🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

විවාහයේ ප්‍රමාදයට තිත තබමු

විවාහයේ ප්‍රමාදයට තිත තබමුකුවේනි ත්‍රෛයිලෝක වශීය මෙන්න ස්‌ත්‍රීන්ට හා පුරුෂයන්ට ශෘංගාර රසය ලබාදෙන විවාහය යහපත් දිවි මගකට ආලෝකයක්‌ ලබා දෙන චූඩා මාණික්‍යයකි. එමෙන්ම අවාසනාව, දුක, පරිහානිය තුළින් ජීවිතයේ අඳුර ලබා දෙන්නටද සමත්ය. විවාහය පිළිබඳ ජ්‍යොතිෂය රීතීන් අනුව ප්‍රධාන වශයෙන් සිකුරු, අඟහරු, රවි, සඳු යනුවෙන් ග්‍රහයන් සිව්දෙනකු වන අතර එයින් ප්‍රමුඛ ස්‌ථානය හිමි වන්නේ සිකුරුටය. මානවයින් ජීවත්වන පෘථිවියට සාපේක්‍ෂව බලනවිට ග්‍රහලෝක වශයෙන් එක්‌ දිශාවකින් සිකුරුත් අනෙක්‌ දිශාවෙන් කුජ ග්‍රහයාද වෙති. අපි වසන පෘථිවිය සිකුරු කුජ යන දෙදෙනාට මධ්‍යවත් ආසන්නවත් සිටී. ඒනිසා අනිකුත් ග්‍රහයන්ට වඩා තද බලපෑමක්‌ මේ ග්‍රහයන් දෙදෙනාගෙන් පෘථිවියටත් එහි ජීවත් වන සත්වයන්ටත් ඇති කරයි. විවාහයක්‌ බලාපොරොත්තු වන ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම මේ ග්‍රහයන්ගේ බලපෑම තදින්ම බලපායි. සිකුරුගේ රශ්මි කිරණයන් මහ පොළොව මත ජීවත් වන අයගේ කාමුක හැඟීම් උද්දීපනය කරන්ට තරම් ප්‍රබලතාවක්‌ ඇත. ඒ නිසා පැරණි සෘෂිවරු යම් අයකුගේ විවාහය ගැන පරීක්‍ෂාවේදී සිකුරුට ප්‍රමුඛස්‌ථානය දී ඇත. යම් අයකුගේ ලග්නය 5 වැන්න 7 වැන්න යන ස්‌ථානවල සිටියදී විවාහය කෙරෙහි සිකුරු ග්‍රහයාගේ අධික බලපෑම් ඇති වේ.

සිකුරු යමෙකුගේ උපතේදී ලග්න ගතව සුබදෘෂ්ටි යහපත් නම් මෘදු ගතිගුණ ඇති දුටුවන් වශීයට පත්වන අයුරින් නෙත්වල කාන්තියක්‌ ඇත්තකු වේ. ස්‌ථිර ගුණධර්මවලින් හෙබි උසස්‌ අදහස්‌ දරණ ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයකු වේ. එවන්නන්ගේ විවාහය වසර 25 ඉක්‌මවීමට පෙර සිදුවේ. එවන් ස්‌ත්‍රී පුරුෂයන් ඔහු උපන් භූමියේ උතුරු දිශාවෙන් තම සහකරු හෝ සහකාරිය සොයා ගනී. ඔවුන් සැපවත් ජීවිතයක්‌ යුග දිවියක්‌ ගත කරන හා සැප සම්පත් විඳින අයකු ද වේ.

සිකුරු 5 වැන්නේ බලවත්ව සුබ දෘෂ්ටි ලැබ උපතින්ම යමකුගේ කේන්ද්‍රයේ වේ නම් ඔහු හෝ ඇය උසස්‌ උත්තම ගතිගුණවලින් යුත් නොකැළැල් ජීවිතයක්‌ ගතකරන උසස්‌ අවබෝධය ඇති ඥානවන්ත අයකු වේ. නැණවත් ගුණවත් දරුවන් ලබා ඔවුන්ගෙන් සැප ලබන ධනයෙන් ද පිරුණු අයකු වේ. මොවුන් ඉක්‌මනින් විවාහ ජීවිතයට ඇතුළු වී දියුණුව යහපත ප්‍රීතිය උදාකර ගනී.

කුජ ග්‍රහයා ග්‍රහලොවේ සේනාධිපතියා වශයෙන් ක්‍රියා කරන අතර, සවි ශක්‌තියෙන් එඩිතරව යුද්ධයට, වාදයට, බලපාන වැදගත්ම ග්‍රහයාය. ශරීරයේ ලේවලට මොහුගේ බලපෑම් සෘජුවම එල්ල වේ. හික්‌මීමක්‌ නැති දාමරික මුරණ්‌ඩු භාවයක්‌ උසුලයි. මිහිකතෙහි ජීවත් වන ජීවීන්ගේ කාමුක හැඟීම් අවුස්‌සන මේ ග්‍රහයාගෙන් නික්‌මෙන කිරණ තදින් බලපායි. කාමුක ආශාව ද ඇති කරයි. අවශ්‍යතාවන් දියුණු කරයි. මේ අනුව කුජ විවාහ ජීවිතයට තදින් ම බලපායි. කේන්ද්‍රයේ කුජ ග්‍රහයා සිටි තැන දෘෂ්ටි හෙළුෑ ග්‍රහයන්ගේ බලපැවැත්ම අනුව විවාහ ජීවිතයේ ස්‌ථිර අස්‌ථිර භාවය ඇති කරයි.

කුජ බලවත්ව සිකුරු සමග සංයෝග වීම ප්‍රබල විවාහයක්‌ ඇති කිරීමට සමත් වේ. ස්‌ත්‍රී කේන්ද්‍රයක නම් විවාහය ඇති කිරීමටත් නැතිකරන්නටත් ඉක්‌මන් කරන්නටත් කුජ ප්‍රමුඛව ක්‍රියා කරන්නට සමත්වේ. විශේෂයෙන් ස්‌ත්‍රී කේන්ද්‍රයක කුජට සුබ ස්‌ථානයක සුබ දෘෂ්ටි ලැබ සුබවාදී නම් සුබ වාසනාවන්ත විවාහයකට මග පෑදේ. මේ ග්‍රහයන්ගෙන් යුග දිවියට අහිත කර බලපෑම් ඇති කරන භෞම දෝෂ නම් අශුභ දෝෂයන් යෙදේ. මේ දෝෂ නිසා විවාහ කල්යාමද දෙදරා යැමද සිදුවේ.

රවි යනුවෙන් හැඳින්වෙන්නේ හිරුය. රවි අනිකුත් සියලු ග්‍රහයන්ට වඩා ප්‍රබල රශ්මි ධාරාවන් විහිදුවන විශාලතම ගමන් මාර්ගයක භ්‍රමණය වන ග්‍රහයා ද මොහු වන අතර අභ්‍යන්තර විශේෂ ධාතු ගුණ බලයක්‌ ද ඔහු සතුව ඇත. එබැවින් ලොවෙහි ආරම්භය කවරදා ද එදා සිට අද දක්‌වාම මිනිසුන් රවිට ගෞරව සැලකිල්ලක්‌ දක්‌වයි. යමක්‌ ඇතිවීම, පැවතීම, නැතිවීම යන ප්‍රධාන කරුණු තුනටම මූලික වන්නාවූද ආධාර කරන්නා වූද විශේෂ ආකර්ෂණ ගුණයන් සමුදායක්‌ රවි ග්‍රහයා තුළ ගැබ්ව ඇත. රවි ජ්‍යොතිෂ්‍ය අනුව ආත්මාධිත්වය ලබන පිතෘ කාරක ග්‍රහයා ය. ග්‍රහ මඬුුල්ලේ පියාය. ස්‌ථිරසාර බව හා නිෂ්ඵල ගුණය ද හිරුගෙන් ලැඛෙන නිසා ස්‌ත්‍රී, පුරුෂ කේන්ද්‍රවලට ඇතිකරන බලපෑම් අධිකයි.

ඒ නිසා ස්‌ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකක රවි උසස්‌ව බලවත්ව සිටී නම් ඒ දෙදෙනාගේ විවාහයට යහපත් පිහිටීමකි. විශේෂයෙන් රවි ග්‍රහයා බලපාන්නේ උච්ච හෝ ස්‌වක්‍ෂේත්‍රව සිටින විටය. එහෙත් රවි කුමන තත්ත්වයක්‌ ලබා තිබුණත් සිටියේ ලග්නගතව නම් විවාහය ඉක්‌මන් කිරීමටද සැප හා ධනයද වාසනා ද උදා කිරීමට සමත් සුදුසු අන්දමේ විවාහයක්‌ සිදුවීමට හේතු වේ. කේන්ද්‍රයක රවි ලග්න ගතව සිටින අයගේ සහකරු හෝ සහකාරිය ඔහු උපන් රටේ නැගෙනහිර දිශාවෙන් සොයා ගත හැකි බව පැරණි පතපොතින් පෙන්වාදී ඇත. ස්‌ත්‍රී කේන්ද්‍රයක රවි ග්‍රහයා 5 වැන්න හෝ 7 වැන්න යන ස්‌ථානවලින් එකක ඇත්නම් විශේෂයෙන් ම විවාහ දිවියේ විවිධ ගැටලු මතු වේ. පොරොන්දම් පරීක්‍ෂණයේදී පුරුෂ කේන්ද්‍රයේ සිටින සඳු ග්‍රහයා ස්‌ත්‍රී කේන්ද්‍රයේ සිටින රවි ග්‍රහයාට ත්‍රි්‍රකෝණව හෝ ෂඩ් කෝණව පිහිටීම ඉතා වාසනාවන්ත පිහිටීමකි. නමුත් එම ග්‍රහයන් දෙදෙනා ඔවුනොවුන් කේන්ද්‍ර ගත වීම චතුරශ්‍ර වීම සප්ත වීම අශුභඵල දෙන යෝගයකි.

සඳු ග්‍රහයා පෘථිවිය වටා ගමන් කරයි. මොහු පෘථිවියේ උප ග්‍රහයෙකි. ස්‌වභාවයෙන් ම සීතල සෞම්‍ය ග්‍රහයෙකි. සිතට බලපෑම් ඇති කරන්නෙකි. උපතින්ම ජන්මාධිපති බව මේ ග්‍රහයා නිරායාසයෙන්ම හිමි කර ගනී. මොහුගේ රශ්මි කිරණයන් හා තත්වයන් මසක්‌ තුළම විකෘති හා ප්‍රකෘති වේ. ඒ නිසා සඳු පෘථිවියට ආසන්නවම සිටින නිසා සඳුගේ ආකර්ෂණ බලය පෘථිවියේ දේශගුණයට හා එහි වෙසෙන ජීවීන්ට ද තදින් බලපායි. විශේෂයෙන්ම ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම සඳුගේ බලපෑමක්‌ ඇති වේ. විවාහය ගැන සැසඳීමේදී සඳුට විශේෂ තැනක්‌ හිමිවේ. දෙදෙනාගේ සිතුවිලි කෙසේද අභ්‍යන්තර පැවැත්ම කෙසේද යන්න පැවසීමට සඳු ග්‍රහයාට හැකිය. මේ නිසා සඳුට කේන්ද්‍රස්‌ථානයේ අග්‍රස්‌ථානයක්‌ හිමිය. එබැවින් විවාහ අපේක්‍ෂිත යුවළගේ ගැළපීමට සඳු උසස්‌ අන්දමින් තිබීම වැදගත් වේ. යම් අයකුගේ කේන්ද්‍රයේ සඳු 5 හෝ 6 සිටියදී (ශුභ ස්‌ථානයක සුබ දෘෂ්ටියට අවනතව සුබවාදීව සිටිද්දී) යමෙකු උපන්නේ නම් ඔහු හෝ ඇය වාසනාවන්තයෙකි. නමුත් අව සඳු හෝ රවිට අශුභ දෘෂ්ටි ගතව හෝ සිකුරු සුබ දෘෂ්ටියෙන් නොපෙනේ නම් මේ ග්‍රහයා ගැන නිවැරැදි තීරණයක්‌ ගැනීම ගැටලු සහිතයි. එමෙන්ම සඳු ගැන සොයන විට නිතරම එම ග්‍රහයා තැන්පත්වී සිටින රාශිය ගැනද යෝග වී ඇති ග්‍රහයන් ගැනද ලබා ඇති ග්‍රහ දෘෂ්ටි ගැනද තැන්පත්ව ඇති නැකත ගැන ද එම නැකතේ අධිපතියා ගැනද සුවිශේෂ අන්දමින් ගවේෂණය කර නිගමනය කළ යුතුයි. ඊට හේතුව සඳු යෝග වූ ග්‍රහයන් අනුවද එයට පතිත වූ ග්‍රහ දෘෂ්ටි අනුවද තැන්පත්ව සිටින රාශිය අනුවද තම බලය ශක්‌තිය, අඩු වැඩිවන හෙයිනි.

සඳු 7 වැනි භාවයේ තැන්පත්ව සිටීම ඉතා සුබදායකයි. 7 වැන්නේ චන්ද්‍රයා සිටිය හොත් ධනයට වඩා චරිතයට ගරු කරන උසස්‌ අදහස්‌වලින් පිරි තිර ප්‍රේමය හා ආදරය ඇති ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයකු විවාහ සහකරු ලෙස යුගදිවියට බැඬෙන බව කියෑවේ. මෙවන් කරුණුු කාරණාවන් අනුව ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ ම විවාහයට ප්‍රධාන වශයෙන් සිකුරු ග්‍රහයාත් අඟහරුත් රවිත් සඳුත් යන සිව් ග්‍රහයන් තද බලපෑම් ඇතිකරයි. මේ ග්‍රහයන් සිව්දෙනා යමෙකුගේ උපන් කේන්ද්‍රයේ සුබවාදීව සුබ දෘෂ්ටි ලබා සුබ ස්‌ථානවල සිටියහොත් ඔහුගේ හෝ ඇයගේ විවාහ ජීවිතය පමණක්‌ නොව මුළු මහත් ජීවිත කාලයම දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේ. ඒ නිසා ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම විවාහ ප්‍රමාදයන් වළකා ඉක්‌මන් ගැළපෙන විවාහයක්‌ සිදුවීමට පෙර රජ බිසෝවරු හා රජවරුන් භාවිත කළ මහා බලගතු ගුප්තමය ක්‍රමයක්‌ මෙසේ දැක්‌විය හැකිය.

කාමරයකට ගොස්‌ ග්‍රහයන්ට අයත් වෘක්‍ෂයන්හි දර රැගෙන, හිල් පොල්කටු 9 ක්‌ සමග ගිනි අවුලා තම පංච මළ පහ රැගෙන කපුටු තටු හතක්‌ දියෙන් අඹරා අළු කෙහෙල් අල යුෂවලින් අනා ස්‌ත්‍රීන්ගේ නම් යෝනියේ හා පිරිමින් නම් ලිංගයේද ගා දිරාගිය මැරුණ ගසකට මුත්‍රාකර එම මුත්‍රාවලින් ටිකක්‌ ගෙන, යකඩ බඳුනක දමා ගිනි වලින් රත් කර ලුණු සිදුවා ඒ ලුණු රැගෙන තමාගේ නම ලග්නය, නැකත ලියා දිමි ගොටුවක්‌ තුළට දමන්න. මේ සඳහා ශුභ දිනයක්‌ වශයෙන් ගන්නේ තමා උපන් දවසයි. මෙය කරනවිට පුරුෂයන් ස්‌ත්‍රීන් තමාගේ කේන්ද්‍රය බලා දියමන්ති ගලක්‌ ඇල්ලූ රිදියෙන් නෙළුම් පෙත්තක්‌ හදා එහි අ, ඉ, උ, එ, ඔ යන පංච අක්‍ෂර කොටා අතෙහි මැදඟිල්ලේ පළඳින්න. පුරුෂයන් ද ඔවුන්ට ගැළපෙන මැණික්‌ ගල සොයා සත්වයා හැඩ ඇතිව රිදී මුද්දක්‌ මැඳගිල්ලේ පැළඳ රිදී කැඩපතක සර්ව රාජ කුවේණි යන්ත්‍රය ඇඳ යහනක පුද පූජා තබා නෙළුම්, රෝස ඉස්‌මෙන් හා ත්‍රෛයිලෝක්‍ය විජය පත්‍රම් කලං 27 ක්‌ හා අබිං කළඳක්‌ සමග එකට අඹරා සඳුන්තෙල්, තැඹිලි තෙල් මිශ්‍ර කර බැමිකිරිය, කීකිරිඳිය, ගෝරෝචන, කුංකුමප්පු, ජසඳ, කශිස්‌, ශිලාජතු සමග මිශ්‍ර කර අඳුන්බස්‌සා මේ මන්තර දැහැනෙන් 1008 වරක්‌ හරියට ජප කර සිකුරු හෝරාවෙන් කර පැළඳ ගන්න. ප්‍රමාදය වළක්‌වා වාසනාවන්ත යුගදිවියකට මග සැලසේ.

මන්ත්‍රය :
ඕං ආකාශ පේයා ශ්‍රී කාමරාක්‍ෂ දේවතා අනිත් ත්‍රෛලොක්‍යන් මහා රාජ වශී ත්‍රී පුර වාරුං ඕං හේන් ත්‍රිං ත්‍රීරං ත්‍රිං විතර ධරගන් අල්ලා ගිනි ගිනි කුවේණි ධරනී ඕං යෝගිනි ජෝගිනි ලල ලල ලලිත් අල්ලං ග්‍රහ බලං (........ නම.....) සන්ධිං කොමුර කොමුර වරනේ ස්‌වාහඃ ඕං සර්ව ලෝක ස්‌ත්‍රී පුරුෂ වශංකරාය කුරු කුරු ස්‌වාහඃ

විවාහයට ඇතුළත් වූ පසු දෙදෙනාම ගොස්‌ රතුරෝස හා කහ රෝස මල් වට්‌ටි දෙකක්‌ බෝධියකට පුදන්න. විශේෂයෙන්ම මේ යන්ත්‍රය කිල්ලෙන් ආරක්‍ෂා කර ගත යුතුයි.

රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ
උපුටා ගැනීම දිවයින