🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නිවසට අලුතින් කොටසක්‌ එකතු කිරීමේදී ප්‍රවේශම් වන්න.

නිවසක්‌ සාදා අවසන් කර ඉන් පසු හිතුමතේට කොටසක්‌ එකතු කිරීම බොහෝ අය විසින් කරනු ලබන වැරැද්දකි. එයට හේතුව පැරැණිගෙය නිවැරදිව වාස්‌තු විද්‍යානුකුලව හදා තිබුණද අලුතින් සැදූ කොටස නිසා නිවසේ වැරැදි රාශියක්‌ නිර්මාණය වේ. එසේ නැතිව වැරැදි තිබෙන (වාස්‌තු විද්‍යානුකූලව නොවු) නිවසක නම් වැරැදි තවත් වැඩි වේ. ඒ අනුව වාස්‌තු විද්‍යානුකූලව නම් කිසිම නිවසක හිතුමතයට කොටසක්‌ එකතු කිරීම අසුබය.

එසේ නිවසකට තව කොටසක්‌ එකතු කරන්නට අදහස පහළ වූ විගස කුමන හෝ තැනකින් නිවසට යාබදව ඉදිකිරීම කරති. එසේ නොව කළයුත්තේ වාස්‌තු විද්‍යානුකූලව ගැලපෙන පරිදි නව කොටසක්‌ එකතු කිරීමය. එය දැනට ඇති නිවසට ගැලපෙන පරිදි එනම් වර්ගඵලයට ගැලපෙන දිග පළලට සරිලන පරිදි ආදී කරුණු රාශියක්‌ සැලකිල්ලට ගෙන නව කොටස සෑදිය යුතුය. මේ සඳහා වාස්‌තු විද්‍යාව දත් අයකුගේ සේවය ලබා ඒ අනුව කටයුතු කළ යුතුය.

එසේ හිතුමතයට විමසා නොබලා නව කොටසක්‌ එකතු කිරීම නිසා වන වැරැදි කීපයක්‌ විමසා බලමු.

සතරැස්‌ හෝ ආයක චතුරශ්‍රාකාර නිවසක නිරිත පැත්තට වන්නට කාමරයක්‌ සෑදුවීට එම නිවසේ හැඩය වෙනස්‌ වේ. එම හැඩයෙන් මෙන්ම ඒ නිරිත දෙස සෑදූ කොටස නිසා (දකුණත් බටහිරත් අතර පැත්තේ වයඹ පැත්ත (බටහිර හා උතුර අතර කොටස) අඩුවක්‌ දක්‌නට ලැබේ. මෙය වාස්‌තු විද්‍යාව අනුව අසුබ පිහිටීමකි. මෙම වයඹ දෙස අඩුවීම නිසා සිදුවන ප්‍රතිඵලය, වාස්‌තු විද්‍යාව අනුව ධන විනාශය සිදුවේ. වාස්‌තු විද්‍යාවේ එය පෙන්වා ඇත්තේ වාස්‌තු පුරුෂයාගේ වම් බාහුව අඩුවීම නිසා සිදුවන බවය.

මෙලෙස ඊසාන දෙස අඩුවීමක්‌ සිදුවූවහොත් ගෘහ හිමියාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහේ. රෝගී වේ. එය වාස්‌තු විද්‍යාවේදී පැවැසෙන්නේ වාස්‌තු පුරුෂයාගේ හිස නැතිවීම ලෙසිනි.

නිරිත පැත්තේ අඩුවක්‌ සිදුවන ලෙසට යම් ඉදිකිරීමක්‌ කළොත් එහි ප්‍රතිඵලය වන්නේ නිවැසියන්ට ස්‌ත්‍රීන්ගෙන් කරදර වීම පදිංචි ඇති දරුවන්ට නරක අපල සිදුවීමද සිදුවේ.

මෙලෙස ගිනිකොණ පැත්තේ අඩුවක්‌ වී නම් ගෙහිමියාගේ ධනය විනාශයට හේතු වේ.

නිවසක මධ්‍යම කොටස තුළ වූ බ්‍රහ්ම පාදයට අසුබ වන පරිදි බිත්ති අයත්වීම පරාල අයත්වීම ආදී කරුණු අනුවද නිවසක නව කොටසින් එම දෝෂය විය හැකිය. එයට හේතුව කලින් වූ නිවසේ මැද නව කොටස නිසාද වෙනස්‌විය හැකි බවය. තවද නව කොටස නිසි ස්‌ථානයට අයත් නොවන ලෙස ඉදි වූ විට අයහපක ගෙන දෙන ප්‍රතිඵල උදා වේ. වැසිකිළිය නිසි තැනට අයත් නොවීම දෝෂයක්‌ නිසා එවැනි කාමර නිසා රෝග ඇතිවීම විය හැකිය.

නිවසක අලංකාරය පිළිබඳ වාස්‌තු විද්‍යාවෙන්ද පෙන්වා ඇත. ඒ නිසා නව කොටස නිසා නිවසේ අලංකාරයට හානියක්‌ වී නම් එයද දෝෂයකි.

තවද ප්‍රේත පාදය වැනි අසුබ පාදගත වීමද සිදුවිය හැකිය. කලින් වූ නිවස එම අසුබ පාද මග හරවා තනා තිබුණද මෙම නව කොටසකින් එවැනි දෝෂ සිදු වේ.

නිවසක තිබිය යුතු දොර ගණන ජනෙල් ගණන පිළිවෙළින් ඔත්තේ, ඉරට්‌ටේ ගණනින් විය යුතුය. නව කොටස සමග ගණනයේදී එම ගණන්ද වෙනස්‌වීම සිදුවිය හැකිය.

අය වැය නිසිලෙස තිබෙන නිවසක්‌ වීමට නම් නිසි වර්ගඵලයක්‌ විය යුතුය. එම යහපත්ව තිබූ වර්ගඵලය අයහපත් වීමට මෙම නව කොටස හේතු විය හැකිය.

නිවසක ඇතුළුවන පිටවන දොරවල් බිත්තියේ නියමිත පාදයකට අයත්විය යුතුය. එය වාස්‌තු විද්‍යා නියමයකි. මෙම නියමයන්ද නව කොටසක්‌ එකතු කිරීම නිසා වෙනස්‌වී විවිධ අසුබ ප්‍රතිඵල උදාවේ. අයහපත් පාදයක්‌ දොරක්‌ අයත් වූ විට ශෝකය දනවන කරුණුවලට මුහුණ පෑම, දුක, ස්‌ත්‍රී විපත්, රෝග, බිය, වධ බන්ධන මරණ, ධන හානි මහත් විපත් ආදිය සිදුවීමට හැකිය.

එමෙන්ම නිවසකට දොර තැබීමේ ක්‍රමයක්‌ ඇත. ඒ ඒ නිවස අනුව සතර පැත්තට නිසි දොර ප්‍රශ්නය ප්‍රමාණය තැබිය යුතු වේ. එහෙත් නව කොටසක්‌ එකතු කළවිට එහි දොරක්‌ පිටවීමට හෝ ඇතුල්වීමට පිටතින් තැබූ විටද එම දොර ක්‍රමය අනුවද විවිධ දෝෂ උදාවේ. දොර ක්‍රම 15 ක්‌ ලංකාවේ භාවිතා වේ. එම ක්‍රම 15 න් ,

  1. උතුර හා බටහිර
  2. උතුර නැගෙනහිර බටහිර
  3. උතුර හා දකුණ
  4. උතුර හා නැගෙනහිර
  5. දකුණ නැගෙනහිර
යන ක්‍රම පහෙන්ද දෝෂ විය හැකිය.

මේ අනුව හිතුමතයට නිවසකට අලුතින් කොටසක්‌ එකතු කිරීමෙන් සිදුවන දෝෂ රාශියකි. මෙම දෝෂ සංඛ්‍යාව තිහකට වැඩිවන බව දක්‌නට ලැබේ. ඒ නිසා වාස්‌තු විද්‍යාව දත් අයෙකු ලවා නිවස පරීක්‌ෂා කරවා නව කොටස එයට ගැලපෙන පරිදි එකතු කර සෑදීම කළහොත් එම නිවසේ යහතින් ජීවත්විය හැකිය.

උපුටා ගැනීම දිවයින