🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

උඩරට පෙළපත් කිහිපයකට සීමා වූ නිළමේ ඇඳුම දැයටම දායාද කළ අපූරු මිනිසා

ඔබ අප කවුරුත් දන්නා උඩරට මුල් ඇඳුම, එසේත් නැත්නම් ‘නිළමේ ඇඳුම’ හෙවත් ‘තුප්‍පොට්ටිය’ අතීතයේ අද මෙන් සියලු දෙනාටම පරිහරණය කළ හැකි ඇඳුමක් වූයේ නැත. එය උඩරට වංශවත් පෙළපත් කිහිපයකට පමණක් සීමා වී තිබිණි. මෙම මුල් ඇඳුම සාමාන්‍ය ජනතාව අතරට රැගෙන යාමේ ගෞරවය හිමිවන්නේ ‘හිඳගල පී.වී.එස්. ජයරත්න’ නමින් ප්‍රකට වූ මුල් ඇඳුම් ශිල්පියා හට ය. පී.වී.එස්. ජයරත්න යනු පේරාදෙණිය, හිඳගල දොලුව පාරේ ජීවත් වූ සාම්ප්‍රදායික ගොවි පවුලකට දාව උපන් දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවායි. පී.වී.එස්. ජයරත්න ලෙස කෙටි කොට දැක්වූ නම දිගහළ විට එය පුෂ්ප විදානේලාගේ සුනිල් ජයරත්න වේ. ඔහුට තවත් බාල සොයුරියක හා සොයුරකු සිටි මුත් අද වන විට ඔවුන්ගෙන් කිසිවකු හෝ ජීවතුන් අතර නැත. ඔහුගේ පියා පී.වී. ජයරත්න ගොවිතැනට අමතරව මෙම මුල් ඇඳුම ඇන්දවීමේ ශිල්පියකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ ප්‍රධාන කාර්යය වූයේ මහනුවර ඇසල මහා පෙරහර සඳහා දියවඩන නිළමේ ඇතුළු සෙසු නිළමේවරුන්ට ඇන්දවීමේ කාර්යයයි. ඊට අමතරව ඔහු විවාහ මංගල අවස්ථාවන් සඳහා ද මුල් ඇඳුම ඇන්දවීමේ කාර්යය සිදු කළේය. එකල මුල් ඇඳුම ඇඳීමේදී සුවිශේෂී ක්‍රියාපටිපාටියක් සිදු විය. එනම් උභය පාර්ශ්වය, මනාලයා හා මනාලිය යන දෙපාර්ශ්වයම සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ සම්ප්‍රදායයි. මෙහිදී මනාලයාගේ මව සහ පියා උඩරට වංශවත් පෙළපතකට අයත් විය යුතුව තිබිණි. මනාලියගේ පරම්පරාවද එසේම විය යුතුය. ජයරත්න මහතාගේ පියා මුල් ඇඳුම ඇඳීම පිළිබඳ සිරිත් මෙතරම් දැඩි කොට තිබුණේ ඔවුන් පරම්පරා හතරක් තිස්සේ උඩරට ප්‍රභූවරුන්ට මුල් ඇඳුම් ඇන්දවීමේ ශිල්පීන් ලෙස කටයුතු තිබුණු නිසාත්, එය තම සාම්ප්‍රදායික උරුමයක් වූ නිසාත්ය. මේ වන විට ජයරත්න මහතා මුල් ඇඳුම් ඇන්දවීමේ ශිල්පයට වෘත්තිකයකු වශයෙන් සම්බන්ධ වී සිටියේ නැත. ඔහු අධ්‍යාපනය හැදෑරීමෙන් පසු ගන්නොරුව කෘෂි කර්මාන්ත පර්යේෂණ ආයතනයේ කෘෂිකර්ම නිලධාරියකු ලෙස සේවට බැඳුනේය. ඔහු කුඩා කල සිටම සිය පියා සමග මෙම මුල් ඇඳුම ඇන්දවීමේ කටයුතුවලට සහභාගි වූ අතර, ඒ නිසාම ඔහු ද මෙම ඇඳුම, එය අන්දවන නිවැරදි ආකාරය පිළිබඳ මනා වැටහීමකින් සිටියේය. ජයරත්න මහතාගේ තරුණ වියේහිදීම ඔහුගේ පියා මෙලොව හැර ගියේය. ඉන්පසු ජයරත්න මහතා කළේ රැකියාවෙන් ද ඉවත් වී මෙම ඇඳුම් ඇන්දවීමේ කටයුත්ත සිදුකරගෙන යාමයි. ඔහුගේ ද ප්‍රධානකාරිය වූයේ නිළමේවරුන්ට මුල් ඇඳුම ඇන්දවීම ය. ජයරත්න මහතා සාම්ප්‍රදායික උඩරට පවුලකට අයත් වුවත් සාම්ප්‍රදායිකත්වයෙන් මිදී නිර්මාණාත්මක ඇසකින් ලෝකය දෙස බලන්නට හුරුපුරුදුව සිටියේය. ඔහු ඒ අනුව මෙම ක්‍ෂේත්‍රයට පිවිසි මුල් සමයේම සිදු කළේ උඩරට වංශවතුන්ට පමණක් සීමා වී තිබුණු මුල් ඇඳුම සාමාන්‍ය ජනතාව අතරට ද රැගෙන යාමය. ඔහු එයට හේතුව ලෙස පැවසුයේ සාමාන්‍ය ජනතාව අතරට මෙය රැගෙන නොයන්නේ නම් මෙය ජනප්‍රිය වන්නේ නැති බවය. ඔහුට අවශ්‍ය වූයේ විවාහ මංගල්‍යයක් වෙනුවෙන් පවතින බටහිර ඇඳුම වෙනුවට මෙම මුල් ඇඳුම මිනිසුන් අතර ජනප්‍රිය කරවීමයි. ජයරත්න මහතා මුල් ඇඳුමේ සාම්ප්‍රදායිකත්වය රැකගනිමින් නිර්මාණශීලීව සිදු කළ වෙනස්කම් නිසා 80 දශකයේ මැදභාගය වන විට ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත්ව තිබිණි. හිඳගල පිහිටි ඔහුගේ නිවසට මුල් ඇඳුම් අන්දවාගැනීම පිණිස බොහෝ පිරිස් පැමිණෙන්නට වූ මුත්, ඒ ව න විට ද මුල් ඇඳුම් ශිල්පය යනුවෙන් වාණිජමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති ව්‍යාපාරයක් සඳහා ඉඩකඩ සමාජය තුළ සකස් වී තිබුණේ නැත. ජයරත්න මහතාගේ ජනප්‍රියත්වය දුටු වෙනත් පුද්ගලයන් ද මුල් ඇඳුම් ශිල්පීන් ලෙස ඉස්මතු වන්නට පටන් ගත්තේය.

උඩරට පෙළපත් කිහිපයකට සීමා වූ නිළමේ ඇඳුම දැයටම දායාද කළ අපූරු මිනිසා

මෙහිදී බොහෝ දෙනකු ජයරත්න මහතාට පවසා සිටියේ ඔහු මෙම මුල් ඇඳුම් ශිල්පයේ පුරෝගාමියා වූ බැවින් මෙය මහා පරිමාණ ආකාරයකින් සමාජය වෙතට ගෙන යා යුතු බවය. නමුත් කෙතරම් දේ කළ ද ඔහුට සිය ඇතැම් සම්ප්‍රදායයන් කෙසේවත් වෙනස්කරන්නට හිතක් පහළ වූවේ නැත. එබැවින් ඔහු වරෙක පවසා සිටියේ කෙතරම් ආදායම් ලැබිය හැකි මාර්ගයක් වුව ද මෙම ව්‍යාපාරය ‘පේමන්ට්’ එකට රැගෙන යන්නට ඔහුගේ කිසිදු බලා‍පොරොත්තුවක් නැති බවය. ඔහු බොහෝ දෙනකුගේ ඉල්ලීම පිට පේරාදෙණියේ මුල් ඇඳුම් මධ්‍යස්ථානයක් ද විවෘත කරන්නට පියවර ගත්තේය. වර්තමානයේ සියලු විවාහ මංගල්‍යයන් සඳහා වෘත්තීමය වශයෙන් ඡායාරූප සහ වීඩියෝ ඇල්බම් නිර්මාණය වන නිසා මෙම ඇල්බම් දකින පිරිස ඇඳුම් නිර්මාණ ශිල්පියා පිළිබඳවත් සැලකිලිමත් වන්නේ නිතැතිනි. එවිට ‘හිඳගල ජයරත්න’ යනුවෙන් ඔහුගේ නම සියලු දෙනා අතර පැතිර ගියේය. මේ ආකාරයට ඔහු නූතන යුගයේ මුල් ඇඳුම් ශිල්පයේ පුරෝගාමියා බවට පත් වූයේය. අසූව දශකය අවසන් භාගයට එළැඹෙද්දී ඔහු මෙම කර්මාන්තයේ සිටින අසමසම ශිල්පියා බවට පත් විය. ඔහු මුල් ඇඳුම යම් යම් නවීකරණයන්ට ද භාජනය කළේය. එනම් මෙහි බාහිර අලංකරණය මෙන්ම අඳින තැනැත්තාට පහසුව ද ඇති කරන්නට ද ඔහු පියවර ගත්තේය. මුල් ඇඳුම පිළිබඳ බොහෝ දෙනෙක් අතර පවතින එක් ගැටලුවක් වූයේ එය ඇඳ ගැනීමෙන් පසු හදිසි ශරීර කෘත්‍යයක් හෝ සිදුකර ගැනීමට පවතින දුෂ්කරතාවයයි. ඔහු එයට ද විසඳුමක් ලබාදෙමින් මේ සඳහා අඳින කලිසම වැනි කොටස එවැනි කටයුතු සඳහා පහසුවන ආකාරයට නවීකරණය කරන්නට පියවර ගත්තේය. මුල් සමයේ තුප්‍පොට්ටිය සඳහා රෙදි යාර හතළිස් අටක් පැවති අතර ඔහු එය යාර තිස්හයක් දක්වා අඩු කළේය. මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිළමේ ලෙස නෙරංජන් විජයරත්න මහතා සිටි සමයේ ඔහුට මුල් ඇඳුම ඇන්දවීමේ කටයුතු භාරව සිටියේ ද ජයරත්න මහතාය. පසුකාලයේ මේ සඳහා වෙනත් ශිල්පීන් ද ඉදිරිපත් වී තරගකාරී බවක් ඇති වුවද දියවඩන නිළමේ සහ සතර මහා දේවාලවල දියවඩන නිළමේවරුන් විසින් තීරණය කරනු ලැබුවේ මේ සඳහා ජයරත්න මහතාට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවය. ඔහු මෙය ඉතා කැපවීමෙන්, උනන්දුවෙන් සිදු කළ බැවින් ඔහුට අඛණ්ඩව සත්වාරයක්ම ජනපති සම්මානය පවා හිමි වූයේය. සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයක මනාලියව අන්දවන්නේ උඩරට සාම්ප්‍රදායික ඇඳුමිනි. නමුත් මනාලයාගේ ඇඳුම බටහිර පන්නයට සැකසී තිබිණි. මේ ක්‍ෂේත්‍රයේ සිටි බොහෝ දෙනකු කාලයක් තිස්සේ අදහස් දක්වා තිබුණේ මෙහි ගැළපීමක් නොමැති බවය. එමෙන්ම සාම්ප්‍රදාය බිඳෙන බවට ද අදහස් දැක්විණි. මනාලයාගේ ඇඳුම ලෙස මුල් ඇඳුම කමෛන් නිර්දේශ වන්නට මෙවැනි මතිමතාන්තර ද බලපෑවේය. මෙය දැඩිමුණ්ඩ දෙවියන්ගේ ද ඇඳුම වන බැවින් තමා ඇඳ සිටින්නේ දෙවියකුගේ ද ඇඳුමක් බව ඔහු මනාලයන්ට නිතර මතක් කොට සිටියේය. ඇඳුම ඇන්දවීමට පෙර සිරිතක් වශයෙන් පිරිත් නූලක් ගැටගසන ඔහු එයින් ඔවුනට දුන් පණිවුඩය වූයේ අඩුම තරමින් මෙම ඇඳුම ඇඳ සිටින කාලය අතරතුරදී හෝ මත්පැන් හා දුම්වැටි පානයෙන් වැළකී සිටිය යුතු බවය. මුල් ඇඳුම් ශිල්පියකු ලෙස ඔහු ලද කීර්ති නාමය ඔස්සේ අප රටේ සියලුම ප්‍රභු පවුල්වල පාහේ ආවාහ විවාහ කටයුතුවලදී මුල් ඇඳුම ඇන්දවීමේ වගකීම භාර කෙරුනේ ජයරත්න මහතා හටය.

තරමක් මෑතකදී සිදුවුණු අග්‍රාමාත්‍ය පුත් අනුරාධ ජයරත්න මහතාගේ විවාහ මංගල්‍යය උත්සවයේදී මුල් ඇඳුම් නිර්මාණ ශිල්පියා වූයේ ද ජයරත්න මහතාය. ඔහු පේරාදෙණිය, හිඳගල, දොලුව පාරේ අංක 169 දරන ස්ථානයේ මෙන්ම පසුකාලයේදී කිරිබත්ගොඩ ගාල හන්දියේ ද මුල් අඳුම් මධ්‍යස්ථාන විවෘත කළ අතර ඔහුගේ සෙවනේ ගුරු හරුකම් ගත් අතිදක්ෂ ගෝල බාලයෝ 10-12 ක් පමණ මෙම මධ්‍යස්ථානවල සේවයේ යෙදී සිටිති. ජයරත්න මහතා පසුගිය කාලයේ වරින් වර අසනීප තත්ත්වයේ පසු වූ අතර පසුගිය 23 වැනිදා මෙම තත්ත්වය තරමක් උත්සන්න වී රෝහල් ගත කෙරිණි. මිය යන්නට තරම් ආයුෂ ගෙවී නොතිබුණ ද මේ අතිදක්ෂ මුල් ඇඳුම් ශිල්පියා පසුගිය 24 වැනිදා පස්වරුවේදී මෙලොව හැර ගියේය. ඒ වන විට ඔහු 56 වැනි වියෙහි පසුවිය. ඔහු ජීවිතයෙන් සමුගන්නට දින තුනකට පෙර එනම් පසුගිය 21 වැනිදා ජාතික ශිල්ප සභාවේ චක්‍රවර්තී සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ඔහුට පුතුන් දෙදෙනෙකි. ඉන් වැඩිමහලු පුතු වූ සුපුන් ශ්‍රීමත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබමින් සිටින අතර දෙවැන්නා පුබුදු ව්‍යාපාර කලමනාකරණය පිළිබඳ ජාතික පාස‍ලේ ව්‍යාපාර අධ්‍යනය හදාරමින් සිටියි. ජයරත්න මහතාගේ උරුමය අතට ගෙන එය ඉදිරි පරම්පරාවන් සඳහා දායක කිරීමේ වගකීම ගෙන ඇත්තේ දෙවැනි පුතු ය. සාම්ප්‍රදායික තුප්‍පොට්ටිය හෙවත් මුල් ඇඳුමේ වංශ කතාව ලියැවෙන යම් දිනෙක එය සාමාන්‍ය ජනතාව අතරට රැගෙන යාමේ පුරෝගාමි මෙහෙවර ඉටුකළ පුද්ගලයා ලෙස ජයරත්න මහතාගේ නම ඉතිහාස ගතවනු නිසැකය.එවන් ජාතික මෙහෙවරක් කළ පී.වී.එස්. ජයරත්න මහතාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

උපුටා ගැනීම ලක්බිම