🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

හෙළ ගොවිතැනේදී පැරැන්නන් යොදාගත් නැකැත්, තිථි සහ වෙනත් ක්‍රමවේද

organic vegitables

හෙළ ගොවියන් ගොවිතැන් කටයුතු සඳහා ගුප්ත ක්‍රමද යොදාගෙන ඇත. සමහර ගුප්ත ක්‍රම විද්‍යාත්මකව විස්තර කළ නොහැකි අතර සමස්තයක් හැටියට වගා බිම්වල ධනාත්මක ශක්තිය වර්ධනය කිරීමක් ඒවායින් සිදුවන බව පෙනේ. වගාබිම් ප්‍රදේශයේ විශ්ව ශක්තිය වර්ධනය කිරීමක් කරන්නේය. වතාවත් හා චාරිත්‍ර වාරිත්‍ර  කිරීමත්  දේව පූජා තැබීමත්  මෙම කාරණයට අදාළ අනික් කටයුතු ලෙස හැඳින්විය හැකිය. 

මෙතරම් විද්‍යාත්මක පසුබිමක් සහිත වූ හෙළ ගොවිතැන අද වන විට අමතක කර දමා විදේශ වගා ක්‍රම අත්හදා බලමින් සිටී.  නමුත් හෙළ වගාවන් විනාශ කර  මෙසේ විදේශීය  පිළිවෙත් කිරීම මෝඩකමකි. තාක්ෂණය, නවීන විද්‍යාත්මක ක්‍රම භාවිත කළ යුතු තැන් ඇත. නමුත් මහා සම්මත රජුගෙන් ආරම්භ වූ හෙළ රජ පෙළපත කෘෂිකර්මයට මුල්තැන දුන්නේය. ඔවුන් විසින් වර්ෂ දහඅට දාහකට ආසන්න කාලයක් දියුණු කොට හෙළදිග ධාන්‍යාගාරය ලෙස වැජඹුණු ලංකාව නැවත එම තත්ත්වයට පත්කළ යුතු කාලය දැන් පැමිණ ඇත. හෙළදිව කෘෂිකර්මාන්තය ඉතාම පුරාණයට දිවෙන්නේය. එහි විකාශන හඳුනා ගැනීමට හෙළදිව මානව විකාශනය විශ්ලේෂණය කිරීම වටින්නේය. 

හෙළ රාවණ යුගය වන විට ලංකාවේ කෘෂිකර්මය ඉතාම ඉහළ මට්ටමක විය. කෘෂි කර්මාන්ත හෙළදිව ප්‍රධාන ස්ථානයක් ගත් අතර රාවණ අධිරාජ්‍යයාගේ සොහොයුරෙක් වන කුම්භකර්ණ මහ සෙන්පතිතුමා කෘෂිකර්මය භාරව සිටියේය. එතුමාගේ යටතේ කුඹුක්කන් ඔය මුල් කොටගෙන රෝහණ රාජ්‍යය අස්වැද්දීය. කුඹුක්කන් ඔය හරස් කොට යෝධ වාරි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. මෙම ප්‍රදේශයට වර්තමාන හම්බන්තොට, කතරගම, යාල, අම්පාර, මඩකළපුව, මොනරාගල හා සෝමාවතිය ඇතුළත් විය. මෙතුමා මාස 6ක් මෙම ප්‍රදේශයේ වී අස්වද්දා මාස 6ක් රාවණ අධිරාජ්‍යයාගේ පරිපාලන කටයුතුවලට උදවු විය. මේ නිසා ඔහුට විශාල ප්‍රමාණයක් බත් වළඳා මාස 6ක් නිදා ගන්නා බවට කතා පටබැඳිණි. මෙම ධාන්‍ය රාවණ අධිරාජ්‍යය පුරා අලෙවි විය. රාම-රාවණ යුද්ධයෙන් පසු යෝධ කෘෂිකර්ම ව්‍යාපෘති කඩා වැටිණි. නාග, යක්ෂ සටන් දිගටම ඇවිළී ගියෙන් කෘෂිකර්මය පසුබැසිණි. බුදුසමය වන විටත් මෙම විරසක පැවැති අතර එහි ප්‍රතිඵලයක් ලෙස බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනය මහියංගණයට වැඩම විය. මෙම කාලය වනවිටත් හෙළ කෘෂිකර්මය අවශ්‍යතාව සැපිරීමට ප්‍රමාණවත් විය. යක්ෂ ගෝත්‍රිකයන්ට ගිරි දේශය (මධ්‍යම කඳුකරය) ලැබීමෙන් තෙත් කලාපයේ වගාවන්ට පුරුදු විය. නාගයන් තැනිතලා බිම්වල වගාවන්ට හුරු විය.

විජයාගමනය වන විට හෙළ වැසියන් වන යක්ෂ, රාක්ෂ, නාග හා දේව කෘෂිකර්මය අතින් ස්වයංපෝෂිතව සිටියහ. ආර්යන්ට වාරිමාර්ග ක්‍රම සම්බන්ධ දැනුුමක් නොතිබුණු බැවින් ගංගා ආශ්‍රිත ජනාවාස පිහිටුවා ගැනීමට පෙලඹිණි. (ඉන්දියානු ගංගා ආශ්‍රිත ශිෂ්ටාචාර ක්‍රමයට.) පණ්ඩුකාභය රජු සමයේ ලංකාව පළමුවරට එක්සේසත් කළේය. මේ අනුව කෘෂිකර්ම මධ්‍යගතව පාලනය කිරීමට ආරම්භ විය. මෙතෙක් වූ ප්‍රමුඛ (ප්‍රාදේශීය) රාජ්‍යයන් එක්සේසත් කළේය. දේවානම්පියතිස්ස රජුගේ සමයේ බෞද්ධ සංකල්ප ලංකාවට ආදේශ විය. බෞද්ධ දර්ශනය අනුව ගොවිතැන විශේෂ තැනක් ගත්තේය. රාජ අනුග්‍රහය මේ නිසා කෘෂිකර්මයට ලැබෙන්නට විය. 

එදා අපේ මුතුන් මිත්තන් අපට දායද කළ හෙළ ගොවිතැන අද වන විට ඉතා ශීඝ්‍රයෙන් අභාවයට ගොස් ඇත. හිරු-ස¾දු ගමන අනුසාරයෙන් එදා භාවිත කළ නැකැතට අනුව ගොවිතැන් කිරීම අද වන විට දක්නට නැත. ඒ වෙනුවට  රසායනික පොහොර  හා උග්‍ර වස විස සහිත කෘමිනාශක අද වන විට අපේ ගොවිතැනට එක් වී හමාරය. රසායනික පොහොර, උග්‍ර වස විස සහිත කෘමිනාශක නිසාවෙන්  පොළොවට එක්වූ වස විස හේතුවෙන්  පිරිසුදු වතුර පොද පවා දූෂණයට ලක් වී හමාරය. කුඹුරු යායකට බැසීමට නොහැකි ලෙස ඒවා දූෂණය වී ඇත.   

අෑත අතීතයේ පෙර දිග ධාන්‍යාගාරය ලෙස විරුදාවලි ලැබූ ශ්‍රී ලංකාව කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත විය. එදා අපට වස විසෙන් තොර නිර්මල ගොවිතැනක් අපේ මුතුන්මිත්තෝ දායාද කර තිබිණි. ඒ පුරාණ ගෞරවනීය  මුතුන්මිත්තන්  අපට දායාද කළ එම  වස විසෙන් තොර නිර්මල ගොවිතැන අද දක්නට නැත.  ඉර- හඳ ගමන අනුව නැකැත්, කෙම් ක්‍රම භාවිතයෙන් එදා වගා කටයුතු කෙරිණි. එහෙත් අද තත්ත්වය ඉතාම කනගාටුදායකය. දිනෙන් දින ලාංකේය ජනතාව වස විස ආහාර නිසා රෝගී තත්ත්වයට පත්වේ. රසායනික පොහොර, උග්‍ර වස විස සහිත කෘමිනාශක නිසා අද අපේ ගොවිතැන තනිකරම විස ධාරාවක් බවට පත්වී හමාරය. ලාංකේය ජනතාව දිනෙන් දින රෝගීන් බවට පත් වේ. විවිධ පිළිකා වර්ග, වකුගඩු රෝග, දියවැඩියාව ඇතුළු ඉතාම භයානක රෝග රාශියකම ආරම්භය ලෙස අප ගන්නා ආහාරයට එක්වූ වස විස හේතු වී ඇත. රජරටින් දිනෙන් දින වකුගඩු රෝගීන් වාර්තා වේ. ළදරුවාගේ සිට මහල්ලා දක්වා රෝගීන් වී හමාරය. රටේ ශ්‍රමදායක වන ජනතාව රෝගීන් වීම නිසා ලාංකේය ශ්‍රම බළකාය දිනෙන් දින පහත වැටේ. අප කන බත් පතට පවා විස  ආසනික් මුසු වී හමාරය. එළවළු ටික කෘමිනාශකයෙන් නැහැවී හමාරය. එසේ නම් අප වහා වහා මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගත යුතුය. නැතිනම් අප සියලු දෙනා අන්ත රෝගීන් වන දිනය වැඩි අෑතක නොවේ. එසේ නම් ඒ සඳහා අපට ගත හැකි හොඳම පියවර අපේ දේශීය පාරම්පරික ගොවිතැනට යොමු වීමයි. ඒ සඳහා අවශ්‍ය පාරම්පරික දැනුම අප රට තුළම ඇත. එය නඟා සිටුවීම සඳහා රාජ්‍ය අංශයේ පුළුල් මැදිහත්වීමක අවශ්‍යතාව මේ යුගයේ දක්නට ඇති කැපී පෙනෙන අවශ්‍යතාවකි.             

එකල රජ දවස සය කෝටියක ජනගහනයක් වෙසෙන ලක්දිව කෘෂිකර්ම අතින් ඉතාම ස්වයං පෝෂිත විය. විස සහිත පළිබෝධනාශක එදා යොදා නොගත් අතර පැරැන්නෝ ගොවිතැන සඳහා පිරිත්/නැකැත්/කෙම් ක්‍රම ඇතුළු සාම්ප්‍රදායික උපක්‍රම යොදා ගත්හ. අදත් මේවා නොනැසී පවතී. කෘෂිකර්මය උදෙසා විවිධ නැකැත් ක්‍රමවලින් අනූන  නක්ෂත්‍ර පොත් රාශියක් ඇත.  ගොවිතැන සඳහා භාවිත කළ නොවරදින කෙම් ක්‍රම බොහෝ වෙයි. මෙය සඳහා මන්ත්‍ර මෙන්ම පිරිත්ද භාවිත වෙයි.  “සුපටිපන්නෝ” යන සංඝයා පුදන ගාථාවෙන් 108 වරක් වතුර මතුරා පලතුරු ගස්වලට ඉසීමෙන් සතුන්ගෙන් පල ආරක්ෂා කර ගත හැකිය.” “වරෝ වරඤ්‍ෙඤා් වර‍ෙදා් වරාහරෝ” යන ගාථාවෙන් 108 වරක් පිරිත් කළ පැන් ඉසීමෙන් ඉපියන් හා මීයන් ආදී සතුන් මර්දනය  වනු ඇත.

ගොවිතැන සම්බන්ධ නක්ෂත්‍ර විධි බොහෝමයක් ඇත.  පොළොව හා සම්බන්ධ සුබ නැකැත් ලෙස බෙරණ, අද, පුෂ, මා, සිත, සා, අනුර, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප යන නැකැත් යෝග්‍ය වෙයි. අදාළ තිථි වන්නේ  නවවක තිථිය හැර සියලු ඔත්තේ තිථිද, ඉරට්ටේ තිථිවලින් දියවක, දසවක, දෙකද සුබ වෙයි. ස¾දුදා/අඟහරුවාදා ගොවිතැනට ඉතා සුබ දිනයන් වන අතර බදාදා හා බ්‍රහස්පතින්දා මධ්‍යම වෙයි. අදාළ දිනයන්හි රෝපණය කළ යුතු ගස්වැල් අතර  

ඉරිදා : මුල් ලෙස ආහාර ලබාගන්නා ශාක

සදුදා : කඳ ලෙස ප්‍රයෝජනය ගන්නා වූ ශාක

අඟහරුවාදා / සෙනසුරාදා  : කොළ ලෙස ප්‍රයෝජනය ගන්නා වූ ශාක

බදාදා : මල් ලෙස ප්‍රයෝජනය ගන්නා වූ ශාක

බ්‍රහස්පතින්දා / සිකුරාදා : ගෙඩි ලෙස ප්‍රයෝජනය ගන්නා වූ ශාක

වී ගොවිතැන ප්‍රධාන කොට ඇති සියලුම වගා කටයුතුවලදී පැරණි සිංහලයන් නියම ලෙස කල්යල් බලා, ජේ‍යාතිෂයට මුල්තැනදී කටයුතු කළ වග පෙනී යයි. “කැට කොළ චක්‍රය” නමින් වගා නැකැත් සඳහන් පුස්කොළ ග්‍රන්ථයක්ද තිබේ. “නැකැත් වදුළ” නමැති පැරණි පොතින්ද වගා නැකැත් පෙන්වා දී ඇත. ජේ‍යාතිෂය කරුණු ගැන නොසලකා ඇතැම්හු වගා කටයුතු කර අලාභහානි කර ගනිති. ඉරිදා දිනය තුළ වී වැපුරූ අයට අවශ්‍ය ජලය නොලැබී වගාව දුර්වල වෙයි. නැතිනම් කුඹුරෙහි ජලය රැඳවීමට බාධක ඇතිවෙයි. කක්කුටු කරදර නිදසුනට ගත හැකිය. සදුදා දිනයේදී වපුලොත් ගොයම වැඩෙයි. එහෙත් අස්වැන්න අඩුවෙයි. අඟහරුවාදා නම් කුඹුර පාළු වෙයි. බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා නම් වැඩි අස්වැන්න ලැබෙයි.

අපගේ ප්‍රධාන ආහාරය වන වී වගාව සඳහා මෙම තිථි/දින/නැකැත් භාවිත කිරීම මඟින් හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය. වී වගාව සම්බන්ධ කටයුතුවලට වෘෂභ/ මිථුන/ කටක/ කන්‍යා/ තුලා/වෘශ්චික/ධනු/මකර/මීන යන ලග්නද සෙනසුරාදා හැර අනෙක් දිනද 4/9/14 යන තිථි හැර අනෙක් තිථිද අස්විද/මුවසිරස/ පුනාවස/ පුෂ/මා/පුවපල්/උත්‍රපල්/ හත/සිත/සා/ විසා/අනුර/ දෙට/මුල/පුවසල/උත්‍රසල/සුවණ/දෙනට/ පුවපුටුප/ රේවතී යන නැකැත්ද ගොවිතැනට ඉතා සුබය. බදාදා/ බ්‍රහස්පතින්දා/ සිකුරාදා යන දිනයක මා/ හත/ මුල/ උත්‍රපල්/ උත්‍රසල/ උත්‍රපුටුප/ පුෂ/ රෙහෙණ/ අනුර යන නැකැත් හා 3/5/7/11/13 යන තිථි හා වෘෂභ/ මිථුන/ කටක/මකර/මීන යන ලග්නයන්ද  යෙදී ඇත්නම් ඉතා උතුම් වේ. මෙවැනි දිනයක වී වැපිරීම් කටයුතු කිරීම ඉතාම සුබ වෙයි. මේෂ ලග්නය උදාව ඇති මොහොතක වී වැපිරීම අසුබ වෙයි.

කුඹුරු වැපිරීමට අනුගමනය කරන පැරණි පිරිත් රාශියක් ඇත. සුබ දිනය උදාවූ විට නියර මත වී ටිකක් ඉසියි. බිත්තර වියට තබා ගෙන ඇති වී මෙයට ගනු ලබයි. ප්‍රදේශයන්ට අනුව වැපිරීමේ ක්‍රම වෙනස් වෙයි. පළමුව නියර මත හබරල ගසක් සිටුවති. හබරල පැළය උෟරා විසින් විනාශ නොකරයි. පැළය ඉදිරියේ මඩ ඉස ඒ මතු වී ටිකක් ඉසිනු ලබයි. එවිට සබ්බපාපස්ස... ගාථාව ද කියයි. අදත් වප් මඟුල් උත්සවවලදී මේ සිරිත  දැකගත හැකිය. සමහරු පුවක් අතු දෙකක් මතු වී ඉසිති. තවත් අය කුඩා ප්‍රමාණයේ කරු දෙකක් සිටුවා ඒ මත බෙලි කටු දෙකක් තබා මැද මඩ පුරවා  ඒ මත වී ඇට හලති. මෙයට “ වී වැඩීම” යැයි කියනු ලැබේ. වී වැඩීම සුබ දිනයක කළ පසු තම කුඹුරේ වී වැපිරීමට තවත් නැකැතක් අවශ්‍ය නැත. අමු වැපිරීමට යොදාගෙන ඇත්තේ අඟහරුවාදා දිනයටය. පුර පක්ෂයේ හත්වැනි තිථිය, සිකුරාදා දිනය, කුම්භ ලග්නය සහ මුවසිරස නැකැත, ගුරු හෝ බුධ හෝරාව යොදාගත් සිකුරාදා දිනයද මුං වැපිරීමට යොදාගෙන ඇත. අනුර නැකැත යෙදෙන දිනයන් හි තල වැපිරීමට සුබය. අඟහරුවාදා, සෙනසුරාදා, සදුදා, බදාදා යන දිනයන් සමඟ යෙදෙන සිත, උත්‍රසල, අස්විද, උත්‍රපුටුප, සියාවස හා සයන නැකැත් මුං වැපිරීමට සුබය. සා නැකැත යෙදෙන  අඟහරුවාදා දිනය කුරහන් වැපිරීමට සුබය. මුල නැකැතින්  උපන් අය ධාන්‍ය වැපිරීමට හා රෝපණයට සුබ වෙයි. පොල් වගාවටද අත් ගුණය හා නැකැත බලපානු ලැබේ.

උපුටා ගැනීම මව්බිම