🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දුගඳට කැමැති මළ ප්‍රෙතයෝ

දුගඳට කැමැති මළ ප්‍රෙතයෝ

"ඒ ගෑනිට මළ පෙරේතයෙක් වැහිලා." "අර මිනිහා මැරිලා මළ පෙරේතයෙක් වෙලා ඉපදිලා ඇති. ඒකයි ගෙදරට වගතුවක් නැත්තේ...." මෙවැනි කතා බහ අපට නොයෙක් විට ඇසේ. ප්‍රේතයන් - මළ ප්‍රේතයන් වන්නේ කෙසේද? පව්කම්-මසුරුකම් කළ මිනිසුන්, ගැහැනුන් මළ පෙරේතයන් ලෙස උත්පත්තිය ලබන බව අපට විශ්වාස කළ හැකියි. ප්‍රේත බන්ධනවලට හසුවූ පුද්ගලයන් පිළිබඳව විවිධ කතා ඇසෙයි. ප්‍රේතයන් අල්ලා නූලකින් බැඳ බෝතල්වල දමා වැව්, ගංගා, මුහුදු පතුලේ සිරගත කරන යකැදුරන් පිළිබඳවද තොරතුරු ඇසෙයි. නූලක ගැටගසා සිරගත කළ බන්ධනය කළ ප්‍රේතයා බෝතලය තුළ සිරකර ඇති විට බෝතලයේ නූල චලනය වීම ප්‍රේතයා එහි සිටින බවට සංකේතයකි. නිවාස, භූමි තුළ සහ ඇතැම් පාළු ස්ථාන අප්‍රියජනක දුගඳුන් යුක්තය. අල වර්ගයන්හි දුගඳ - මල මුත්‍රා හා අනෙකුත් අපවිත්‍ර ද්‍රව්‍යයන්හි දුගඳ එවන් ස්ථානයන්හිදී වහනය වෙයි. ඇතැම් නිවාසයන්හි බත් පතට වැලි දමන, බඩු භාණ්ඩ කඩන, බිඳින ප්‍රේත පිරිස් ගැනද සඳහන්ය. ප්‍රේතයනට වඩා භූත කොටස් බලවත්ය. ප්‍රේතයන් පිළිබඳව විමසීමේදී වර්තමාන සමාජය තුළ එතරම් පිළිගැනීමක්, විශ්වාසයක් නැත. ආහාර අප්‍රිය වීම, දුගඳබව දැනීම, නිතර කෙළ ඉනීම ප්‍රේත දෝෂයන්ය. හුදෙකලා වීම, වැරහැලි ඇඳීම, අපවිත්‍ර බව මෙන්ම හැඩීම, වැලපීම, සිනාසීමද ප්‍රේත දෝස ලෙස සැලකෙයි. ප්‍රේතයන් පිළිබඳව විමසීමේදී එය බුදු දහමටද අනුගතය. සූත්‍ර පිටකයේ පේතවන්ථු පාලියේ ප්‍රේතයන් පිළිබඳව බොහෝ කරුණු ගෙනඑයි. ශාරිපුත්‍ර ස්ථවිර මාතෘ දේව වස්තුවේ සඳහන් පරිදි ආත්ම ගණනාවකට පෙර සැරියුත් හිමියන්ට මවක් වූ ප්‍රේතියක් සැරියුත් හිමියන් හට දර්ශනය විය. දුක්ඛිත ශරීරයකින් නිරාහාරව පීඩා විඳි ඇය සැරියුත් හිමියන් ඇමතුයේ මාතෘ සෙනෙහස පාමිනි. ඇගේ දුක්ඛිත ආත්මයෙන් ඇය මුදා ගන්නා ලෙස ඇය කළ ආයාචනය අනුව සැරියුත් හිමියන් ඇගේ පෙර භාවයන් පිළිබඳව විමසිලිමත් විය. පෙර කල දන්, පින් නොදුන් එයට බාධා කළ ඇය ඇගේ මසුරු ජීවිතය තුළ කුසල් නොකිරීම මෙලෙස ප්‍රේත ආත්මභාවයක් ලැබීමට හේතුවක් වී ඇත. පෙර අකුසල් පිළිබඳව තැවෙන ඇය තමන් වෙනුවන් දන් දී පින් අනුමෝදන් කරවන ලෙස සැරියුත් හිමියන්ගෙන් ඉල්ලා සිටියාය. ඇගේ ඉල්ලීම මලඵල ගැන්විණි. පිණ්ඩපාතයෙන් ලද ආහාර සැරියුත් හිමියන් අනුරුද්ධ-මුගලන්-කප්පිත යන තෙරුන් වහන්සේට පූජා කොට ප්‍රේතියට පින් අනුමෝදන් කිරීමෙන් ඇය ප්‍රේත ආත්මයෙන් මුදා ගැනීමට සැරියුත් හිමියන් හට හැකිවිය. මේ අනුව ප්‍රේතයන් හට දර්ශනය වීම මිනිසුන් හට පීඩා පැමිණවීම ශරීරයනට ඇතුළු වීමට ආදියද කළ හැකිය.

පරදාර සේවනයෙන්, ගබ්සාවෙන්, මසුරු දුෂ්ටකමෙන් ජීවත් වූවන් මරණින් පසු දුගතියට පත්වූ අයුරු පේතවත්ථු පාලියෙහි ද නොයෙකුත් බුද්ධ දේශනාවන්හිදීද සඳහන්ය. නිවාස-දේපොළ-වස්තුව සහ අඹුදරුවන්ට ඇල්මෙන් පින්කම් නොකොට තණ්හාවෙන් මියගිය උදවිය නිසැකවම ප්‍රේතලොව ප්‍රතිසන්ධිස්ථානයක් ලබති. ඇතැමුන් බල්ලන්, බළලුන් වැනි තිරිසන් සතුන් ලෙසද උත්පත්තිය ලබා පෙර භවයේ තම නිවෙසෙහිම දිවි ගෙවන්නේය. ඒ සියල්ලම බුදු දහමට අනුගතය. ප්‍රේතයන් පහදවා ගැනීමෙන් ශාස්ත්‍ර කියන්නෝද සිටිති. ඔවුනට එම ශාස්ත්‍ර නිවැරැදිව කිව හැක්කේ තමනට හිතවත් ප්‍රේත-භූත කොටස් තමන් හා හිතවත්ව සිටින කාලය තෙක් පමණකි. සැබැවින්ම ප්‍රේතයන් අහිසංකය. සංවේදීය. ඔවුන් දරුණු කරන්නේ මිනිසුන්මය. ඔවුනට ඇත්තේ අසමතුලිත වූ ශරීරයකි. එය වෙනස් කළ හැකිය. මවාගත හැකිය. එම ශරීරයන් විනිවිද යන සුලුය. එහෙයින් ඔවුන් නූලක ගැටයකට අල්ලා බෝතලයක දමා සිරගත කළ හැකිදැයි බුද්ධිමත්ව විමසා බැලිය යුතුවෙයි. විනිවිද යා හැකි බලයක්-ශරීරයක් ඇත්තන් හට කවරනම් ඝන වස්තුවක් හරහා වුවද ගමන් කළ හැකිය. එසේ නම් ප්‍රේත කොටස් බැඳීමෙන්, සිරකිරීමෙන් සිරකළ හැකිදැයි ඔබම සිතන්න. අසරණ අහිංසක ප්‍රේත කොටස් හිංසාවට පත් නොකොට ඔවුන් එම ආත්ම භවයන්ගෙන් මුදා හැරීම ඉතා යහපත්ය.

ප්‍රේතයන් වීදුරුවක් තුළට ගෙන්වා ප්‍රශ්න විචාරීම බටහිර රටවල් අතර ප්‍රචලිතය. එය අපටද අරුමයක් නොවේ. නව දෙනකු එකඟ සිතෙන් වටවී තමන් ඉදිරිපිට මේසය මත වීදුරවුකට දුම් අල්ලා ප්‍රේත-භූත ආත්මයකට ඇමැතීම මෙම පහසු ක්‍රමවේදයයි. ජන්මියකුගේ කේන්ද්‍ර සටහනේ හතරවැන්න නිවෙස පිළිබඳව පවසයි. එහි යම් ග්‍රහ පිහිටීම් මත යහපත් අයහපත් නොපෙනෙන බලවේගයන්ගේ බලපෑම පැමිණෙයි. සියල්ල නිවැරැදිව හඳුනාගැනීම යහපතට හේතුවකි. විශ්වය තුළ අප නොදන්නා බොහෝ දේ රහස් නොවෙන්නේය. එහි ඇත්තේ පියවි ඇසින් දැකිය නොහැකි බව පමණකි. ප්‍රේතයන් කුපිත කරවා ගැනීමෙන් අනිටු බලපෑම් ඇතිවෙයි. ඔවුන් හඳුනාගෙන යහපත් වූ චේතනාවෙන් ඔවුනට පින් අනුමෝදන් කරවීම ඔවුන් පීඩාකාරී ආත්මයෙන් මුදා ගැනීමකි. දුකින් මිදී සුගතගාමී වූ ප්‍රේතයන් තමනට පින් වැඩූ නෑසියන් වෙනුවෙන් කෘතවේදී වූ අවස්ථාවන් ද නැත්තේ නොවේ. ප්‍රේතයන් වෙනුවෙන් පින් පැමිණවිය යුත්තේ ඔවුන්ගෙන් ප්‍රතිඋපකාර පතා නොවිය යුතුය. ඔවුන් දුකින් මුදා ගැනීම මිනිසුන් වූ අප හට මහත් කුසල් අත්වීමකි. අපට අයහපත් වන ප්‍රේතයන් පලවාහරින පහසු ක්‍රමවේදයක් ඇත. කේන්ද්‍ර සටහනට අනුගතව තමන් හට එම බලපෑම් බලවත් වන දිනයේ තම නිවෙසේ දානමය ආහාරයක් සැකසිය යුතුය. එය එළවළු වර්ග දෙකක් හා පුළුටු හෝ පිළී මිශ්‍ර ආහාරයක් විය යුතුය. එම බත් සහ මාළු පිණි නිවෙසේ විසිත්ත කාමරයේ බිම ඇතිරූ නෙලුම් කොළ මත භාජනවල ඉතිරි නොවන ලෙස බෙදා ඇසුරුම් කිරීම උවදුරුවලින් පීඩා වූ තැනැත්තාගේ කාර්යයකි. දුගී-මගී යාචකයන් වෙනුවෙන් දැන්දීමට එය ගෙන යා යුත්තේ නිවෙසේ පසුපස ‍ෙදාරටුවෙන්ය. එදින සවස විහාරස්ථානයක බෝධියක් අබියස පහන් දල්වා මළගිය ඥාතීන්ට සහ සියලු ප්‍රේත භූත කොටස්වලට පින් පමුණුවා එදින උදෑසන කළ කුසල් බලයෙන් ඔවුන්ට සුගතගාමී ආත්මයක් පැතීම නිවැරැදිය. දහස් ගණනින් මුදල් වැයකරමින් ඇතැම් විට නිෂ්ඵල වන ප්‍රේතයන් බැඳීම නොකළ යුත්තකි. පියවි ඇසින් දැකිය හැකි - නොහැකි අයහපත් බලවේගයන් යහපත් කිරීමට ඒ සඳහා අනුගත වන මිනිසා යහපත් විය යුතුය. ප්‍රේතයන් වෙනුවෙන් අපගේ ධාර්මික වූ යහපත් වීම එහි ප්‍රතිඵලය වූ ධාර්මික යහපතම වෙයි.

උපුටා ගැනීම මව්බිම පුවත්පත