🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මෙන්න නිමිති ශාස්‌තරේ


“නළ මුදු සුවඳ පිරිකුඹු මියුරු අඹ ගෙඩී
පුල හෙළ කුසුම ලිය, පිය, තෙපළ රන් කෙ
සල සුදු සෙමෙර සේසත් ගිජිඳු ඔද වැඩී
බල සුබ නිමිති පෙර මඟ නැකතටත් වැඩී”

ඉතා සුබ නිමිති ගණනාවක්‌ ගැන කියෑවෙන සැළලිහිණි සංදේශයේ එන මේ කවිය කා අතරත් ප්‍රචලිතය. සිත් ගන්නා මෘදු සුවඳකින් යුත් සුළඟත්, දිය පිරුණු කළගෙඩිත්, මිහිරි රසැති අඹත්, මල් පොකුරුත්, සිත් අදනා විධියට කතාබස්‌ කරන කාන්තාවනුත්, රන් කෙණ්‌ඩිත්, එහා මෙහා සෙලවන සුදු සෙමරත්, සේසතුත්, ඔද වැඩී ගිය අලි ඇතුනුත් දැකීම පෙර මග නැකතටත් වඩා සුබ පෙර නිමිතිය යන්න එහි තේරුමය.

සුබ කටයුත්තක්‌ ආරම්භ කරන විටකදී හෝ ගමනක්‌ යන්න පිටත් වන විටකදී හෝ උදැසන ඇහැරුණු විටකදී හෝ වෙනයම් දෙයකදී හෝ හාපුරා කියා සුබ නිමිත්තක්‌ දකිනවා නම්, ඇති වන සතුට කියා නිම කළ නොහැකි තරම්ය. උදේ පාන්දරම කඳු මුදුන් දුටුවහොත් හිතේ උස්‌ හැඟීම් ඇති වන බවට තදබල විශ්වාසයක්‌ ඇත. නමගිය ජ්‍යෙතිර්වේදියකු මෙන්ම පත්‍ර කලාවේදියකු ගීත රචකයකු හා කවියකුද වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ, “වැපිමේඛලා” නිවස්‌නයේ බිත්තියක කඳුවැටියක්‌ නිර්මාණය කර ඇත්තේද උදේ පාන්දර එදෙසට නෙත් හෙලීම සඳහාය. කිරි කළ ගෙඩියක්‌ හෝ කිරි පනිට්‌ටුවක්‌ හෝ රැගත් යුවතියක්‌ උදැසන දැකීම ඉතා සුබ පෙර නිමිත්තකි. මඟුල් තුලාවකට හෝ වෙන කිසියම් සුබ කටයුත්තකට හෝ නිවසින් බැහැර වන විට, සමන් මලක්‌ හෝ දැමූ ලොකු වතුර වීදුරුවක්‌ රැගෙන ඥාති කාන්තාවක්‌ ඔහු හෝ ඇය හෝ ඉදිරියට පැමිණ, එම වීදුරුව ඔහුට හෝ ඇයට හෝ දීමද, එහිදී, එයින් වතුර පොදක්‌ ඔහු හෝ ඇය හෝ පානය කිරීමද සිරිතකි. කිසිවකුගේ දැනුම් දීමකින් තොරව, කිසියම් තරුණියක්‌ දියපිරි කළගෙඩියක්‌ රැගෙන ඉදිරියට ආවොත් නම්, එය වඩාත් සුබ පෙර නිමිත්තක්‌ වන වග නොකිවමනාය.

මුලින් සඳහන් කළ කවියෙන්, සුබ නිමිති ගැන කියෑවුණු පරිද්දෙන්, අසුබ නිමිති ගැන කියෑවෙන කවියක්‌ද ඇත.

“සුන් බදුන් දුසිල් මහණුන් කළු පිළිය
යොන් දනන් මැහැලියන් හැඳි වැර හැලිය
ගින්දරත් සුරා සොඬූණූත නැති බිලිය
යන්නටත් එපා පෙර මඟ දුටු කලිය”
එම කවියයි.

හිස්‌ භාජන, දුසිල් චීවරධාරීන්, කළුපාට රෙදි, යොන් ජනයා, වැරහැලි හැඳි මහලු කාන්තාවන්, ගින්දර ල-ජ බය නැති බේබද්දන්, පාරේදී මුලින්ම දැක්‌කොත් ඒ ගමන නොයා යුතු බව එහි තේරුමය. එහි සත්‍යතාවක්‌ ඇති වග මටද කීප අවස්‌ථාවකදී තේරුම් ගොස්‌ ඇත. මේ අතර, කෙනකු පදිංචි නිවසට බලපාන අසුබ පෙර නිමිති කීපයක්‌ ගැන සඳහන් කිරීමද මෙතැනට උචිතය.

නිවසක හුරතලයට ඇති කරන බල්ලන්, බළලුන්, ගිරවුන්, පරෙවියන් වැනි සතුන් නිවසින් පලා ගියහොත් හෝ ගෙවත්තේ කූඩු තනාගෙන රැදී සිටි ගිරවුන්, ගේ කුරුල්ලන්, පරවියන් වැනි සතුන් කූඩු වලින් පළා ගියහොත් හෝ නිවසේ පදිංචිකරුවන්ට කිසියම් අපල උපද්‍රවයක්‌ සිදුවිය හැකිය. ගොන් බානක්‌ හෝ ඌරකු, කබරයකු දිවියකු වැනි සතකු හෝ නිවස තුළට ඇතුළු වීමද අසුබ පෙරනිමිත්තකි. නිවසේ ඉදිරිපස දොරින් කිසියම් සර්පයකු ඇතුළටවිත්, ඒ දොරින්ම පිටව යැමද අසුබය. පරවියකු හෝ බකමූණකු හෝ කණකොකෙකු හෝ උකුස්‌සකු හෝ ගිජුලිහිණියකු හෝ වැනි සතකු නිවසක වහළය මතට වැටීමද සුබදායක නැත. මස්‌ කැබලි, ලේ බිඳු එලෙස වැටීමද අසුබ පෙර නිමිත්තකි.

මිදුලේ ලේ බිඳු දක්‌නට ලැබීමද අසුබය. නිවසක හිටිහැටියේ කම්පන ස්‌වභාවයක්‌ ඇති වීමද, අනර්ථයක පෙර නිමිත්තකි. කෝකිල නාදයක්‌, ගර්භනී මාතාවකගේ නිවසකදී උන්හිටි හැටියේ ශ්‍රවණය වීමද අසුබය.

නිවසේදී කුමනාකාරයක හෝ අශුභ පෙර නිමිත්තක්‌ දුටුවහොත් කළ යුත්තේ, නිවසේ මකුළු දැල් කඩා, හොඳට අතුපතු ගා ශුද්ධ පවිත්‍ර කොට, කහ දියර මතුරා පේකර හැම තැනම ඉසීමයි.

මේ අතර, නොවරදවා දිනපතාම උදේ සවස ආගමානුකූල ක්‍රියාවන්හි යෙදී සිට, සෙත් පිරිත් හෝ කරණීයමෙත්ත සූත්‍රය හෝ රතන සූත්‍රය හෝ අංගුලිමාල පිරිත හෝ කීමෙන් ආරක්‍ෂාව සැලසෙන්නේ ඉබේමය. බෝධිපූජා නවග්‍රහ පූජාවලින්ද සැලසෙන්නේ ඉමහත් ශාන්තියකි.

ඇඟ මස්‌ නැටීමද සුබාසුබ පෙර නිමිති කියාපාන්නකි. පෞරාණික ග්‍රන්ථවල සඳහන් වන අන්දමට, ශරීරයේ ඒ ඒ කොටස්‌වල ඇඟ මස්‌ නැටීමෙන් අත්වන ප්‍රතිඵල මෙසේය.

  • හිසෙහි – රාජ්‍ය ලාබයකි.
  • නළලෙහි – ස්‌ථාන ලාබයකි.
  • දෙබැමෙහි – සැප සම්පත් ලාබයකි.
  • ඇසෙහි – මිත්‍ර ලාබයකි.
  • කනෙහි – ප්‍රියජනක දේවල් ඇසිය හැකි තත්ත්වයකි.
  • නහයෙහි – සුවඳ ආග්‍රාණය කළ හැකි තත්ත්වයකි.
  • කම්මුලෙහි – වැදගත්, උතුම් ස්‌ත්‍රී ලාබයකි.
  • දෙතොළෙහි – රණ්‌ඩු දබරයකට මැදිවිය හැකි බවකි.
  • මුඛයෙහි – යහපත් ආහාර පාන ලැබිය හැකි බවකි.
  • යටි තොලෙහි – සිප වැළඳ ගැනීමකට ලක්‌විය හැකි බවකි.
  • නිකටෙහි – ලෝභ ස්‌වභාවයකි.
  • කනෙහි හෝ උගුරෙහි හෝ බෙල්ලෙහි මරණයට ඉඟියකි.
  • පිටෙහි – තොරතුරු, ආරංචි ලැබිය හැකි ස්‌වභාවයකි.
  • කඳෙහි – ඥාති මිත්‍රාදීන් හා සමඟ එක්‌විය හැකි තත්ත්වයකි.
  • පපු පෙදෙසෙහි හා බඩෙහි – කිරි මිශ්‍ර ආහාර පාන ලැබිය හැකි බවකි.
  • ඉඟටියෙහි – යාන වාහන ලාභයකි.
  • රහසඟෙහි – ස්‌ත්‍රී සේවනයට ඉඩක්‌ ඇති බවකි.
  • කාන්තාවකගේ රහසඟෙහි – දෙදෙනා එක්‌වීමේදී තෘප්තියක්‌ ලබන බවකි. නොඑසේ නම්, පුතකු උපත ලැබිය හැකි බවකි.
  • පිරිමියකුගේ අණ්‌ඩකෝෂයෙහි – සතුටු ප්‍රීතිය හා සිත් ගන්නා ආරංචි ලැබෙන බවකි.
  • කලවෙහි – වස්‌ත්‍ර ලාබ අත්වන බවකි.
  • කෙණ්‌ඩයෙහි – නෑසියන්ගෙන් ධනය ලැබිය හැකි බවකි.
  • ඇස යට නැටීමෙහි – රණ්‌ඩු කෝලාහල ඇතිවිය හැකි බවකි.
  • ඇස උඩ නැටීමෙහි – දුක්‌කරදර සංකා සිත්තැවුල් දූරීභූත වන ස්‌වභාවයකි.
  • ඇස්‌ කොන නැටීමෙහි – සැප සම්පත් ලබන ස්‌වභාවයකි.
  • නහය කොනෙහි – මරණයට අදාළ පෙර නිමිත්තකි.

පිරිමි අයගේ නම්, සිරුරේ දකුණු පසටද, ගැහැණු අයගේ වම් පසටද අදාළව, ඇඟ මස්‌ නැටීමට මේ කරුණු අදාළ වන බව සඳහන්ය.

උපුටා ගැනීම දිවයින