🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

විවාහ යෝග උදාවෙලා නැද්ද?

marrage proposals

ඔබට මේ ගත වෙන්නේ තදබල අපල කාලයක් නම් ඒරාෂ්ටක අපල කාලයක් නම් මෙම කාලයේ විවාහ වෙන්න හොඳ නැහැ.ඔබගේ හෝ ඔබගේ දරුවාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා මෙවැනි වදන් ඇතැම් දෛවඥවරයන් පවසා තිබෙන්නට පුළුවන්. අපල කාලයක් නිසා ඔබගේ හෝ ඔබගේ විවාහයට නිසි වයස් පැමිණි දරුවාගේ විවාහය ප්‍රමාද කරනවා නම් නැති නම් මංගල යෝජනා සෙවීම නතර කර ඇත්නම් ඔබට හෝ ඔබගේ දරුවාට අපල ඇති කරන ග්‍රහයා ඔබම මිසක වෙන අයෙක් නොවේ. ජේ‍යාතිෂයේ විවාහයට හොඳ කාල නරක කාල කියා කාල දෙකක් නොමැත. තිබෙන්නේ විවාහ යෝග ඇති කාල හා විවාහ යෝග නැති කාල යනුවෙන් කාල 2ක් පමණි. ඕනෑම අයකුට නැති නම් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම වැඩිවියට පත් කාලයේ සිට විටෙන් විට විවාහ යෝග කීපයක් බලපවතිනු ලබයි. නීතියෙන් බාධා පැවැතියද බාල වයස් විවාහ ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල අදටද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත්තේ මේ නිසාය. ශ්‍රී ලංකාවේද 1950ට ප්‍රථම කාලයේදී කාන්තාවන් වයස අවුරුදු 16න් 17න් විවාහ කටයුතු සිදු වූ අතර 1950 සිට 1980 පමණ දක්වා කාලවලදී වයස අවුරුදු 18, 19, 20, 21 යන වයස්වලදී ස්ත්‍රී අයද 27ට අඩු වයස්වලින් පිරිමි අයද විවාහ විය. අද සමාජය වන විට වයස අවුරුදු 30ට ආසන්න වයස් කාලවලද බොහොමයක් විවාහ කටයුතු සිදු වෙයි. මීට හේතුව විවාහ යෝග නොමැතිකම නොව අධ්‍යාපනික හෝ ආර්ථික හේතු මත විවාහ කටයුතු ප්‍රමාද කිරීමයි. කෙනකුට යම් කාලයකදී රැකියාවේ උසස් වීමක් ලැබෙන අතර එම කාලයේම අසනීප තත්ත්වයක් හේතුවෙන් හෝ පවුලේ වෙනත් ප්‍රශ්නයක් හේතුවෙන් පීඩා ඇති කළ හැකිය. එයින් අදහස් වන්නේ එම කාලය රැකියාවට සුබපල ඇති කරන කාලයක් වන අතර පීඩාව ඇති කළ කාරණාව සම්බන්ධයෙන් අපලයක් තිබීමයි. එමෙන්ම යම් අපල කාලයකදී ඇතැම් අයට විවාහ යෝග ඇති වෙයි. අපලයි කියා මෙම විවාහ යෝග මඟහරවා ගන්නවා නම් ඊළඟ විවාහ යෝග ඇති කාලය පැමිණෙන තෙක් ඔහුට හෝ ඇයට තනිකඩ ජීවිතයක් ගත කිරීමට සිදුවෙයි.

ඉහළ අධ්‍යාපනයක් ලැබූ අයෙක්ට බොහෝදුරට විවාහ වීමට සිදු වන්නේ වයස අවුරුදු 27 ඉක්මවා ගිය පසුවයි. එයට හේතුව කලින් ඔහුට හෝ ඇයට විවාහ යෝග ඇති නොකළකම නොවෙයි. විවාහ කටයුතු වීමට තරම් සුදුසු පරිසරයක් හෝ උනන්දුවක් නොමැති නිසා පෙර පැවැති විවාහ යෝග මඟහැරී තිබීමයි.කිසිම විටෙක විවාහ යෝග නොමැති කාලවලදී විවාහයක් සිදු නොවන අතර විවාහයක් යනුවෙන් අදහස් කරන්නේ විවාහ ගිවිස ගැනීමක් හෝ විවාහ ලියාපදිංචි කිරීමක් නොව ස්ත්‍රි පුරුෂ 2ක් එක වහලක් යට ශාරීරික වශයෙන් හා මානසික වශයෙන් බැඳීමක් ඇතිව ජීවත් වීමයි. මෙහිදී විවාහ යෝග කාලය පැමිණීමට ප්‍රථම ඔබට හෝ ඔබගේ දරුවාට සුදුසු සහකාරියක් හෝ සහකරුවෙක් සොයාගත නොහැකි බව අදහස් නොවේ. විවාහයක් ක්‍රියාත්මක වීමට නම් සිකුරු ග්‍රහයාගේ හෝ සිකුරුගේ රාශියක සිටින ග්‍රහයෙක්ගේ හෝ සිකුරුත් එක්ව සිටින ග්‍රහයෙක්ගේ හෝ සිකුරු ග්‍රහයාට පූර්ණ දෘෂ්ටියක් දෙන ග්‍රහයෙක්ගේ අන්තර් දශාවක් තිබීම වැදගත්. මීට අමතරව සිකුරුගේ නැකැතක සිටිය ග්‍රහයෙක්ගෙන්ද විවාහ කටයුතු සිදුවිය හැකිය. මෙහිදී විවාහ කාලසීමාවක් නිශ්චය කරන අතර සූක්ෂ්ම ආකාරයෙන් නිශ්චිත කාලවකවානුවක් හෝ මාසයක් ප්‍රකාශ කිරීමට නවාංශය මූලික කොට නාඩි ජේ‍යාතිෂය මඟින් ප්‍රකාශ කළ යුතුය. එය ඉතා සංකීර්ණ කාර්යයක් වන අතර ග්‍රහයන් තැන්පත් නිවැරැදි අංශක කලා ප්‍රමාණයද ගණන් බලා කළ යුතු කාර්යයක් වෙයි. ඔබත් අපල කාලයක් නිසා ඔබගේ හෝ ඔබගේ දරුවාගේ විවාහය ප්‍රමාද කරන්නේ නම් දෛවඥවරයෙක් වෙත ගොස් ඔහුගෙන් නිවැරැදි උපදෙස් ලබා ගන්න. අප විසින් ජේ‍යාතිෂය අපගේ ජීවිතයට සමීප කර ගන්නේ අප සිදු කරන වැඩකටයුතු ප්‍රමාද කිරීමට නොව කළ යුත්තේ අප කාර්යයන් කෙරෙහි යම් බාධාවක් ඇත්නම් ඒ පිළිබඳව දැනුවත් වී නිවැරැදි ආකාරයෙන් එම බාධාවන් මඟහරවාගෙන ජීවිතය සාර්ථක කර ගැනීමයි. අපලයි කියා ඔබ ඔබගේ වැඩකටයුතු ප්‍රමාද කරන්නෙක් නම් ඔබ විසින්ම ඔබට පමණක් නොව ඔබේ පවුලේ උදවියටත් විනයක් කරනවා මිස එයින් ඔබටත් ඔබේ පවුලේ උදවියටත් වන සෙතක් ශාන්තියක් නොමැත.

මව්බිම