🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මනමාල සිකුරා ඔබට කරන බලපෑම්

ග්‍රහ මණ්ඩලයේ මනාලිය වශයෙන් සලකනු ලබන සිකුරු පෘථිවියට එක් පැත්තකින් ද අනිත් පැත්තෙන් කුජ ද පිහිටා ඇත. සූර්යාගෙන් අංශක 48 කට වඩා ඈත් නොවේ. මෙම ග්‍රහයා අලුයම් කාලයේදීත් ඉර බැසයන කාලයේදීත් අපේ පියවි ඇසට පෙනෙන අතර උදයේ දකින විට පහන්තරුව වශයෙන් ද සවස දකින විට ඉරබටු තරුව වශයෙන් ද හඳුන්වනු ලබයි. විශේෂයෙන් අවුරුද්දේ එක කාලයකට අලුයම ද තවත් කාලයක සවස් වරුවේද මෙය අහසේ දීප්තිමත්ව පියවි ඇසට පෙනේ. මෙහි විශ්කම්භය සැතපුම් 7700 ක් වන අතර ජල ගෝලයක්් ලෙසින් එය සැලකේ. සිකුරු මිනිසාට සියලු ශුභඵල ගෙන දෙන ප්‍රමුඛ ග්‍රහයෙකි. මනුෂ්‍යයාගේ රූපශෝභාව, කෞශල්‍යය, ප්‍රේමය, වාසනාව, යහපත් ජීවිතය, පිරිසිදුකම, කරුණාව, මිත්‍රත්වය, කෙළිලොල්බව ආදිය සිකුරුගෙන් ඇති වේ. තරුණ වයසට බලවත් වේ. දවල් උපන් අයට සිකුරු මව් වේ. සිකුරු කේන්ද්‍රගත වීම, ත්‍රිකෝණගතවීම, ලග්නයේ හෝ එකොළහේ සිටීම, උච්චක්ෂේත්‍ර වීම ඉතාම යහපත්ය. සිකුරු බලවත් වූ විට සැහැල්ලු රස ආහාර, අකලට මහළු නොවන තරුණ පෙනුම, ඇසීමට ප්‍රිය උපදවන වාග් චාතුර්ය ඇතිවීම, හැමවිට සතුටින් සිටීම, භාර්යාව හෝ පුරුෂයා සමඟ සැපසේ වාසය කිරීම ආදී යහපත් ඵල ඇති කරයි. මෙවන් සුභඵල දෙන සිකුරු දුර්වල වීමෙන් විවාහය කරදරකාරී එකක් වීමට බොහෝදුරට ඉඩ ඇත.

සිකුරු ලග්නයේ සිටීමෙන් දැකීමට ප්‍රිය මුහුණ, මනාව පිහිටි ශරීරයෙන් හා ප්‍රිය උපදවන කතා විලාශයක් ද හිමි වේ. නිතර විනෝදයෙන් සිටින තැනැත්තකු වෙයි. සුවඳ වර්ග සහ ලස්සන ඇඳුම් පැළඳුම් ප්‍රිය කරන අතර පිරිසිදුකම ද අගය කරන්නකු වේ. සුව පහසු යහන්වල නිදාගැනීමට ලැඛෙයි. ස්ත්‍රීන් ආශ්‍රයට පත්වී මහලු අයකු වුවද තරුණයකු මෙන් ක්‍රියා කිරීම නිසා ස්ත්‍රීන්ට ඉතා ප්‍රියභාවයක් ඇති කරවයි. ලග්නය - තුලා, වෘෂභ, මීන යන එකක් වී ලග්නයට පැමිණි සිකුරා මාලවී යෝගය ද උදාකර කලා කටයුතුවලට දැඩි ප්‍රියතාවයක් ඇති කරවයි. විසිතුරු දෙය කිරීමට පෙළඹෙයි. එයින් අන්‍යයන්ගේ සිත් තමා වෙත ආකර්ෂණය කර ගැනීමේ ගතිය ඇති වේ.

සිකුරු දෙවැන්නේ සිටීමෙන් නිරායාශයෙන්ම ධනය ලබාදෙනු ඇත. බලයෙන් ද යුක්තය. රජයේ හා උසස් නිලධාරීන්ගේ පැසසුමට ලක්වේ. ඔවුන්ගේ උපකාරයෙන් දියුණුව සැළසේ. හිත මිතුරන් ඇතිවන අතර විවාහය ද වාසනාවන්තය. යහපත් ඇස්, මුඛය සුභාෂිත වචන ඇති චරිතවත්, යහපත් කෙනකු වන අතර ප්‍රියජනක මුහුණක් ද ඇති වේ. දෙවැන්නාධිපති වී සිකුරා දෙකේ හැසිරෙන විට ඔහුගේ මහ දශා, අතුරු දශාව ද එවකට පවතී නම් මහාම ධන කුවේරයකු වන්නේ ස්ත්‍රීන් ඇසුරින් ලැඛෙන ධනය හේතුවෙනි. ඔහු නොදැන තම ධනය ගලා එනු ඇත.

තුන්වැන්නේ සිකුරා සිටියදී උපන් අය ස්ත්‍රීන්ට වඩා ප්‍රිය වේ. සහෝදරයන්ගේ උපකාර නොඅඩුව ලැඛෙයි. දරුවන්ට සුභදායක නොවේ. උසස් තත්ත්වයකට පත්වන අතර පින් කිරීමට, යුද කෝලාහල ආදියට බිය ඇත්තෝ වෙති. දීර්ඝායුෂ ලැබීමට වාසනාව ඇත. බිරිඳගේ ධනය ලැඛෙයි. ධන ධාන්‍යයෙන් පිරි සැපවත් දිවියක් ගතකිරීමේ භාග්‍යය උදාවෙයි. සිකුරු දුර්වල වී සිටියේ නම් සහෝදරියන්ගෙන්, භාර්යාවන්ගෙන් විපත් ඇති වේ. සහෝදරයන් අතර නිතර අඬදබර ඇති කරවයි. සිකුරු හතරවැන්නේ සිටි විට අලුත් ගෙවල් දොරවල්, මල්වතු, උයන්වතු, ක්‍රීඩා භූමි, නාට්‍ය ශාලා, සංදර්ශන පෙන්වන භූමිවල හිමියන් වීම හෝ එවන් ස්ථානවල වාසනා කරන්නෝ වෙති. රථවාහන ලැබීමට ද වාසනාව ලබති. නැටුම්, ගැයුම් උගන්වන ගුරුවරුන් ද විය හැක. ස්ත්‍රී ලාභ, ආයුෂ ලාභ ඇති වෙයි. ත්‍යාගශීලී වේ. සිකුරු දුර්වලව සිටියහොත් පපුවේ රෝග, ශරීරය කෘශවීම, ගේදොර අන් අය සතුවීම, ස්ත්‍රී වියවුල් ඇතිවීම, සහෝදරයන් විරුද්ධවීම, ඉඩකඩම් ආරවුල් ආදිය ඇති කරයි. ස්ත්‍රීන්ගේ දේපළ පිළිබඳ නඩු හබ ඇති වේ.

සිකුරු පස්වැන්නේ සිටියදී උපන් අය ආචාර්යවරුන්, ශාස්ත්‍රඥයන්, සිනමා, නාට්‍ය ආදී කලා කටයුතුවල අධ්‍යක්ෂවරුන්, මන්ත්‍ර ශාස්ත්‍ර ආදියේ නිපුනවන්නන්, යස ඉසුරු ධන සම්භාර ලබන්නන් හා යහපත් දේ ඉගෙන එයින් දියුණු වන්නෝ වෙති. රජයෙන් හා උසස් නිලධාරීන්ගෙන් පිදුම් හා ගෞරව සම්මාන ලබයි. දැකීමට ප්‍රිය රූමත් ස්ත්‍රීන් ඇසුරට පත් වේ. ස්ත්‍රීන් නිසාම දියුණුවට ද පත් වේ.

හයවැන්නේ සිකුරු සිටියහොත් ඥණයෙන් සතුරන් පරදවයි. නපුරු සිතුවිලි ඇතිවෙයි. අධිකව දූ පුතුන් ලබයි. ස්ත්‍රීන්ට ලොල්වීමත්, අධික කාමසේවනය නිසාත් විපත් ඇතිකර ගනී. ධාතු හීන රෝග, ක්ෂය රෝග, ප්‍රමේහ රෝග, ඇස්වල ආබාධ ඇතිවීමට පුළුවන. තම චරිතයට හානිදායක ප්‍රචාර ඇතිවීමෙන් ලෝකයට මුහුණදීමට බැරි තත්ත්වයක් ඇති වේ. සිකුරු හත්වැන්නේ සිටියදී උපන් අය පහත් ගති ඇති ස්ත්‍රීන් හා ගණිකාවන් වැනි අයගෙන් කරදර හිරිහැර ඇති වේ. තම බිරිඳ පවා තමා ගැන සැක කිරීමෙන් නිතර පවුලේ අඬදබර ඇති වේ. අසමගිය රජ වෙයි. රළු ආහාර පවා ගැනීමට සිදු වේ. නිතර රෝගී තත්ත්වයෙන් පසුවීමට සිදුවෙයි. විශේෂයෙන් ලිංගික රෝග ඇතිවිය හැකිය. සිකුරු මාරක ග්‍රහයකු වී හතට පැමිණියහොත් අකල් මරණ ද ඇති කරවයි. සිකුරු අටවැන්නේ සිටි විට ග්‍රහයන් හැම දෙනාම පාහේ ජන්මියාට අශුභ ඵල දුන්නත් සිකුරු අටවැන්නේ සිටිය යුතු උසස්ම ග්‍රහයාය. වෙදදුරන්ටත් සෙවිය නොහැකි මරණයක් වේ. වකුගඩුවේ හෝ හෘද රෝගයකින් මරණය සිදු වේ. මෙහි සිකුරු යෝගව සිටීමෙන් මැණික් වාසනා ඇතිවන අතර විවාහයට අශුභ ඵල ගෙන දෙයි. සිකුරු නමවැන්නේ නම් ජන්මියා ධාර්මික පැත්තට යොමුකරවයි. තමාගේ නිවසට ශ්‍රියාකාන්තාව පැමිණියා සේ නිවසේ ශ්‍රියාව, සමගිය හා සමාදානය ඇති කරවයි. උසස් අයගේ උපකාර හා ගරු බුහුමන් ද ලබයි. ධන ධාන්‍ය ලාභ කාර්ය සිද්ධි ඇතිවීමෙන් ධනවත් උසස් දිවියක් ගතකිරීමට ලැඛෙයි.

දහවැන්නේ සිකුරු සිටීම රජයේ රාජකාරි හිමිවීමට විශේෂ පිහිටීමක් වේ. ආගිය තැන්වලදී හැමවිට පිළිගැනීම්වලට ලක් වෙයි. උසස් අයගෙන් උදව් උපකාර නිරායාශයෙන් ලැඛෙයි. බොහෝ විට පාලක පක්ෂයේ අත්සන පමණක් යොදන රැකියා ලැඛෙනු ඇත. යහපත් ගතිගුණ හා ක්‍රියාකලාපයන් ඇත් තෙකි. මහජන යාගේ ප්‍රසාදය දිනාගනී.

එකොලොස්වැන්න සිකුරුට වඩාත් යහපත් ස්ථානයකි. අළුත් නිවාස, රථ වාහන, යහපත් දූ දරුවන්, රූපත් ස්ත්‍රීන් ආදිය ද ලබයි. ධනවත් වෙයි. උගත්, පොහොසත් ස්ත්‍රීන් හා විවාහ වී ඔවුන්ගේ ධනය නිසා ප්‍රසිද්ධිය ද ලබයි. සිකුරු දුර්වලව සිටියහොත් ස්ත්‍රීන් නිසා ආරවුල් ඇති වේ. කරන සියලු කටයුතුවලින් සල්ලාලකම නිසා පාඩු ලබයි. දූ දරුවන්ට ද අයහපත් ප්‍රතිඵල උදා කරවයි.

සිකුරු දොළොස්වැන්නේ සිටියදී උපන් අය වස්තු ලාභ, ගේ දොර, වතුපිටි ආදිය ලබන්නෝ වෙති. ත්‍යාගශීලී වේ. අන් සතු ධනයට හිමිකම් ලබයි. මිතුරන් ඇසුරින් ධනය ද හිමි වේ. ඔවුන්ගේ උපකාරය දියුණුවට හේතුවක් වෙයි. පාප පීඩිතව හෝ පාප සංයෝග ඇතිව සිකුරු සිටියොත් මවට මරණය හෝ තදබල ලෙඩදුක් ද ඇති කරවයි. අශුභව සිටියොත් ස්ත්‍රීන් නිසා ධන හානි වෙයි. මිතුරන් වෛර වීම නිසා ගුණධර්ම පිරිහීමෙන් චෝද නාවලට ලක්වේ. වම් ඇසේ රෝග පාදයන්හි ආබාධ ඇතිවීමට ද පුළුවන.

හිඹුටානේ පියතිලක ද අල්විස්
උපුටා ගැනීම දිවයින පුවත් පත