී සිටි බව සඳහන් වේ. මේ අතරතුර හිටි හැටියේම ප‍්‍රවර්තිකාගේ සැමියා අලූත් ඉල්ලීමක් දෑවැද්දට එකතු කරමින් තමන් ට මහල් නිවාස සංකීර්ණයකින් නිවෙසක් ද ලබාදිය යුතු බවට බලකර තිබේ. ප‍්‍රවර්තිකාගේත්, දරුවාගේත් ජීවිතය කෙළවර වූයේ මේ ඉල්ලීම් සපුරාලීමට නොහැකි වූ බැවිනි. අපරාධ තොරතුරු කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව ඉකුත් වසරේ දී වාර්තා වූ මෙවැනි කාන්තා මරණ 8233 න් 94% ක් ම දෑවැදි ප‍්‍රශ්නය මුල් කොට ගනිමින් සිදු වූ ඒවා ය. එහෙත්, එම වරදකරුවන්ට දඬුවම් පැමිණවීමේ ක‍්‍රියාදාමය අතිශය මන්දගාමී බව ද ඉන් අනාවරණය වී ඇත. එම ප‍්‍රතිශතය 32% කි. අතිශයින් ම බරපතළ හා කුරිරු ඝාතන සඳහා වුව ද තවමත් දඬුවම් ලැබී ඇත්තේ 15% කට පමණ සංඛ්‍යාවකට ය. දෑවැදි ආශි‍‍්‍රත මරණ ඉහළ යාමට මේ තත්ත්වය ද බලපා ඇති බව පෙනෙන්නට ඇත.

ඉන්දියාවේ ප‍්‍රකට නීතිවේදිනියක මෙන් ම කාන්තා ක‍්‍රියාකාරිනියක ද වන ප්‍රින්ඩා ග්‍රෝවර් ට අනුව, මේ සංඛ්‍යා මගින් පෙනෙන්නේ ඉන්දීය කාන්තාවට එරෙහි අපරාධ මැඬ පැවැත්වීම දුෂ්කර වී ඇති බවයි. ඇය වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි, දෑවැදි ප‍්‍රශ්න නිසා සිදුවන මරණ ලියාපදිංචි කළ හැක්කේ විවාහයෙන් වසර 7 ක් ගතවීමෙන් පසුවයි. එහි තේරුම එවැනි මරණ බොහොමයක් තරුණියන් මෙන් ම අලූතෙන් විවාහ දිවියට එළැඹි මනාලියන් ගේ මරණ බවයි. නීතිය මන්දගාමීව ක‍්‍රියාත්මක වීම මගින් ඉන්දීය කාන්තාවට ඇතිවන පීඩනය හා සිදුවන අසාධාරණය ගැන ඇය කරුණු පෙන්වා දී ඇත. නිදහසින් පසු ගෙවී ගිය දශක හය හමාරක් පමණ වන කාලසීමාව තුළ ඉන්දීය ආර්ථිකයේ ශීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර මධ්‍යම පංතියේ නැගීමක් ද සිදුව තිබේ. එවැනි පසුබිමක පවා ඉන්දීය සමාජය තුළ දෑවැද්දට ඇති වලංගුභාවය තවමත් ගිලිහී නොයාම අවධානයට ලක්ව ඇති කාරණයකි. එය සමාජයෙන් ඈත්වීම වෙනුවට සිදුව ඇත්තේ වසරින් වසර දෑවැදි ප‍්‍රශ්නය ආශ්‍රිත අපරාධ සංඛ්‍යාව ඉහළ යාමයි. සෑම පැයකට වතාවක් ඉන්දීය කාන්තාවකගේ ජීවිතය උදුරාගන්නා තරමට දැන් මේ ප‍්‍රශ්නය බරපතළ වී තිබේ. ඉකුත් වසර 5 තුළ දෑවැදි ප‍්‍රශ්නය ආශ්‍රිත මරණ සංඛ්‍යාව වසරකට 3% ක ප‍්‍රතිශතයකින් වර්ධනය වී ඇත. මේ ප‍්‍රශ්නයේ විෂයය පථය සංඛ්‍යා දත්තවලින් පෙනෙනවාටත් වඩා පුළුල් බව විශ්ලේ්ෂකයන් ගේ අදහස ය. බොහෝ විවාහපේක්‍ෂක කාන්තාවන් මෙන් ම ඔවුන් ගේ මවුපියෝ ද දෑවැදි ප‍්‍රශ්නය පිළිබඳ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා පසුබට වෙති. ඊට හේතුව, ඒ තමන් ගේ, තම දියණියගේ විවාහය ට ඉන් බලපෑමක් වෙතැයි සිතන බැවිනි. සමාජ විද්‍යාඥයන් මෙන් ම කාන්තා අයිතීන් පිළිබඳ නීතිවේදීන්ට අනුව ද මේ තත්ත්වය වර්ධනය වෙමින් ඉන්දීය පරිභෝජනවාදී රටාවට ද බාධාකාරී ලෙස බලපායි. බොහෝ භාණ්ඩ වර්ග මෙන් ම මෝටර් රථ ද, සුලබ දර්ශනයක් වුව ද තවමත් ඇතැම් පවුල්වලට ඒවා අපේක්‍ෂා පමණක් වීම ද මේ ප‍්‍රශ්නය සමග සම්බන්ධ ය.

කොලොම්බියා සරසවියේ ජාත්‍යන්තර හා මහජන සම්බන්ධතා පිළිබඳ මහාචාර්යවරියක මෙන්ම එහි ආසියානු සංගමයේ සභාපතිනිය ද වූ විසාකා දේසායි ට අනුව, මනාලිය ගින්නට බිලිදීම සහ දරුණු වධහිංසාවන්ට ලක්කිරීම නිදහසින් පසු අධ්‍යාපන, ආර්ථික ආදී අංශවල ඇතිවූ වෙනස්කම් සමග ක‍්‍රමයෙන් හීනවෙමින් ඇති බවක් පෙනිණි. 1961 වර්ෂයේ දී දෑවැද්ද තහනම් කරමින් ඉන්දීය පාර්ලිමේන්තුව පනතක් ද සම්මත කළා ය. විවාහයේ දී දෑවැද්ද කොන්දේසියක් නොවිය යුතු බව ඉන් අවධාරණය කෙරිණි. එහෙත් මහාචාර්ය දේසායි පෙන්වා දෙන්නේ ද මේ නීතිය බොහෝ දුරට නොතකා හැර ඇති බවයි. විශේෂයෙන් ම මේ තත්ත්වය දැකිය හැක්කේ දිළිඳු ජීවන තත්ත්වයක සිට මධ්‍යම පංතිය දක්වා ඔසොවා තැබුණු පවුල් අතර බව ද ඇය පැහැදිලි කරයි. "පසුගිය අවුරුදු 25 - 30 ක වගේ කාලසීමාව තුළ භෞතික දේවල් රැස් කිරීමේ ආසාව බොහෝ දෙනා තුළ වැඩිවුණු බව දකින්න තිබුණා. ඒක පෙරළා ආපසු එන්නේ පළිගැනීමේ ස්වරූපයෙන්. දැන් මේ ඉල්ලීම් බොහෝ විට ඉදිරිපත් වෙන්නෙ ස්වර්ණාභරණ ආදිය වෙනුවෙන් නෙවෙයි. කාන්තාවන් එක් රැස්කර ගෙන ඉන්නෙ ඒවා වුණත් දෑවැද්දට ඉල්ලන්නෙ ශීතකරණයක්, මෝටර් රථයක් වගේ දෙයක්..." සියවස් ගණනාවක් තිස්සේ ඉන්දීය සමාජයේ දක්නට ලැබුණු ලක්‍ෂණයක් වූයේ මවුපියන් තම දියණිය විවාහ කර දෙන අවස්්ථාවේ ඇය වෙනුවෙන් ඉතිරි කර තිබූ ස්වර්ණාභරණ හා මනාලයන්ගේ ඇඳුම් කට්ටලය මනාලයාගේ පාර්ශ්වයට පිරිනැමීමයි. ඉන් සංකේතවත් කෙරුණේ මනාලියට ආර්ථිකමය රැකවරණයක් ද ඇති බවයි. එහෙත්, මහාචාර්ය දේසායි පැහැදිලි කරන පරිදි සමාජමය නවීකරණය විසින් දෑවැදි ප‍්‍රශ්නය වඩාත් නරක අන්තයකට රැුගෙන ගොස් තිබේ. අන්තර්ජාල පහසුකම් උපයෝගී කර ගනිමින් සිය අනාගත බෑණනුවන් හෝ ලේලිය ගේ ආර්ථික හා සමාජ තත්ත්වය කල්තබා පිරික්සා බැලීමේ හැකියාව මවුපියන් ට ලැබී ඇති බැවිනි. විශ්ලේෂකයන්ට අනුව, ඉන්දීය කාන්තාව මුහුණ දෙන එක් අන්තරාවක් වන්නේ පිරිමින් විසින් වැඩි වැඩියෙන් දෑවැදි අපේක්‍ෂා කිරීමයි. එය කාන්තාවන්ට සිදුවන හිරිහැර ඉහළ යාමට හේතු සාධකයක් වී තිබේ. ඉන්දියාවේ ස්ත‍්‍රී - පුරුෂ අනුපාතයේ ඇති පරතරය ද මෙහිදී අවධානයට ලක්විය යුතු බව ඔවුහු පෙන්වා දෙති. එරට පිරිමින් 1000 කට සිටින කාන්තාවන් ගණන 940 කි. මේ තත්ත්වයට හේතුවී ඇත්තේ ඉන්දීය සමාජයේ දූවරුන්ට වඩා පුතුන්ට ඇති කැමැත්තයි. එය සංස්කෘතිමය කාරණයක් බවට පත්වී තිබේ. නවීන විද්‍යාත්මක පහසුකම් ඔස්සේ උපතට පෙරදීම ඉපදීමට සිටින දරුවා පිරිමි දරුවකු ද, ගැහැනු දරුවකු ද යන්න දැනගත හැකි ය. දරුවා ගැහැනු දරුවකු නම් ගබ්සාවක් සිදුවීමට ඇති අවකාශය වැඩිවීම ද මෙහිදී අවධානයට ලක්විය යුතු කාරණයක් බව විශ්ලේ්ෂකයන්ගේ අදහස ය.

ස්ත‍්‍රී - පුරුෂ භාවය පිළිබඳ ලකුණු සටහනට අනුව, කාන්තාවට එරෙහි අපරාධ සම්බන්ධ පැමිණිලි හා අපරාධවලට දඬුවම් පැමිණවීම ඇත්තේ පසුගාමී තත්ත්වයකයි. එය තවත් අය යුක්තිය ඉදිරිපිටට යාම මන්දෝත්සාහී කෙරෙන කාරණයක් බවට පත්ව ඇත. දෑවැදි ප‍්‍රශ්නය ඉහළ පැළැන්තියට වඩා පහළ ආදායම් ලබන්නන් අතර බහුලවිය හැකි බවට පෙනීයා හැකි වුව ද, කාන්තාවන්ට හා ළමුන්ට එරෙහි හිංසනය පිළිබඳ කටයුතු කරන නවදිල්ලි පොලිස් ඒකකයේ සුමන් කල්වා පී.ටී.අයි පුවත් සේවය සමග පවසා තිබුණේ දෑවැදි ප‍්‍රශ්නය මුල් කොට ගත් හිංසාකාරී ක‍්‍රියා සමාජයේ සෑම ආර්ථික මට්ටමකම දැකිය හැකි බවයි. "ඉහළ සමාජ හා ආර්ථික ස්ථරයන් හි අය අතරත් මේ තත්ත්වය බහුලයි. අඩුම තරමින් අපේ සමාජයේ ඉන්න ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය වත් දෑවැද්ද ප‍්‍රතික්ෂේප කරන්නේ නෑ. දැන් මේක අපේ සමාජයේ ගැඹුරට කිඳා බැහැලයි තියෙන්නේ..." ඔහු එලෙස පෙන්වා දෙන්නේ, මේ ප‍්‍රශ්නයට ඇති කනගාටුදායක මෙන් ම අවධානය ට ලක්විය යුතු පැතිකඩකි. කල්වා ගේ අදහස් කාන්තා සමාජ ක‍්‍රියාකාරිනියක වන රන්ජනා කුමාරි ද අනුමත කරයි. ඇයට අනුව ද, ඉන්දීය සමාජයේ සෑම ස්ථරයකම තරුණ මනාලියන් අතිශය කුරිරු අන්දමින් හිංසනයට ලක්වීමට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ මේ තණ්හාධික සංස්කෘතික රටාවයි. විවාහය වාණිජකරණය වෙලා. ඒක හරියට මනාලයා සහ ඔහුගේ පවුලේ අය විසින් මනාලියට හා ඇයගේ පවුලට කෙරෙන ව්‍යාපාරික යෝජනාවක් වගෙයි. මේක හරිම අසාධාරණයි. පවුල ධනවත් වන තරමට ඉල්ලීම් වඩාත් සාහසිකයි.." විවාහයේ දී මනාලයා මෙන් ම මනාලිය ද දුක - සැප සමව බෙදා ගනිමින් මරණය දක්වා එකට යාමට එකග වෙති. එහෙත් නූතන පරිභෝජනවාදී සංස්කෘතික රටාව තුළ ඒ එකගතාව ට වඩා බලවත් වී ඇත්තේ දෑවැදි සම්බන්ධයෙන් ඇතිකරගත් එකගතාවයි. භෞතිකව දියුණු යැයි සම්මත හා දැනුමෙන් වර්ධනය වූ සමාජයක වුවද කුලගෙට යන යුවතියන්ගේ ජීවිතය මළ ගෙයකින් කෙළවර වන්නේ ආදරයට හෝ ජීවිතයට වඩා දෑවැද්ද බලවත් වී ඇති බැවිනි.

ධම්මික සෙනෙවිරත්න
උපුටා ගැනීම දිනමිණ