🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

වාසනාවන්ත නිවසක් තැනීම සඳහා වාස්තු විද්‍යානුකූලව සුදු ප්‍රදේශය සොයා ගැනීම


'පතිරූප දේශ වාසොච පුබ්බේච කත පුඤ්ඤතා' යන බුදු වදනට අනුව ඔබට ජීවත් වීමට සුදුසු ප්‍රදේශය කුමක්‌ද? කියා මීට අවුරුදු දෙදහස්‌ හත්සියයකට පෙර බුදු පියාණන් වහන්සේගේ දේශනයෙන් පැහැදිලි වෙනවා. ඊටත් අවුරුදු දහස්‌ ගණනකට පෙර ඉසිවරු තුන්කල් බලා මෙය පැහැදිලි ලෙස දක්‌වා ඇති බව ඉපැරැණි වාස්‌තු විද්‍යාවෙන් ස්ථිර වෙනවා. මෙය මෙසේ තිබියෙදී පාඨක සිත් සතන් තුළ ඇති දුර්මතයක්‌ දුරු කිරීමට සිදුවෙනවා. ඒ මන්ද යත්, සමහර වාස්‌තු විද්‍යාඥයන් ලෙස පෙනී සිටින වාස්‌තු විද්‍යාඥයන් නිසා පාඨක ඔබ අසරණ තත්ත්වයට පත්වී විනාශ මුඛයට ඇද වැටීමෙන් වළක්‌වා ගැනීම මගේ පරම පවිත්‍ර චේතනාවයි. ඒ අනුව වාස්‌තු විද්‍යාවත්, ජ්‍යෝතිෂ විද්‍යාවත් විෂය ධාරාව අනුව දෙකක්‌ බව ඇත්තයි. නමුත් යම් වාස්‌තු විද්‍යාඥයෙක්‌, ජ්‍යෝතීෂ්‍ය දැනුමෙන් තොරව ඔබට උපදේශයක්‌ දෙන්නේ නම් ඔබ ඒ ගැන විමසා බැලිය යුතුයි. ඒ මන්ද යත් වාස්‌තු සිද්ධාන්තයන් නිවැරැදිව නිර්ණය කිරීමට ජ්‍යෝතිෂ්‍ය අත්‍යවශ්‍ය අංගයක්‌ බැවිනි. මේ අනුව ජ්‍යෝතිෂ්‍ය විද්‍යාවත් වාස්‌තු විද්‍යාවත් ගහට පොත්තත්, පොත්තට ගහත් සේ සබැඳියාවක්‌ ඇති බව ඉපැරැණි වාස්‌තු සිද්ධාන්තයන් ගෙන් පැහැදිලි වේ. මේ මතය සියලු නිවැරැදි වාස්‌තු විද්‍යාඥයන් පිළිගනියි.
ආදි කල්පිත සත්ත්වයාගේ සිට වර්තමාන දියුණු මිනිසා දක්‌වාම අදෘෂ්‍යමාන දෙවියන්, භූතයන් යක්‍ෂයන් ඇතුළු සියලු සත්ත්වයන්ටම වාසස්‌ථාන අවශ්‍ය බව ඔබ දන්නා කරුණක්‌ විය හැකියි. ඒ අනුව ඔවුන් ජීවත් වීමට වාසස්‌ථාන සොයා ගැනීම, නිර්මාණය කර ගැනීම, සහ සකසා ගැනීම සාමාන්‍ය සිද්ධාන්තයකි. නමුත් පංච මහා භූතයන්ගේ සම්මිශ්‍රනයෙන් නිර්මාණය වන මිනිසා සහ සත්ත්වයා තමනට සුදුසු නොවන පරිසරාත්මක සිද්ධාන්තයන්ගෙන් තොරව වාසස්‌ථාන සකස්‌ කර ගැනීමෙන් ඔවුනට සිදුවන අයහපත සුළුපටු නොවේ. මේ පිළිබඳව සත්‍ය නිදර්ශන දෙකක්‌ මා ජීවත්වන පරිසරය තුළින්ම ගෙන හැර දක්‌වන්නම්. ඔබගේ පරීක්‍ෂණාත්මක බුද්ධිය සඳහා මීට අවුරුදු දොළහකට පමණ පෙර එක්‌තරා දිනයක උදේ වරුවේ මට අවශ්‍ය ඖෂධයක්‌ සොයා ගැනීමට වෙල් යායක්‌ දෙසට යමින් සිටියා. එදින ඒ වෙලෙන් එගොඩ යම් වාසස්‌ථානයකට අත්තිවාරම් දානවා දැක්‌කා. මම ඇත්තොත් එක්‌ක ටික වේලාවක්‌ කතා කර කර ඉඳ ඇහුවා කවුද අද මේ අත්තිවාරම දාන්න නැකත් දුන්නේ කියා. ඒ වෙලාවේ දක්‍ෂ ප්‍රසිද්ධ පුද්ගලයෙක්‌ ගැන කීවා. එහෙම කියලා ඒ අය කිව්වා ඇයි මහත්තයෝ අද සම්පත් නැකතක්‌ නේ තියෙන්නේ කියා. ඒ වෙලාවේ මම ඒ ඇත්තන්ට හා..... බොහොම හොඳයි..... මම මේ යනවා බෙහෙත් ඖෂධයක්‌ සොයා ගන්නට වෙල පහළට කියා මම ගියා. මගේ කාර්ය කර ගැනීමෙන් අනතුරුව ගෙදර ඇවිත් මම මගේ බිරිඳට කිව්වා අසවල් තැන අසවල්ලු අත්තිවාරමක්‌ දමනවා. නමුත් ඔය වාසස්‌ථානයේ පදිංචි වෙලා තුන්මාසයක්‌ හෝ හත් මාසයක්‌ යන්න කලින් මරණයක්‌ නම් සිදුවෙනවා කියා. ඒ වෙලාවේ මගේ බිරිඳ මට කීවේ ඇයි ඔයා ඕව කියන්න ගියේ ඔයාට කිව්වේ නෑනේ නැකත් බලන්න කියා... මම ඒ කීවා වගේම ඒ වාසස්‌ථානයේ පදිංචි වූ මුල් ම පදිංචිකරු මම කිව්ව කාල සීමාව තුළ මළා. මැරුණේ කොහොමද කියා ඔබම ඇවිත් සත්‍ය තහවුරු කර ගන්න.
අනෙක්‌ සිද්ධාන්තය නම් මීට අවුරුදු පහකට හයකට පෙර මා ඉන්නා තැන සිට නගරයට එන පාරේ බස්‌ නැවතුම්පොළ ඉදිරිපිට කම්බි කූරු 4 ක්‌ සමඟ හතරැස්‌ අත්තිවාරමක්‌ දානවා දැක්‌කා. එදා මම බසු නැවතුම්පළේ සිටි මහත්මයකුට කීවා. අනේ මහත්තයෝ ඔය අත්තිවාරම් ගල් පේළි තුනකට වඩා උඩ එන්නේ නැහැ. යටට ගිලා බැහැගෙන ගියත් කියා. නමුත් ඒ මහත්තයා මොකුත් කීවේ නැහැ. හිනාවෙලා නිහඬව සිටියා. මමත් නිහඬව මගේ ගමන ගියා. නැවත මාස 9 කට විතර පසුව අර මහත්තයා මට මේ බස්‌නැවතුම්පළේදීම හමුවුණා. එදා එතුමාම මා දුටුව ගමන් මා ළඟට ඇවිත් සුබ පතලා ඇහුවා ඔබතුමා කවුද, කරන වෘත්තිය මොකක්‌ද කියා. මම ඇහුවා ඇයිද එහෙම අහන්නේ කියා. ඒ වෙලාවේ තමයි කීවේ මහත්තයට මතකද මීට මාස ගණනාවකට කලින් මම මෙතනදී හමුවෙලා කතා කළා. එදා ඔබතුමා කීව අනාවැකිය හරිනේ. මම ඇහුවා මොකක්‌ද කියා. අර ඉස්‌සරහ තිබෙන අත්තිවාරම ඒ වෙලාවෙ තමයි මට මතක්‌ වුණේ. එදා ඒ සිද්ධිය කියලා තියෙන්නේ අර මහත්තයට බව. මෙයින් අදටත් ඔබට ප්‍රත්‍යක්‍ෂ සාධකයකි. ඇවිත් විමර්ශනය කරන්න පුළුවන්.
අද වර්තමාන සංකීර්ණ සමාජයේ ජනගහනය වැඩි වී භූමි ප්‍රමාණය අඩු වී ඇති නිසා වර්තමාන සමාජයේ ගෘහ වාසීන්ට ජ්‍යෝතිෂ විද්‍යානුකූලව හා වාස්‌තු විද්‍යානුකූලව සියයට සියයක්‌ සාධාරණීය කරන කිරීමට නොහැකි වුවත් සිය සම්පත් ආරක්‍ෂා කරගෙන දුක්‌ කරදරවලින් අඩු සිය දරු මුණුපුරන් සමඟ සහජීවනයෙන් වාසය කිරීමට හැකි ගෘහ වාතාවරණයක්‌ සකසා දීමයි මගේ බලාපොරොත්තුව. එය ඔබේ ඉදිරි දිවි ගමනේ සරු සාරවත් භාවයට හේතු වාසනා වේවායි මගේ පරම පැතුම අද ඔබ කෝටි ගාණක්‌ මුදල් වැය කර මහත් පරිශ්‍රමයක්‌ දරා ගොඩ නගාගත් ගෘහ වාසස්‌ථාන බොහෝමයක්‌ ජ්‍යෝතිෂ්‍ය විද්‍යාවට සහ වාස්‌තු විද්‍යාවන්ගේ සිද්ධාන්තයන්ට අනුකූල නොවී දෝෂ සහිතව අක්‍රමවත්ව ගොඩනඟා ඇති බව මාගේ අත්දැකීම් වලින්ම පැහැදිලි වේ. මෙයට මූලිකම හේතුව වී ඇත්තේ ගෘහවාසීන් මේ පිළිබඳව අවබෝධයක්‌ නැතිකමක්‌ වාස්‌තු විද්‍යාඥයන් සේ පෙනී සිටින කපටි ගෘහ සැලසුම් නිර්මාණ ශිල්පීගේ සැලසුම් සහ ගෘහය ඉදිකරන කාර්මික ශිල්පීන්ගේ නොදැනුවත්කම නිසාමයි. මේ නිසා ජන සමාජයේ සිටින ගෘහවාසීන්ට ජ්‍යෝතිෂ්‍ය විද්‍යානුකූලව හා වාස්‌තු විද්‍යානුකූලව යම් දැනුම් සම්භාරයක්‌ ලබා දෙමින් සැපත සෞභාග්‍යය උදාකරන වාසනාවන්ත ගෘහ වාසයක වාසගත වීම දක්‌වා අවශ්‍ය දැනුම අවබෝධය ලබා දෙන වාස්‌තු විද්‍යා ලිපි පෙළ මෙතැන් සිට අරභමි.
බුද්ධිමත් පාඨකයනි, ඔබ ගෘහයක්‌ තැනීමට කළින් පළමුවෙන්ම කළ යුත්තේ ඔබට වාසයට සුදුසු ප්‍රදේශය සොයා ගැනීමයි. එය කළ යුත්තේ මෙසේය. ඔබ පළමුවෙන් ම ඔබේ කේද්‍රයත් ඇතුව බුලත් අතක්‌ රැගෙන දක්‍ෂ ප්‍රවීණ දෛවඥයකු කරා ගොස්‌ ඔබට වාසනාව උදාකරන සුදුසු ප්‍රදේශය කුමක්‌ද කියා සොයා ගන්න. මම මෙහෙම කියන කොට කේන්ද්‍රයක්‌ නැති අන්‍යාගමිකයන් සහ කේන්ද්‍ර නැති අය සිතන්නට පුළුවන් අපි කොහොමද ඒක කරන්නේ කියා. ඒකට කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. සර්ව විශ්වීය ශාස්‌ත්‍රයන්ට ජාති ආගම් කුල මල භේද නැහැ. ඔබ ඔබේ උපන් දිනය වේලාව දන්නේ නම්, එයද, එසේත් නැත්නම් කමක්‌ නැහැ. බුලත් අතක්‌ රැගෙන විත් තත්කාර ශාස්‌ත්‍රය දන්නා ප්‍රවීණ දක්‍ෂ දෛවඥ මහතෙකු වෙත ගොස්‌ ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. එවිට ඔබට නිවැරැදිම පිළිතුර ලැබෙයි. මෙසේ නිවැරැදිව සුදුසු ප්‍රදේශය සොයා ගත් පසුවයි භූමි පරීක්‍ෂාව කළ යුත්තේ. මේ පිළිබඳව පුරාණ මයිමතය නමැති ගෙබිම් ශාස්‌ත්‍රයේ දැක්‌වෙන්නේ මෙසේය.
ගෙවල් තැනුමට නිසී
බිම් හා මාස දිගු නිසී
කැපීමට ලී නිසී
කියමි මයිමත බලය මෙලෙසී

මේ අනුව දෛවඥ උපදෙස්‌ මත ඔබට සෞභාග්‍ය යෝගයක්‌ ඇති සුබ වේලාවක්‌ සකස්‌ කරගෙන භූමිය බැලීමට නිවැරැදි දිසාවෙන් ගොස්‌ භූමියට ඇතුල් විය යුතුයි. එහිදී ඔබ ශාස්‌ත්‍රානුකූලව නිසි වත් පිළිවෙත් ඉටු කළ යුතුයි. ඊළඟට ඔබ පහත සඳහන් පාරිසරික සිද්ධාන්තයන් පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුයි. සොහොන් බිම්, හෙණ ගැසූ ඉඩම්, ගල් වළවල් තිබූ ඉඩම්, පරණ හුඹස්‌ බිඳ දැමූ ඉඩම්, බණ මඩු, විහාර, දේවාල, තුංමං සන්ධි, සිව්මං සන්ධි, අම්බලම්, නාන ළිං තොටුපළවල් ආදිය ගෘහය සැකසීමේදී ඉදිරියට වැටෙන්නේ ද යන්න. එසේම ලොකු ගල් බොරළු සහිත ඉඩම්, නිරායාසයෙන් ම වැසි ජලය බස්‌නාහිරට බැස යන ඉඩම්, ගරා වැටුණු සොහොන් කොත්, විහාර, දේවාල තිබූ ඉඩම් යන මේ සිද්ධාන්ත ගෘහ වාසයට නොසුදුසු භූමි ලෙස පෙන්වා ඇත. නමුත් මේ සමහර සිද්ධාන්තයන්ට ශාස්‌ත්‍රානුකූල පිළිවෙත් ඇති බව ද මතකයේ තබා ගත යුතුයි.

උපුටා ගැනීම දිවයින