🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

වාස්තු විද්‍යාවෙන් දුර්මත දුරලමු


වාස්තු ශිල්පියෙකු අනිවාර්යෙන්ම නිවසක දෝෂ ඇද්දැයි සොයා බලන ස්ථාන මේවායි.
  1. ප්‍රධාන දොර.
  2. උළුවහු තබා ඇති තැන්.
  3. උළුවහු ජනෙල් සංඛ්‍යාව.
  4. කාමර පරීක්ෂා කිරීම.
  5. මුළුතැන්ගෙය පිළිබඳව.
  6. වැසිකිළි වළ, නාන කාමර පිළිබඳව.
  7. වහලයේ අඩු පාඩු පිළිබඳව.
  8. මර්මස්ථාන හා බ්‍රහ්ම පාදය පිළිබඳව.
  9. කාමර දිසාගත කර ඇති අන්දම.
  10. ළිඳ පිළිබඳව.
  11. නිවසේ වර්ගඵලය පිළිබඳව.
  12. ඉඩමේ අනාරක්ෂිත කොටස (ප්‍රේත පාදය)
  13. ශාක පිළිබඳව.
මෙම ස්ථාන පිළිබඳව සොයා බැලීමට අමතරව නියමිත මිනුම් ක්‍රම ආදී තවත් බොහෝ දේ ඇත. මෙය ඉතා සුළු වේලාවකදී කළ නොහැක. ඔබ දන්නවාද? ඔබේ ඉඩම නිවස පරීක්ෂා කිරීමට පැමිණෙන වාස්තු ශිල්පියා ඔබ නොදැනුවත්වම ඔබට හොරා කරන සැලසුම. ඔබට මෙය ඔබේ ජීවිත කාලයටම එළිදරව් කරගත නොහැක.
  • ඔබගේ ඉඩමට ඇතුළුවූ වහාම ඉඩම සිසාරා සිය දෙනෙත් යොමු කරයි.
  • නිවසට ගොඩ වැදීමට පෙර නිවස අවට සිරි නරඹයි.
  • ඔබ ඉදිරියට එන පවු‍ලේ අය කෙරේ සියුම් බැල්මක් හෙළයි.
  • ඔබ සැමගේ ගමන බිමන ඇඳුම් පිළිබඳව යම් නිගමනයකට එළඹේ.
  • ඔබ සුන්දර ලෙස තනා ඇති දිය ඇල්ල ළඟ, මල් පාත්ති ඇතුළත දැවීගිය දුම්වැටි කොටස්, මත්පැන් බෝතල් වල මූඩි, හිස් බයිට් පැකට් ඔහුගේ උකුසු ඇසට යොමුවේ.
වාස්තු ශිල්පියා ඔබ ගැන ඔබ පවු‍ලේ අය ගැන නිවසට ගොඩ වැදීමට පෙර සියලු දත්තයන් සොයා ගෙන අවසන් බව ඔබ මොහොතක් සිතුවාද? මෙම සියලුම කාරණා නිරීක්ෂණය කිරීමට ගතවන කාලය උපරිම තත්ත්පර 10 කට අඩු කාලයක් බව ඔබ දැන ගත්තාද? තුන්කල් දන්නා නුවණින් යුතු සෘෂිවරයන්ට විශ්ව ශක්ති තේරුම් ගැනීමට පුළුවන්නම් වාස්තු ශිල්පියෙකුට එයින් අංශු මාත්‍රයක් හෝ තේරුම් ගැනීමට ශක්තිය ධෛර්යයත් ඔහු සතුව තිබිය යුතුය.
  1. නියම වාස්තු ශිල්පියා කැඩුම්, බිඳුම් කිරීමට ඉඩ නොදෙයි. (උළුවහු ජනෙල් හැර) විකල්ප මාර්ග අඩු වියදමින් කිරීමට උපදෙස් දෙයි.
  2. ගෘහ මූලිකයා අසන සෑම ප්‍රශ්නයකටම හෘද සාක්ෂියට එකඟව පිළිතුරු සැපයිය යුතුයි.
  3. වාස්තුපූජා, වාස්තු කෙම් භාවිත කළ යුතු අන්දම ඉටු කළ යුතු දේ සටහන් කර දිය යුතුය.
  4. නිවසේ මිනුම් ක්‍රම නිවැරදි ලෙස ලබාගත යුතුයි.
  5. ප්‍රශ්න ඉතුරු නොකර ප්‍රශ්න සියල්ලම නිරවුල් කර දිය යුතුය.
  6. නවීන විද්‍යාවන්ට ගැළපෙන ලෙස වාස්තු සංකල්ප පැහැදිලි කර දිය යුතුය.
  7. නිවස වර්ගකර දෝෂ හොඳින් නිවැරදි කර වෙනස් කළ යුතු තැන්, දිනය වේලාව, නැකත් ආදිය කර දිය යුතුය.
  8. නිවසක මිරිස්ගල තබන ස්ථානය පවා දැනුවත් කළ යුතුය.
  9. නිවසේ අයට වාස්තු විද්‍යානුකූලව ජීවත්වීමට හා ගහකොළ පවා අවශ්‍ය හෙයින් ශාක පිළිබඳවද, දැනුවත් කළ යුතුය.
වාස්තු විද්‍යාවේදී ප්‍රවීණයකු හඳුනා ගන්න ඉහත උපදෙස් ඔබට ඉතා වැදගත් වේවි. නිවසක් ඉදිකිරීමේදී සැලකිය යුතු කරුණු මොනවාද? කරුණු නම් බොහෝය. වැදගත් දේ පමණක් සටහන් කරමු.
  1. ආරක්ෂාව සහ ශක්තිමත් බව, කල් පැවැත්ම.
  2. ජීවිතයට සෞඛ්‍යයට ඔරොත්තු දෙන ස්ථානයක් වීම.
  3. සිතට සතුට, සැනසුම ගෙන දෙන අයුරින් අලංකාරව ඉදිකිරීම.
මේ සියලු කරුණු වලට වඩා වැදගත් වන්නේ වාස්තු විද්‍යානුකූලව ඉදිකිරීමයි. වර්තමානයේදී සැලසුම්, අඳින ඇතැම් ශිල්පීන් වාස්තු විද්‍යාව ගැන දැනුම නොමැතිකමින් අලංකාරය පිණිස පමණක් සැලසුම් නිර්මාණය කරයි. මෙම කරුණු නිසා බොහෝ ගැටලු ඇතිවේ. වාස්තු විද්‍යාඥයාට ඉදිකිරීම් ගැනද අවබෝධයක් තිබිය යුතුයි. ප්‍රායෝගික අත්දැකීම් නැති අයෙකුට වාස්තු විද්‍යාව කළ නොහැකියි. අත්තිවාරමට කළුගල් බැඳීමේදී පවා කළුගල් බැඳීමේ ක්‍රමයක් ඇත. අත්තිවාරමක හෝ ජනේලයක, උළුවස්සක මුල්ලක් අංශක 90ට නොතිබුණොත් එයද වාස්තු විද්‍යා දෝෂයකි. දක්ෂ පෙදරේරුවා උළුවස්සක් හරියටම ලම්භකව නොතියයි. එය සෙන්ටිමීටර් 1½ ක් පමණ ඉදිරි පැත්තට බර කර තබයි. මෙම ක්‍රමයේදී සරනේරු ගෙවුණත් දොර බිම නොවදී. ජනෙල් ඇල්ලීමේදී යම් යම් ක්‍රම උපයෝගී කරගනී. මෙවැනි ඇතැම් කරුණු තම පරම්පරාවෙන් පිට නොදේ. මේ හෙළි කළේ කරුණු කීපයක් පමණි. වාස්තු විද්‍යාවට මුල් තැන දී ක්‍රියා කිරීමෙන් ඔබට ඔබගේ නිවස සුරපුරක් කර ගත හැක.
ප්‍ර:- අපගේ නිවසේ 12*12 කාමර දෙකක් ඇත. දිග පළල සමානය මෙය ශුභද?
ශුභයි. හරි හතරැස් කාමර බෙදා ගත යුත්තේ ආගමික වතාවන් කරන ස්ථානවලට පමණයි. නිවසක ආගමික ස්ථානයකට හැර වෙනත් කිසිම කාමරයක් හරි හතරැස් කිරීම ශුභ නොවේ. මෙම නිවසේ රැඳී සිටීමෙන් නොයෙක් අකාරයේ ලෙඩ දුක්, රැඳීමට අපහසුතා ඇති කිරීමත් මානසිකත්වයෙන් පහළ වැටීමක් ද සිදුවේ.
ප්‍ර:- තනි පලයේ වහලය නිවසකට සුදුසුද?
මෙය තාවකාලිකව හෝ ස්ථිරව කොයි ලෙසකින් නිර්මාණය කළත් මෙමගින් අශුභ ඵල ඇති කරයි. නිවසක, ගොඩනැගිල්ලකට වුවද තනි පලය ශුභ නොවේ.
ප්‍ර:- නිවසේ ඇති වාස්තු දෝෂ වලට කළ යුත්තේ කුමක්ද?
ඔබ වාස්තු දෝෂය කුමක්දැයි කියා හරි හැටි පැහැදිලි කර නැත. වාස්තු දෝෂ රාශියකි. මෙය කර බලන්න. “චූල ජිනපංජරය යන්ත්‍රය” විධිමත් ලෙස පිරිසිදු අන්දමින් සකස් කර 1907 වාරයක් ජීවන්කර ගෝධුලි මුහුර්ථයෙන් නිවසේ තැන්පත් කර මල් පහන් සුවඳ දුම් පිදීමෙන් වාස්තු දෝෂ පහ වී යයි. චුලජිනපංජරය (දස දිසා පිරිත) පිරිත තුන්වරක්ද, කරණීය මෙත්ත සූත්‍රය තුන් වරක්ද උදේ සවස කියා පින් කැමති සියලු දෙවියන්ට හා ඉඩමට නිවසට අරක් ගත් බහිරව දේවතාවන්ට පින් අනුමෝදන් කරවීමෙන් ක්‍රම ක්‍රමයෙන් නිවාස දෝෂ යටපත් වී දියුණුව සැලසේ. මාංශ භක්ෂණයෙන් තොර අයට විශිෂ්ට ගුණ ලැබේ. මෙම පිරිතෙන් ඉක්මනින් ගුණ ලැබෙන්නේ නිතර තෙරුවන් සිහිකරමින් දැහැමිව ජීවත් වන හරක් මස්, ඌරු මස්, මස් මාංශ තොර අයවලුන්ට පමණයි. සතුන් කූඩු කරගෙන සත්ව හිංසා කරමින්, මාළු ඇති කරන නිවෙස් වලටද ඉෂ්ට දේවතාවන් ගේ බැල්ම නොවැටේ. ඉෂ්ට දේවතාවන්ගේ බැල්ම ඔබේ නිවසට, ඔබේ ඉඩමට, ඔබට පවු‍ලේ අයට නොවැටෙන විට ඔබ කරන කියන කටයුතු අඩාලවේ. මානසික මට්ටම පහත වැටේ. දුක් කරදර පීඩා ආදියට පත් වේ. එය ඔබටත් ඔබගේ පවු‍ලේ අයටත් ඉතාමත් ලොකු අවාසනාවකි. දැහැමිව ජීවත්වන අයට දෙවිවරු පවා ආශිර්වාද කරති. ඉදිරියට යා යුතු මාර්ගය පෙන්වා දෙති.
වාස්තු විද්‍යාඥ ලීලානන්ද රණවක
උපුටා ගැනීම ලක්බිම පුවත්පත