🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මීන ලග්නය හිමි අය නැත කලබල


ජෝතීර් විද්‍යාවේ සිද්ධාන්ත, සංහිතා, හෝරා යනුවෙන්වූ ක්‍රමවේදයන් මනුෂ්‍ය ජීවිතයේ ඉදිරිය ගැන කියවිය හැකි පරිදි සකස්‌වී තිබේ. රාශි වළල්ලේ අවසානය වන්නේ මීනයයි. මීන රාශිය මසුන් දෙදෙනකුගේ ස්‌වරූපයෙන් තරු 12 කින් යුක්‌තයි.

මෙම රාශිය ද්වි ස්‌වභාවයක්‌ ගනී. මේ අනුව මෙම ලග්නයෙන් උපන් අයගේ ස්‌වභාවය ක්‍රම දෙකකට ගොනුකළ හැකිය. ස්‌වාධීනත්වයට රුචිවේ. කලබලයක්‌ නැත. සමාජ කටයුතුවලදී ප්‍රසිද්ධියට කැමැති නැත. ශරීරය ශක්‌තිමත් නැත්තේ සෙම් ගතිය වැඩි නිසාය. සෙම අධික නිසා ශරීර මහත්වීමට පුළුවන. ශරීරය ස්‌ථුල නිසා ශක්‌තිය අඩුවේ.

මීන ලග්නයෙන් උපන් කතුන් ගුණ නැණයෙන් යුක්‌තය. නිහතමානීය. අනුකම්පා සහගතයි. අන් අයට ඔවුන් කරදර නොකරන අතර අන් අයගෙන් ඇතිවන කරදරවලට අත නොගසයි.

මෙම ලග්නයට අධිපති ග්‍රහයා වන්නේ ගුරු නොහොත් බ්‍රහස්‌පතීය. කේන්ද්‍රයේ 10 වැන්න වූ ධනුවටද ගුරු අධිපතිවෙයි. ගුරු සහ සඳු යෝග කාරක ග්‍රහයන් වන අතර මෙම දෙදෙනා ඔබගේ හඳහනේ 05 වැන්නේ (කටක) සිටිවිට ගුණවත් නැණවත්, බලවත් උසස්‌ අයකු ලෙස සමාජයේ පිළිගැනීම සිදුවේ. ලග්නය හා නවාංශකය එකම වී නම් තමාගේ උත්සාහය මතම උසස්‌ තත්ත්වයක්‌, දියුණුවක්‌ ලබයි.

ගුරු ලග්න ගතව සිටීමෙන් එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ පියා ධනවත් අයකු වන්නේය. තමාගේ උපතින් පසු පියා තවදුරටත් ආර්ථිකමය අංශයෙන් හා සමාජමය අතින් උසස්‌ අයකු වෙයි. ලග්නයේ (01) ගුරුත් ශනි 04 ත් සිටිවිට දීර්ඝායුෂ ලැබීමේ භාග්‍ය උදාකරයි. කුජ සමග ගුරුද ලග්නගතව සිටිවිට පාලන බලතල සහිත රැකියාවක්‌ යෙදේ.

ගුරු මේෂ රාශියේ නොහොත් 02 වැන්නේ සිටීමෙන් යහපත් පවුල් ජීවිතයක්‌ ගත කිරීමට පුළුවන. එසේම තමා කථාවටද දක්‍ෂ අයකුවෙයි. කුජ ග්‍රහයා මීන ලග්න හිමියන්ගේ 10 වැන්නේ (ධනු) සිටිවිට කථාවෙන් ජයගනී. ඇතැම්විට කථාව මත රැකියාවක්‌ද කිරීමට ඉඩ තිබේ. දේශපාලන, තෙල් බෙහෙත් වෙළ¹ම, වැනි ජනතාවට කථා කර ඔප්පු කිරීමේ දස්‌කම් කුජ 10 සිටීමෙන් දක්‌වයි. ගුරු සමග සිකුරු 02 සිටීම නිසා සෞඛ්‍ය තත්ත්වයට හිතකර නැත. 02 වැන්නේ ගුරු සමග රවි සිටීම නිසා ප්‍රධානත්වය වෙනුවෙන් සටන් කරයි. බලය රඳවා ගැනීමට උත්සාහ දරයි.

වෘෂභ රාශි නොහොත් 03 වැන්නට ගුරු එතරම් යහපතක්‌ උදා නොකරන අතර විවාහයද ගැටලු සහිතවෙයි. පදිංචිය වෙනස්‌ කිරීමට සිදුවේ. බොහෝවිට අධ්‍යාපන කටයුතු වලදී පවා වරින්වර ස්‌ථාන වෙනස්‌වේ. ඥතීන් ගෙන් දුරස්‌ථවෙයි. එහෙත් ගුරු 03 ත් සිකුරු 01 ත් සිටිවිට ඥතීන් තමන්ට හිතවත්වේ. සඳු 02 ත් ගුරු 03 ත් සිටීමෙන් තමාගේ උපතින් මව-පියා දෙන්නාගේ අතමිට සරුවෙයි. වාසනාව උදාකරයි. රවි ලග්නගතව (01) සිටීම නිසාද පෝසත්, බලවත් අයකු කරයි.

ගුරු මිථුනයේ නොහොත් 04 සිටීමද ඉතා හොඳය. ස්‌ථානගත දියුණුව සිදුවේ. ගේදොර, ඉඩකඩම්, යාන වාහන ලැබීමේ භාග්‍ය උදාකරයි. පියපස හෝ මව්පස දේපළ උරුම වේ. උසස්‌ බුද්ධිමත් අය ආශ්‍රයට ලැබේ. ගුරු 04 ත් බුධ 10 ත් සිටීම දෙව්පියන්ට යහපත උදානොකරයි. කුජ 04 සිටීමද වස්‌තුව ඉඩකඩම්, දේපළ ලැබීමේ වාසනාව උදා කරයි. බුධ 04 වැන්නේ ගුරු සමග යෙදීමේදී ප්‍රවාහන අංශයේ රැකියාවක නියුක්‌තවීමට ඉඩකඩ තිබේ. සඳු 04 ටද අධ්‍යාපන කටයුතු වල ප්‍රගතිය උදාකරයි.

ගුරු කටක රාශිගතව 05 වැන්නේ සිටීමද ඉතා හොඳයි. 05 වැනි ස්‌ථානය ගුරුට උච්චයි. උසස්‌ ඥනවන්ත බුද්ධිමත් අය ආශ්‍රයට ලැබේ. අසරණ නැතිබැරි අයට උදව් උපකාර කිරීමට ඉදිරිපත්වේ. අධ්‍යාපන කටයුතු වලදී සාර්ථක ප්‍රතිඵල ලබයි. විනෝදයට කාලය වැය නොකර පොත් පත් කෙරෙහි සිත් යොමුවේ. ශාස්‌ත්‍රීය අංශයෙන් උසස්‌ පුද්ගලයකු ලෙස සමාජයේ වැජඹී සිටිය හැකිය. ධනය බලය අතින් හීන වුවත් උගත් කමින් ප්‍රවීන වේ. ගුරු 05 වැන්නේ සය සඳු 10 සිටින මීන ලග්න හිමියන් ශාස්‌ත්‍රීය කටයුතු වලින් ඉහළම තැනක්‌ ගනී. කුජ 10 සිටීම පියාට එතරම් යහපත් තත්ත්වයක්‌ උදා නොකරයි. ඉගනීමට බාධක ඇතිවන්නේ ගුරු සමග සිකුරු 05 සිටීමෙනි. රවි 05 යෙදීමද අධ්‍යාපන කටයුතු වලට බාධක ඇතිවේ.

ගුරු සිංහ රාශිගතව (06) වැන්නේ සිටීමද තම ඉදිරි කටයුතු වලට බාධකයකි, සතුරු කරදර ඇතිකරයි. එහෙත් යම් කිසි පාලන ශක්‌තියක්‌ මතුකරයි. කුජ ග්‍රහයාද 06 වැන්නේ සිටීම පාලන කටයුතු වල ප්‍රගතියක්‌ ඇතිකරයි. එහෙත් ගුරු ශුක්‍ර 06 සිටීම ඊට සුදුසු නැත. ගුරු ශනි දෙදෙනා 06 වැන්නේ සිටීමද යහපත් නැත.

ගුරු 07 වැන්නේ සිටීමෙන් ව්‍යාපාර කටයුතූ වලින් ලාභ ලබයි. විවාහය තරමක්‌ ප්‍රමාද විය හැකිය. සහකාරයාට හෝ සහකාරියට අවනතවී කටයුතු කාරණා අවබෝධයෙන් කරයි. ගුරු සිකුරු 07 යෙදීම නිසා විවාහයේ ගැටලු ඇතිකරයි. එහෙත් ගුරු සමග බුධ 07 වීමේදී සහකරු හෝ සහකාරිය ගුණයහපත් වුවත් විවාහයේ ප්‍රශ්න ඇතිකරයි. ප්‍රශ්න එළියට නොදෙයි.

ගුරු තුලාවේ (08) සිටීමෙන් ඉගෙනීමේ කටයුතු වලට බාදක යෙදේ. දෙමාපිය දේපළ නිකරුනේ වියදම් කරයි. කුජ සමග ගුරු 08 සිටීම නිසා තත්ත්වය පිරිහීමට පත්වේ. ගුරු ශුක්‍ර 08 සිටීමද සෞඛ්‍යය තත්ත්වයට බෙහෙවින් බලපානු ලබයි. සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවේ. රවි සමග ගුරු සිටීමද එසේමය. එහෙත් ශනි සමග ගුරු 08 සිටීම නරක නැත. රහස්‌ ක්‍රමවලින් ආදායම් උපයයි.

ගුරු වෘශ්චික රාශියේ නොහොත් 09 වැන්නේ සිටීමද හොඳයි. අධ්‍යාපන කටයුතු වලින් උසස්‌ තත්ත්වයක්‌ හිමිකර ගනී. රසායනික – වෛද්‍ය විද්‍යාව වැනි විෂයන්ට දක්‍ෂතා දක්‌වති. කුජ ග්‍රහයාද ගුරු සමග 09 වී නම් උගත් බුද්ධිමත් අයකු වන්නේය. මීට බුධ ග්‍රහයාද එකතු වී නම් (ගුරුකුජ බුධ) වෛද්‍ය වරයෙකු හෝ විද්වතෙකු හෝ වීමේ භාග්‍ය උදාවේ. ගුරු සමග ශනි 09 වීමෙන් දුරබැහැර විදේශ රටවල පවා ගමන් බිමන් ඇතිවේ.

ගුරු ධනු ට (10) ඉතාමත් ශුභ දායකය. ස්‌වක්‌ක්‍ෂෙත්‍ර බලය පවතී. ගුණ දම් අතින් පෝෂණය වෙයි. ස්‌ව උත්සාහයෙන් දියුණුව උදාකර ගනී. කුජ සමග ගුරු 10 සිටීමද යහපත්ය. ක්‍රියාශීලී උෙද්‍යාaගිමත් බවට පත්කරයි. රැකියාව වශයෙන් ව්‍යාපාර වලට ගුරු 10 සිටීම ශුභ දායකයි. ශනි 10 සිටීමද එසේමය. ගුරු සහ බුධ 10 වීම නිසා ශාස්‌ත්‍රීය අංශයෙන් නිපුණ අයකු වන්නේය. රවි සමග ගුරු 10 වීමද පාලන කටයුතු වලට හොඳයි.

ගුරුට 11 වැන්න නීචයි. (මකර) කාමාශා බලවත්වේ. අනියම් ප්‍රේම සම්බන්ධතා හෝ නන් පැවතුම් නිසා හෝ මත්පැන් වලට වහල් වීම නිසා හෝ මෙම සියලුම කරුණු ඇතිව හෝ ජීවිතය කාලකන්නි කරගනී. එහෙත් ගුරු සමග කුජ 11 වීම නිසා ආදායම් මාර්ග සැකසේ. ගුරු සඳු 11 යෙදීම ද රාගික කටයුතු වලට යොමුවීම වැඩිවේ. රවි සමග ගුරු 11 වීම නිසා ඉඩකඩම් දේපළ ලැබීම හා ඒවායින් ආදායම් ලැබීම සිදුවේ.ගුරු කුම්භ රාශි ගතව සිටීම (12) එතරම් ශුභදායක නැත. තමාගේ වැඩපළ, කාර්යයන් ගැන වෙහෙස මහන්සි නොවී අන්අය ගැන කටයුතු කරයි. කොටින්ම සමාජ සේවා කටයුතු වල නිරතවේ. අනවශ්‍ය ලෙස දුර බැහැර ඇවිදිලි ඇතිවේ. කුජ සමග ගුරු 12 සිටීමද ජීවන් ගමනට බාධාවකි. රැස්‌කරගත් ධනය නිකරුනේ නාස්‌ති කරගනී. ගුරු සමග බුධ 12 සිටීමද එසේමය. සඳු සමග ගුරු 12 සිටීමද අධ්‍යාපන කටයුතු වලට බාධාවකි. සිකුරු සමග ගුරු 12 සිටීම නිසා ශරීර ශක්‌තිය හීන කරයි.

උපුටා ගැනීම දිවයින