🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

හොඳම සෙවීම තමා ගැන සෙවීමයි



අත්තනා චෝදයත්තානං
පටිමාසේ අත්තමත්තනා
සෝ අත්තගුත්තෝ සතිමා
සුඛං භික්‌ඛු විහාහිසි

( තමා විසින්ම තමාගේ දොස්‌ සොයා චෝදනා කළ යුතුය. තමා විසින්ම තමා විමසා බැලිය යුතුය. එසේ තමා රැකගත් සිහි ඇති භික්‌ෂු තෙම සැපසේ වසන්නේය ) - (ධම්මපදය - භික්‌ඛු වර්ගය)

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුන් ගැන සොයනවාට වඩා තමන් ගැන සෙවීම අතිශයින් වැදගත් බවයි. ප්‍රථම රහත් හැට නම අමතා උන්වහන්සේලා ධර්ම චාරිකාවේ යොමු කොට තමා ද ධර්ම චාරිකාවේ වැඩම කළ අවස්‌ථාවේ දී උරුවෙල් දනව්වේ සිටි භද්දවග්ගිය කුමාරවරුන් මුණගැසුණු විට ඔවුන් සමග ඇති වූ සාකච්ඡාවේ දී බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ මෙකී කරුණුයි. අප ජීවත් වන කාලසීමාව තුළ බොහෝ සෙයින් තමාට වඩා අනිකා ගැන සෙවීමට මහන්සි ගැනීම සාමාන්‍ය මනුෂ්‍ය ගුණාංගයක්‌. එනමුදු තමා ගැන නොසොයා, අනිකා ගැන සෙවීමෙන් තමාට පමණක්‌ නොව අනෙකාට ද සිදුවන යහපතක්‌ නැත.

බොහෝ වෙලාවට අප අනෙකා ගැන සිතන්නේ අනෙකාගේ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා උපදෙස්‌ ලබාදීම වෙනුවට, අනෙකාගේ ජීවිතයේ පවතින දුබලතා පෙන්වා දී ඔහුව අපහසුතාවට පත් කිරීමේ අරමුණින්. එනිසා වර්තමානය වන විට සමාජයේ බොහෝ සෙයින් අඬදබරවලට ලක්‌ වන අවස්‌ථා සොයා ගැනීම පහසු නොවේ. එසේ නමුත් බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ අනුන් ගැන සෙවීම පසෙකලා තමන් ගැන සෙවීම අතිශයින් වැදගත් වන බවයි. ඉහතින් පෙන්වා දුන් ධම්මපද ගාථාවෙන් මේ බව මනා කොට හඳුනාගත හැකිය. අනුන් ගැන සෙවීමකින් තොරව, තමාගේ ඇති වැරදි දෙස බලා, ඒ වැරදි නිවැරදි කර ගන්නා තැනැත්තා නො එසේ නම් භික්‌ෂුන් වහන්සේ සැපසේ ජීවත් වන බවයි, එහිදී පෙන්වා දෙන්නේ.

මෙම කාරණාවේදී අවධානය යොමු කළ යුතු අංශ දෙකක්‌ ඇත. එනම් කායික පැතිකඩ සහ මානසික පැතිකඩයි. කායික පැතිකඩේ දී බොහෝ වෙලාවට අප නිරන්තරයෙන්ම අපේ තිබෙන ලෙඩ-රෝග පිළිබඳ ඉතාමත් සුපරික්‌ෂාකාරිව කටයුතු කරන බව පැහැදිලියි. අසනීපයක්‌ හැදුණු අවස්‌ථාවක දී වෛද්‍යවරයකු හමුවට ගොස්‌ පරීක්‌ෂා කොට ඖෂධ ලබාගැනීම සහ වැළඳී තිබෙන රෝගයෙන් හැකි ඉක්‌මනින් නිරෝගි සුව අපේක්‌ෂා කිරීම මනුෂ්‍යයාගේ සාමාන්‍ය ස්‌වභාවයක්‌. ළමා කාලයේ දී පමණක්‌ නොව, තරුණ වයසේ දී, මහළු වයසේ දී, අප සැමදෙනාම වෛද්‍යවරුන්ගේ පිහිට අපේක්‌ෂා කරන්නේ අපට වැළඳෙන රෝගයන්ගෙන් මිදීම සඳහා ය. ලොව ජීවත් වන සියලු දෙනාම නිරෝගීව ජීවත්වීමට කැමැති බව බුදුන් වහන්සේ, ආරෝග්‍ය පරමාලාභා යනුවෙන් පෙන්වාදී තිබේ. එය සාවද්‍ය කරුණක්‌ නොවේ. අප ජීවත්වන කාලසීමාවේදී අපේ සිත් විපිලිසර වන්නේ නම් ඒ සඳහා හේතුකාරක වන වැදගත්ම කරුණක්‌ ලෙස රෝග පීඩාදියට ලක්‌වීම හඳුනාගත හැකියි. දෙමාපියන් තම දරුවන් කෙරෙහි පවතින සෙනෙහස්‌ ළබැඳියාව නිසා තමාට වඩා කිහිප ගුණයකින්ම දරුවන් ගැන සෙවීමට වෙහෙස ගන්නා බව නොරහසකි. එසේම වැඩිහිටියන් තමන්ගේ ජීවිතයට එල්ලවන නොයෙකුත් රෝගී අවස්‌ථාවන්වලින් මිදීම පිණිස කායික පරීක්‌ෂාවක්‌ විශේෂයෙන්ම ලේ පරීක්‌ෂාව, මුත්‍ර පරීක්‌ෂාව ආදි දෑ මගින් වෛද්‍ය උපදෙස්‌ ප්‍රාර්ථනා කරන බව අදත් පැහැදිලිව පෙනේ. කායික රෝගවලට වඩා මානසික රෝග නිසයි අප බොහෝ දෙනෙකු අපහසුතාවට පත් වන්නේ. විශේෂයෙන්ම මෙහි දී මානසික රෝග වශයෙන් පෙන්වා දීමට අපේක්‌ෂා කරනන්නේ අපේ සිත්වල නිතැතින්ම පහළ වන යම් යම් මානසික හැඟීම්, මානසික ව්‍යාධීන් රාශියක්‌. එහිදී ක්‍රෝධය, වෛරය, පළිගැනීම, ඊර්ෂ්‍යාව, මානය ආදී සංකල්ප නොඑසේ නම් රෝග අප සිත්වලට ඇතුළු වූ වහාම අප රෝගී වන බව හඳුනාගත හැකි ය. මෙවැනි සංකල්ප පහළ වූ විට තමා කරන්නේ මොනවාද, තමා කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳ නිසි වැටහීමක්‌ ඇති නොවී වැරදි මතවාද නිසා තමා අනෙකා අපහසුතාවට පත්වන බව හඳුනාගත හැකියි. මේ නිසා තමාට පමණක්‌ නොව අනෙකාට ද සිදුවන්නේ අනර්ථයක්‌ බව සුපැහැදිලි ය. මේ ආකාරයට මානසික ව්‍යාධීන් නිසා තම ජීවිතවලින් වන්දි ගෙවූ පිරිස්‌ අතීතයේ පමණක්‌ නොව වර්තමානයේ ද හමුවේ. එක්‌තරා කතා පුවතක්‌ ඔබ අසා ඇත. එනම් ක්‌ෂණික කෝපය නිසා තමාගේ පුතණුවන් නාගයකුගෙන් ගලවාගත් මුගටියා මරණයට පත් කළ කතාවයි.

එක්‌තරා නිවසක මුගටි පැටියෙක්‌ හදාගන්නවා සුරතල් සතෙක්‌ විදිහට. මේ නිවසේ බමුණා දිනක්‌ ගමනක්‌ ගොස්‌ නැවත එන වෙලාවේ මුගටියා ලේ සහිත කටින් යුතුව මේ බමුණා ඉදිරියට යනවා. බමුණා හිතුවෙ 'තමාගේ ළදරු පුතණුවන් මේ මුගටියා විසින් කා දමන ලද්දේ ය' යනුවෙන්. එසේ සිතා ක්‍රෝධයෙන් යුතුව, ක්‌ෂණික කෝපයෙන් යුතුව, අතට හසුවූ පොල්ලකින් මුගටියාට පහර දී ඔහු ඝාතනය කරනවා. නිවසට ගොස්‌ බැලීමේ දී ඔහුට දැක ගැනීමට හැකි වූයේ තම සිඟිති දරුවාගේ අසල මැරී සිටි නාගයෙක්‌. තමන් නිරපරාදේ මුගටියා මැරුයේ යෑයි පසුව පශ්චාත්තාපයට මේ බමුණා පත්වුණා.

අධික කෝපය, ක්‌ෂණික කෝපය වගේම ඊර්ෂ්‍යාව, වෛරය වැනි හැඟීම් අතිශයින් භයංකරයි. පලිගැනීමේ ෙච්තනාව මූලික ස්‌ථානයෙන් ලැබුණු විට අප කරන කියන දේ පිළිබඳ අපට නිසි වැටහීමක්‌ නැතිව යනවා. මේ සඳහා සුදුසුම කතාව කාලි යක්‌ෂණියගේ කතාව බව අතිශයින් පැහැදිලියි. එක්‌තරා කුල ගෙයකට තම පුතණුවන්ගේ අකැමැත්ත මත මෑණියන් එක්‌තරා තරුණියක මේ පුතණුවන්ට විවාහ කර දෙනවා. නමුත් එම තරුණිය වඳ කාන්තාවක්‌ නිසා දෙවැනි කාන්තාවක්‌ මේ නිවසට ගෙන්වාගත්තා. කල්යාමේ දී මේ දෙවැනි බිරිඳට දරු සම්පත උදාවන අතර මේ ගැන කල්පනා කරන පළමු වඳ ස්‌ත්‍රිය ඇයගේ දරු ගැබ අවස්‌ථා කිහිපයක දී විනාශ කර අවසානයේ දී දරු ගැබ පමණක්‌ නොව තමා ද මරණය අබියස සිටි විට, මේ දෙවැනි තරුණිය සඳහන් කරන්නේ, ද්වේශයෙන් යුක්‌තව කියා සිටින්නේ තමාගේ දරුවන් සහ තමා විෂ සහිත ආහාර දී මැරුවේ යම්සේ ද ඒ අයුරින් තමා ද මතු මතු ආත්ම භාවවල දී පළිගන්නා බවයි. මේ ආකාරයට ආත්ම ගණනාවක දී මේ දෙදෙනාගේ ජන්මාන්තර වෛරය පැවතුණා. කාලි යක්‌ෂණියගේ කථාව වශයෙන් අප හඳුනාගන්නේ ඒ කතා පුවත.

ඊර්ෂ්‍යාවත් එවැනිම අතිශයින් භයංකර හැඟීමක්‌. අප බොහෝ වෙලාවට අපට නොලැබෙන දේ අනෙකාට ලැබෙන නිසා ඔහු කෙරෙහි හෝ ඇය කෙරෙහි ඊර්ෂාවෙන් යුතු වෙනවා. එය සාමාන්‍ය මනුෂ්‍ය ස්‌වභාවයක්‌. පෘථග්ජන සිතෙහි පහළ වන අකුසල චෛතසිකයක්‌ නිසාම ඊර්ෂ්‍යාව යන සංකල්පයෙන් අප මිදීමට කටයුතු කළ යුතුයි. බොහෝ සෙයින්ම අපට ඇති වන විවිධ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න, ඒවගේම මානව පවුලේ ප්‍රශ්න, මේ සැම කෙරෙහිම බෙහෙවින්ම බලපාන්නේ අපත් අනෙකා සංසන්දනාත්මකව තුලනය කිරීම නිසා. මේ නිසාම කෙනකුගේ සිතෙහි ඉරිසියාව නිතැතින්ම පහළ වන්නේ. ඊර්ෂ්‍යාවෙන් තොර වූ අයෙකු සොයාගැනීම ඉතා අපහසුයි. තමන්ගේ සහෝදරයන් කෙරෙහි, තමන්ගේ ළඟම මිතුරන් කෙරෙහි, තමන්ගේ අවට සිටින අනෙකා කෙරෙහි ඇති කරගන්නා වූ මෙම අකුසල් සිතිවිල්ල නිසා දූෂණයට පත් වන්නේ තමාගේම සිත බව තමන් මනාකොට සිතේ තබා ගත යුතුයි. එසේ වූ විට අපිට ඉතාමත්ම හොඳින් දිවිගෙවීම අසීරු වන්නේ නැහැ.ඒ වගේම තවත් මානසික ව්‍යාධියක්‌ වශයෙන් හඳුනාගන්න පුළුවන් සංකල්පයක්‌ වන්නේ ලෝභකමයි. ලෝභකම යනුවෙන් පෙන්වා දෙන්නේ අධික ලෝභය, මසුරුකම වැනි සංකල්ප. ලෝභය නිසා තමා දැඩි විවේචනයට, අපකීර්තියට, දෝෂ දර්ශනයට ලක්‌ වුණ බව පැහැදිලිව හඳුනාගත් හැකියි. මේ සඳහා අපට හඳුනාගත හැකි සුවිශේෂ කතා ප්‍රවෘත්තියක්‌ ලෙස මට්‌ටකුණ්‌ඩලී කතා පුවත සහ මච්ඡරිය කෝසිය කතා පුවත වැදගත්ය. මේ කතා පුවත් දෙක මගින්ම පැහැදිලි වන්නේ දැඩි ලෝභයෙන්, මසුරුකමින් කටයුතු කිරීම නිසා තමාට අහිමි වූ මානව ජීවිත පිළිබඳවයි. කෙසේ නමුත් අපගේ ජීවිත කාලය තුළ ලෝභය වැනි සංකල්පයන්ගෙන් ඉවත් වීමට කටයුතු කළ යුතුයි.

ලෝභයට අමතරව මානයත් අතිශය භයංකර හැඟීමක්‌ බව පැහැදිලියි. එය හරියට ශරීරයට සෙම්ප්‍රතිශ්‍යාව වගෙයි. සෙම්ප්‍රතිශ්‍යාව බොහෝ වෙලාවට හැදෙන අවස්‌ථා කිහිපයක්‌ තියෙනවා. වැඩිපුර ස්‌නානය කළ විට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා. දූවිලි පොඩ්ඩක්‌ ශරීරයේ ස්‌පර්ශ වූ විට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙනවා. මේ ආකාරයට මානයත් යම් යම් සංකල්ප මුල්කරගෙන අපේ සිතෙහි පහළ වන අකුසල් චෛතසිකයක්‌. බොහෝ වෙලාවට අප, අප සමීපයේ සිටින අනෙකා සමග සංසන්දනය කිරීමට කටයුතු කරනවා. ධනයෙන්, කුලයෙන්, ගෝත්‍රයෙන් තමා අනෙකා හා සංසන්දනය කරමින් කටයුතු කරන පිරිසක්‌ අතීතයේ පමණක්‌ නොව වර්තමානයේ ද සොයාගැනීම අපහසු වන්නක්‌ නොවේ. එවැනි අවස්‌ථාවල දී බුදුන්වහන්සේ ත්‍රිවිධ මානය වශයෙන් එය පෙන්වා දී තියෙනවා. සෙයHමාන, සදිසමාන, හීනමාන යනුවෙන් පෙන්වා දී ඇත්තේ එකී කාරණාවයි. තමාට වඩා අනෙකා උසස්‌ තත්ත්වයෙන් සැලකීමත්, තමා සමග සමාන තත්ත්වයේ ලා සැලකීමත්, තමාට වඩා අනෙකා පහත් කොට දැකීමත්. ඒ වගේම තමන් අනෙකාට වඩා උසස්‌ යෑයි සිතීමත් අනෙකා හා සම මට්‌ටමෙන් සිතීමත් අනෙකා හා පහත් මට්‌ටමෙන් සිතීමත් යන හැඟීම් නිසා අපගේ සිතෙහි නිරන්තරයෙන්ම මානයෙන් යුතු හැඟීම් පහළ වෙනවා. එහි දී හීනමානයෙන් යුක්‌ත වීම නිසා බොහෝ වේලාවට පුද්ගලයා පිරිහෙන බව හඳුනාගත හැකියි.

මේ කරුණු අනුව පැහැදිලි වන වැදගත් සංකල්පයක්‌ වන්නේ අප ජීවත් වන කාල සීමාව තුළ දී අනෙකා පිළිබඳ හා අනෙකා හා තමා පිළිබඳ සැසඳීමේ දී ඇති කර ගන්නා යම් යම් තීන්දු තීරණ නිසා අනෙකා මෙන්ම තමා ද විනාශයට පරිහානියට පත්වන බවයි. මේ ලබාගත් උතුම් මනුෂ්‍ය ආත්ම භාවයේ දී බෙහෙවින්ම කායික වශයෙන් පමණක්‌ නොව මානසික වශයෙන් ද අප අනෙකා හා තුලනය කිරීමට වඩා, අප අප ගැනම සිතා ක්‍රියා කළ යුතු කාලය එළඹ ඇති බව වටහා ගත යුතුය. විශේෂයෙන්ම ලෝභය, ඊර්ෂ්‍යාව, මානය, ක්‍රෝධය වැනි හැඟීම් නිසා අපේ සිත් දූෂිත වනවා පමණක්‌ නොව, ඒ දූෂිත සිතින් කරන කියන දෑ නිසා තමාටත් තමා ගේ මානව පවුලේ අනෙකාටත්, ඒ වගේම සමස්‌ත සමාජයටත් අහිත පිණිස හේතු වන බව අප මනාකොට අවබෝධ කරගත යුතුයි. ඒ නිසා මේ ගත කරන කාල සීමාව තුළ තමාගේ සිදුවන කායික, මානසික, වාචසික වැරදි හැකි තරමින් ඉවත හෙළා කායිකව, මානසිකව, වාචසිකව යහපතෙහි යෙදවීම, එසේත් නැතිනම් එකී තිදොරින් සංවරශීලීව කටයුතු කොට තමාගේ ජීවිතය, තමාගේ මානව පවුලේ අනිකාගේ ජීවිත, සමාජීය ජීවිත කෙරෙහි කටයුතු පූර්ණය කරගැනීමට අප සැමදෙනාම වෙහෙස ගත යුතුය. 'අනිකා ගැන සොයනවාට වඩා තමා ගැනම සෙවීම් අතිශයින්ම වැදගත් වේ' යන සංකල්පයේ පිහිටා ඔබත් කටයුතු කරන්න.

ඔබට තෙරුවන් සරණයි!
රාජකීය පණ්‌ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි