🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

වාස්තු දෝෂ නැති වාසනාවන්ත නිවෙසක් හදන හරිම පිළිවෙළ

  1. ආරම්භක වේද දෝෂ
  2. නිර්මාණ දෝෂ
  3. පරිසර දෝෂ
  4. හැසිරීමේ දෝෂ
  5. අනියම් දෝෂ

දෝෂවලින් තොර ගෙයක් සාදා ගැනීම, සාදාගත් ගෙයෙහි ජීවත් වීමට හැකි වීම, නිවෙස ආරක්ෂා කර ගැනීම යන කාරණා තුන තුළ සමස්ත වාස්තු විද්‍යාවටම පදනම වී ඇත. මෙසේ කුඩා කොට දැක්වෙන්නේ ඉතා පුළුල් වූත් ගැඹුරු වූත් විෂයකි. වාස්තු විද්‍යාවේ ආරම්භය, ඉතිහාසය, විකාශය පිළිබඳ මත භේද වෙනත් විද්‍යාවන්ට කලාවන්ට දර්ශනවලට ආගම්වලට මෙන්ම වාස්තු විද්‍යාවටද ඇතත් අපට වුවමනා දෝෂවලින් තොර නි‍ෙදාස් නිවෙසක් තනා ගැනීම සහ තම නිවැසියකුට නි‍ෙදාස් නිවෙසක් තනා ගැනීමට උදවු කිරීම මඟින් තමාටද සංසාරයට පින් රැස්කර ගැනීමකි.

ආරම්භක දෝෂ

  • මුල්ගල තැබීම ඇතුළු ගෘහ කටයුතු සඳහා ගන්නා නැකැත් ගෙහිමියාගේ උපන් නැකැතට/ලග්නයට නොසීහීම තත්කාල පංචාංගය සහ ග්‍රහ පිහිටීම අශුභ වීම ආදී නක්‍ෂත්‍ර දෝෂ.
  • නිවෙසක් තැනීමට ප්‍රථම එම ස්ථානයේ භූමි දෝෂ, භූත දෝෂ, බහිරව දෝෂ ආදිය ඉවත්කර නොගැනීම (ඒ සඳහා දවස් 7ක් පහන තියා) එම දෝෂයක් පවතී නම් පෙන්නුම් කරන ලෙස ඉල්ලා සිටින්න.
  • නිවෙස තැනීම ආරම්භයේම කූඤ්¿ද, නූල, ආයුධ ආදිය කැඩී යෑම ආදී අසුබ පෙරනිමිති.
  • මුල්ගල තබන ආකාරය සහ චාරිත්‍ර වාරිත්‍ර ආදිය නොසැලකීම.
  • නිවෙස ඉදිකිරීමට යොදා ගන්නා ගෘහ කාර්මිකයන්, සේවකයන් ආදීන්ගේ කෑම බීමහැසිරීම, කතාව නිසා යෙදෙන ඇස්වහ කටවහ ආදී දෝෂ.
  • ගෘහණිය ගැබිනියව සිටියදී, දැරියක මල්වරව සිටියදී නිවෙසක කටයුතු ආරම්භය.
  • කෝණ මාසවල නිවාස කටයුතු ආරම්භය. (කෝණ මාස යනු රවි – මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවල ගමන් කිරීම)

නිර්මාණ දෝෂ

අශුභ දිශාගත කිරීම, ගෙයි දිග පළල ආදී සැලැස්මේ දෝෂ, වර්ගයට අනුව නිවාස තනා නොගැනීම, අත්තිවාරම්, කාමර වෙන් කිරීම්, වහලය ගැසීම, ‍ෙදාර උළුවහු, ජනෙල් තැබීම් ආදියෙන් යෙදෙන දෝෂ නිර්මාණ දෝෂ වේ.

පරිසර දෝෂ

ප්‍රධාන ගෙට වේදව පිහිටි ළිඳ, වැසිකිළිය, කුස්සිය ආදී අනු ඉදිකිරීම්, ගේට්ටුව, තාප්පය, මාර්ගය ආදියද ගේ අවට ඇති ගස් කොළන්, කුලුනු, ගොඩනැඟිලි ආදියෙන් යෙදෙන දෝෂ පරිසර දෝෂ වේ.

හැසිරීමේ දෝෂ

මෙම දෝෂ වැඩි වශයෙන් යෙදෙනුයේ පදිංචි වීමෙන් පසුවය. ගේ තුළ අසභ්‍ය වචන කීම, රණ්ඩු කිරීම, ගිනි මොළවන දිශාව, නිදා ගැනීමේ දිශාව, ඇඹරුම්හල බටහිරට හරවා තිබීම, අල්මාරි ආදිය බටහිරට විවෘත වීම, සපත්තු, තොප්පි, කුඩ ආදිය ගේ තුළ භාවිතය, ප්‍රාණගාත ගෙතුළ සිදු කිරීම, රෙදිවැල් ගේ තුළ බැඳීම, ගණිකා, සුරා සූදු, මස් මාංස, ආයුධ ආදී නරක වෙළෙ¼දාම් ව්‍යාපාර පවත්වාගෙන යෑම.

අනියම් දෝෂ

  • වෙනත් අයකු විසින් කරන ලද හදි හූනියම්, අනවින දෝෂ.
  • ගෙතුළ ගෙල වැලලා ගැනීම්, පිලිස්සීමෙන්, වස විස පානයෙන් ආදී හදිසි මරණ, ගෙවත්තේ මිනියක් දැමීම, මිනී ඇටකටු වැනි දෑ ගෙතුළ තබා ගැනීම.
  • මියගිය අයගේ බැල්ම වැටීම, ගුප්ත ශබ්ද හා දුගඳ හැමීම, ක්ෂණිකව කෑම පිළුණු වීම.
  • නුසුදුසු ලෙස දේව රූප ආදී ආගමික හෝ ගුප්ත කටයුතු කිරීම, ඒවාට පහන් දැල්වීම.
  • කබරයන්, සිවලුන් ආදී අසුබ සතුන් ගේ තුළට පැමිණීම, දෙබර බැඳීම.
  • ගිරා, මයින් ඇතුළු සතුන් ගේ තුළ සිරකර තබා ගැනීමේ, තටු කැපීමේ ශාපය.
  • කිහිප වතාවක් නිවෙසකට අකුණු වැදීම, මුදුන් බිත්ති පිපිරීම.
  • පදිංචියෙන් තොරව දිගු කලක් පාළු වීම.
  • ගෘහණිය හැර වෙනත් වැන්දඹු වඳ කාන්තාවක් හෝ දෝෂ නිසා විවාහයේ නොයෙදුණු කාන්තාවක ගෙයි සිටීමත් අනියම් දෝෂයක් ලෙස හින්දු ජේ‍යාතිෂයේ පෙන්වාදී තිබේ.

නිර්මාණ දෝෂ යටතේ පහත කරුණුද අනිවාර්යයෙන් නිවැරැදි කළ යුතුය

  • ගෙයක මුදුන් යටලීයක පිරිද්දුම් (මූට්ටු) ගණන 3ක් වීම. ඉරට්ටේ වීම සුබය.
  • කුරුපා 1ක් හෝ 3ක් මුදුන් යටලීයකට සුදුසු නැත. නිවෙසේ මුළු කුරුපා ගණන ඔත්තේ වීම අසුබය. ඉරට්ටේ වීම සුබය.
  • මුදුන් යටලීයේ හරි මැද පිරිද්දුමක් වීම අසුබය.
  • මුදුන් යටලීය හරි මැදට පරාල ගැසීම අසුබය.
  • පිරිද්දුම් මත පරාල ගැසීම අසුබය.
  • වෙනත් නිවෙසක මුදුන් යට ලීයක් තම නිවෙසේ මුදුන් යටලීයට හරි කෙළින් තිබීම අසුබය (දුරස්ථ වීමේදී අසුබතාව මඟහැරේ)
  • මුදුන් යට ලීයේ දිග ගෘහ මූලිකගේ උසට වඩා අඩුවීම අසුබය.
  • මුදුන් යට ලීයේ මුදුන් බිත්ති 3ක් මත තැබීම අසුබය.
  • ගෙදරක මුදුන් බිත්ති ප්‍රමාණය ඔත්තේ වීම අසුබය. ඉරට්ටේ වීම සුබය.
  • උළුවස්සක හරි මැද හෝ කන, ජනේලයක හරි මැද හෝ කන, අසුවන තැනට යට ලීයක් හමු වීම අසුබය.
  • නිවෙසේ බිත්තියේ හරි මැද ප්‍රධාන උළුවස්සට හොඳ නැත.
  • යට ලීය බ්‍රහ්ම පාදය මුදුණෙන් හරි මැදින් යෑම සුදුසු නැත.
  • යට ලී පිරිද්දුම් සමාන්තරව නොතිබිය යුතුය. (නිවෙසක දළ වශයෙන් යට ලී 5ත් 6ත් අතර තිබිය හැකිය) වැඩිවන අවස්ථාද ඇත.
  • මුදුන් යට ලීයට යටින් ලම්භකව තවත් මුදුන් යට ලීයක් තිබීම සුදුසු නැත.
  • නිවෙස තුළ උළුවහු තැබීමේදී ප්‍රධාන මුළු 4ට ලණු හරස් අතට ඇද බැලීමේදී එම ලණු කැපී යන තැන්වල උළුවහු තැබීම සුදුසු නැත.
  • නිවෙසක ළිඳ සහ ගේට්ටුව ප්‍රධාන උළුවස්ස ඉදිරියෙන් සුදුසු නැත.
  • යට ලී ඉලක්ක කොටද ළිඳ සුදුසු නැත.
  • නිවෙසක මුහුණත සෘජුවම නැඟෙනහිර හෝ බටහිර දිශාවට යොමු වී තිබීම අසුබය. (මාලිමාවක් උපයෝගි කොටගෙන අනු දිශාවකට විකලා 2-3 හෝ වෙනස් කරන්න.)
  • නිවෙසක දිග පළල මෙන් දෙගුණයකට වඩා වැඩි වීම අසුබය.
  • නිවෙසක උළුවහු ඔත්තේද ජනෙල් ඉරට්ටේද විය යුතුය. Panlight ජනේල ලෙස සලකයි. Panlight සහ ජනේලවල එකතුව ඉරට්ටේ විය යුතුය. (එකතුව 13ක් නොවිය යුතුය)
  • නිවෙසක් හරි හතරැස් වීම නුසුදුසුය. කාමරයක් හරි හතරැස් වීම නුසුදුසුය.
  • ප්‍රධාන උළුවස්සට කෙළින් පඩිපෙළක් තිබීම නුසුදුසු වන අතර පඩිපෙළ බ්‍රහ්ම පාදයට ඒමද නුසුදුසුය.
  • ප්‍රධාන උළුවස්සේ සිට බලන විට නිවෙසින් එළියට යන උළුවස්ස පෙනීමට තිබීමද අසුබය.
  • නිවෙසක ඇතුළු වන විටම මුළුතැන්ගෙය පෙනීම අසුබය.
  • මහල් නිවාසවල උළුවහු, ජනෙල් සමාන්තර දුරකින් පිහිටා තිබීම.
  • උළුවහු ලී පිරිද්දුම් තුළින් (මූට්ටු) යුක්ත වීම අසුබය.
  • උඩුමහලට යන පඩිපෙළක් තිබේ නම් ඊට යටින් බුදු පහන තැබීම අසුබය. ඊසාන දිශාවට වුවත් අසුබය.
  • අප වැඳුම් පිදුම් කළ යුත්තේ ඊසාන දිශාවට මුහුණලාය. (බුද්ධ ප්‍රතිමා ඊසාන දිශාවට විරුද්ධ දිශාවට තබනු)
  • නිවෙසේ මුළු උළුවහු, ජනෙල් කෙළින් වැසිකිළි වහලවල් තැබීම සුදුසු නැත.
  • නිවෙස තුළ දිය ඇලි, පොකුණු සුදුසු නැත. (ආයතනවලට අදාළ නැත)
  • ප්‍රධාන උළුවස්සට වඩා සෑම අතින්ම පිටවන උළුවස්ස කුඩා විය යුතුය.
  • උළුවහු 3ක් එක කෙළින් පිහිටා තිබීම සුබ නොවේ.
  • වහලය ගැසීමේදී එක ඇණයක් ලී 3කට වදින ලෙස ගැසීම සුදුසු නැත.
  • නැඟෙනහිර දිශාවට යට ලී සුදුසු නැත.

මෙම අයුරින් වාස්තු විද්‍යාත්මකව නිවෙසක් නිර්මාණය කිරීම ඔබටත්, ඔබගේ පවුලේ අභිවෘද්ධිය, සෞභාග්‍යයටත් හේතු වේ. ඒ වගේම සෞඛ්‍ය, මානසික සුවය රදා පැවැත්මටත් වාස්තු විද්‍යාත්මකව තනා ගන්නා නිවෙසක් ඔබට සිරිකත කැඳවන්නේය. නිවැරැදි ජේ‍යාතිෂ්‍ය උපදෙස් ලබා ඔබත් මෙවැනි දෝෂ රහිත නිවෙසක් තනා ගැනීම වඩා යහපත් වේ.

ජේ‍යාතිෂවේදිනි, වාස්තු උපදේශිකා දිස්නා හේවාවසම් (0766642872)
උපුටා ගැනීම මව්බිම