🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

අල්ලේ පිහිටන රේඛා හා සලකුනු මගින් හෙළිවන වැදගත් තොරතුරැ..

අත්ල පරීක්‌ෂා කිරීමෙන් හා අත්ලේ පිහිටන රේඛා ලක්‌ෂණ සලකුණ ආදියෙන් කෙනෙකු තුළ බලපවත්නා රෝග ලක්‌ෂණ කලින් දැනගැනීමට හැකිය.  අත්ලක පිහිටන ප්‍රධාන රේඛා, අප්‍රධාන රේඛා වලින් මෙන්ම අල්ලේ පිහිටන තිත, ලප, කැළැල් හා සලකුණු මඟින්ද කෙනෙකුට බලපාන ලෙඩදුක්‌, හදිසි අනතුරු ආදියද කලින් දැනගත හැකිය.ගැහැණු අයගේ නම් දකුණු අතින් තමන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත්, වමතින් අනාගතයේ වෙන දේ පිළිබඳවත් දැක්වෙනවා. පිරිමි අයගේ ඒකේ අනිත් පැත්ත. ඒ කිව්වේ දකුණතින් අනාගතයේ වෙනදේවල් පිළිබඳවත් වමතින් තමුන් උපතින් ගෙන ආ දේවල් පිළිබඳවත් පෙන්වනවා.

අත්ලේ සිනිදු ගතියෙන්ද, ප්‍රධාන රේඛා පැහැදිලිව පිහිටීමෙන්ද සිහින් රේඛාවල අඩුකමින්ද බොහෝවිට කෙනෙකුගේ නිරෝගිකම පැහැදිලි වන බව සාමුද්‍රික ශාස්‌ත්‍රයේ පෙන්වාදී ඇත. නිරෝගි අයෙකුගේ අත්ල සුදු මිශ්‍ර රෝස පැහැයෙන් යුක්‌තවන අතර ඉතා සියුම් උණුසුම් බවක්‌ද පෙන්නුම් කරයි. ප්‍රධාන රේඛාවන් කැපීම්, බිදීම්වලින් යුක්‌ත නොවිය යුතුය. අත්ල හා රේඛා රක්‌ත වර්ණයෙන් දිස්‌වීම, අල්ලේ සම වියළි බවක්‌ පෙන්වීම ගැස්‌ට්‍රයිටීස්‌ වැනි රුධිරය ආශ්‍රිත රෝග වැළඳීමට හේතුවේ. අත්ලේ විහිදෙන පළල් වූ සුදු මැලි රේඛාවලින් ශාරීරික දුර්වලකම් හා පාණ්‌ඩු ගතිය ප්‍රකට කරන අතර කිසියම් අයකුගේ අත්ල සම හා රේඛා කහ පැහැයට හුරුනම් එමඟින් පෙන්නුම් කරන්නේ පිත් අධික රෝග වැළඳීමේ ප්‍රවණතාවක්‌ ඇති බවයි. එය සෙංගමාලය වැනි උණ රෝග වැළදීමටද හේතුවක්‌ විය හැක. විවිධ වර්ණවලින් යුතු අඳුරු පැහැති රේඛාවලින් ආමවාත රෝගවලින් පීඩා විඳීමට හේතුවක්‌ වේ.

දැන් අපි බලමු අල්ලේ පිහිටන රේඛා මොනවාද කියා. අල්ලෙහි පිහිටන සියලුම රේඛා ප්‍රධාන රේඛා සහ අප්‍රධාන රේඛා වශයෙන් කොටස්‌ දෙකකට වෙන් කළ හැකිය. පළමුවෙන්ම දැන් අපේ අත්වල පිහිටි ප්‍රධාන රේඛාවන් මොනවාද කියා බලමු. අපේ අතේ ප්‍රධාන රේඛා හයකි. ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව, හෘදය රේඛාව, දෛව රේඛාව, කීර්ති රේඛාව, හා සුඛ රේඛාව යනුවෙනි. දැන් බලන්න රූප සටහනින් ඒ රේඛා මොනවාද කියා. හැම රේඛාවක්‌ම හඳුනා ගැනීමේ පහසුවට රේඛාවේ මුල් අකුරු සඳහන් කරල ඇති.

අල්ලේ පිහිටන රේඛා හා සලකුනු මගින් හෙළිවන වැදගත් තොරතුරැ..

  • කෙනෙකුගේ ශරීරය තුළ රුධිර සංසරණයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විශේෂයෙන් සටහන් වන රේඛාව හෘදය රේඛාව වෙයි. රුධිර ධාවනයේ යම් කිසි අක්‍රමිකතාවක්‌ ඇතිවූ විට එම මොහොතේම මෙම රේඛාවේ සටහන් වන නිසා සෞඛ්‍ය තත්ත්වය පරීක්‌ෂා කිරීමේදී අත්ලේ අන් රේඛාවලට වඩා හෘදය රේඛාව වැදගත් වෙයි. පෙනහලු හා ස්‌වාසනාලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවද මෙම රේඛාව හෘදය රේඛාව කහ පැහැ ගැන්වී තිබීම හෘදය රෝග හෝ පෙනහලු රෝග ඇති බවට සලකුණකි. අධික දුම්පානය හෝ මත්පැන් පානය කරන අයගේ හෘදය රේඛාව කහ පැහැ ගැන්වී ඇති බව දැකිය හැක. හෘදය ගැඹුරුම අල්ලේ පිහිටා ඇති අය බොහෝවිට රුධිර ධාවන රෝග ස්‌නායු දුර්වලතා ඇතිවීමෙන් අංශභාගය වැනි රෝග පීඩාවන්ට ගොදුරු වෙයි. හෘදය රේඛාවේ කළුපාට තිත් වැටීම හදිසියේම හෘදයාබාධ රෝගයක්‌ වැළඳීමට හේතුවන අතර ඒවා රතු කහ පැහැයකින් යුතු ලප පිත් අධික වීම නිසා ඇතිවන රෝග තත්ත්වයක්‌ පිළිබඳ සලකුණු ලෙස සැලකේ. එමෙන්ම මෙම පිහිටීම් ඇති බොහෝ පුද්ගලයන් දැඩි ලෙස කෝප සහගත වේ.
  • ශීර්ෂ රේඛාවේ  පිහිටි ලප හෝ තිත්වලින්  අනතුරක්‌ පිළිබඳවද හැඟවීමක්‌ කරයි. එහෙත් එම ලප සටහන් කළු පැහැ හෝ කහ පැහැ වී නම් රෝගාබාධ ලක්‌ෂණයකි. යම් හෙයකින් නිල් පැහැයට හුරු තිත් හෝ ලප පිහිටියේ නම් රුධිර රෝග හෝ ස්‌නායු රෝග මතුවීමට පුළුවන. අත්ලේ රේඛාවල පිහිටි දූපත් සටහන්වලින් අසනීපයක සලකුණු පෙන්නුම් කරන අතර නැතිනම් එම සලකුණ මානසික පීඩාවක්‌ ප්‍රකට කරන්නක්‌ වේ ( රේඛාවක්‌ පැලීමෙන් අතු දෙකකට බෙදී නැවත එම අතු රේඛා එක්‌වීමෙන් දූපත් සලකුණු නිර්මාණය වෙයි) කල්ගතවන රෝග පාරම්පාරික රෝග වැනි ව්‍යාධීන් පිළිබඳව දූපත් සටහනකින් හඳුනා ගත හැක. මේ අනුව ශීර්ෂ රේඛාවේ දූපත් සලකුණින් මානසික රෝගාබාධද, ජීවන රේඛාවේ වී නම් ශාරීරික දුබලතාද හෘදය රේඛාවේ නම් හෘදයාබාධද දෛවය රේඛාවේ වී නම් දෛවය වෙනස්‌ කරන තරමේ බලවත් රෝගද රවි රේඛාවේ නම් චර්ම රෝග, මානසික රෝග, අපකීර්තිය, රාජ්‍ය දඬුවම්, තනතුරුවලින් පහවීම් ආදී අසුබ සිදුවීම්ද සුබ රේඛාවේ නම් අනිවාර්යෙන්ම රෝග පීඩාද හෙළි කරයි.
  • ජීවන රේඛාවේ පිහිටි ලප හෝ තිත්වලින්ද රෝගාබාධ හෝ කිසියම් ඥතිවරයෙකුගේ වෙන්වීමක්‌ පෙන්නුම් කරයි. ජීවන රේඛාව චන්ද්‍ර මණ්‌ඩලයෙන් කෙළවර වන්නේ නම් ගර්භාෂ ගත රෝග හා මුත්‍රා රෝග ආදිය ප්‍රකට කරයි. එමෙන්ම චන්ද්‍ර මණ්‌ඩලයේ කවාකාර සලකුණක්‌ පිහිටියේ නම් ජලයෙන් සිදුවෙන අනතුරක්‌ හෙළි කරයි. ජීවන රේඛාව දම්වැල් ආකාර ලක්‌ෂණයෙන් යුතු වීම ස්‌නායු දුර්වලතාවන් හෝ මානසික පීඩාවන් පෙන්නුම් කෙරේ. ජීවන රේඛාව කරු ලක්‌ෂණයකින් අවසන් වීම සිරුරේ දුබලතා හා ඌෂ්ණ රෝග පිළිබඳව දැනුවත් කරයි.
  • ශනි රේඛාව හෙවත් දෛව රේඛාව  අත්ලේ මුල වූ මැණික්‌ කටුව ප්‍රදේශයට සමීපව ආරම්භ වන දෛව රේඛාව අල්ල හරහා ඇඟිලි දෙසට විහිදී ගොස්‌ මැදඟිල්ලේ මුල පිහිටි ශනි මණ්‌ඩලය වෙතට යොමු වෙයි. අත්ලේ පිහිටි ප්‍රධාන රේඛා අතරින් මෙය සුවිශේෂ රේඛාවක්‌ ලෙස සැලකෙයි. බොහෝ විට මෙම රේඛාව මැණික්‌ කටුව ප්‍රදේශයේ සිට ඝෘජුව විහිද යන අතර අත්ල හිමියාගේ දෛවය පිළිබඳ ශුභ අශුභ, ධන සම්පත්, දියුණුව, බාධක ආදී බොහෝ දේ මෙම රේඛාවෙන් අනාවරණය වෙයි.
  • කීර්ති රේඛාව හෙවත් රවි රේඛාව අල්ල මැදින් ආරම්භ වී වෙදඟිල්ලේ මුල පිහිටි රවි මණ්‌ඩලය කරා විහිද යයි. ඇතැමෙක්‌ මෙය ධන රේඛාව ලෙසද හඳුන්වයි. අත්ල හිමියාගේ කලාත්මක භාවය, කීර්තිය, අධ්‍යාපනය, ගෞරවය, ජයග්‍රහණ, ආකර්ෂණ, ගුප්තමය දැනුම, ධෛර්ය යන ගුණාංග මෙයින් ප්‍රකට කරයි. දෛව රේඛාවෙන් දැක්‌වෙන දියුණුව ප්‍රබල තත්ත්වයට පත් කිරීමේ සුවිශේෂ බලයක්‌ මෙම රේඛාවට ඇතැයි සාමුද්‍රික ශාස්‌ත්‍රඥයෝ සඳහන් කරති.
  • අත්ලේ රේඛාවන් අතරින් විශේෂයෙන් සෞඛ්‍ය පිළිබඳව සටහන් වෙන විශේෂ රේඛාව සුඛ රේඛාව නමින් හඳුන්වනු ලබයි. මෙම රේඛාව ප්‍රධාන වශයෙන් චන්ද්‍ර මණ්‌ඩලයෙන් ආරම්භ වී බුධ මණ්‌ඩලයෙන් (සුලගිල්ල මුල) අවසන් වෙයි. මෙය බොහෝ දෙනකුගේ අත්වල නොපිහිටයි. එම රේඛාව තිබේ නම් පැහැදිලිව තිබිය යුතුය. එම රේඛාව නැතිවුවද ප්‍රශ්නයක්‌ නොවේ. එම රේඛාව විකෘති වීම්, කැඩීම්, බිඳීම් දඟරාකාර වීම් වැනි සලකුණුවලින් අයහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ පැහැදිලිවම ප්‍රකට වේ. එම අසුබ ලකුණුවලින් තොර සුඛ රේඛාවලින් යහපත් සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම කෙනෙකුගේ ආර්ථක දියුණුවද පෙන්නුම් කරයි. මෙම රේඛාව කහ පැහැ ගැන්වීමෙන් අක්‌ෂි රෝගද එය කැබලි ආකාරයෙන් පිහිටා ඇතිනම් ජීර්ණාබාධ, උදරාබාධද, දූපත් සටහන් ආදිය පිහිටීමෙන් මුත්‍රා රෝග හා වකුගඩු රෝගද ඇතිවන බව පෙන්නුම් කෙරේ. මෙම රේඛාව පටුව සිහින්ව ගැඹුරුව විහිද යැම ශරීර සනීපයට යහපත් වන අතර එය පළල්ව විෂමව විහිදීම හුදෙක්‌ම රෝග පීඩාවන්ට හේතුවේ. සුඛ රේඛාව ගැඹුරට විහිද ගොස්‌ උඩුකුරුව අතු විහිදී යැම නිරෝගිභාවයට හා ධන ලාභවලටද හේතුවක්‌ වේ.