🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

50 දශකයේ ගම්පහින් මතුවුණු අමුතු නිකාය

පනහ දශකය මෙරට වැදගත් දේවල් රාශියක් සිදුවූ කාලසීමාවකි. නවරත්න සාමි පෝක් සමුද්‍ර සන්ධිය පිහිනා එගොඩ වී වාර්තාවක් තැබීම ඒ අතරින් එක් ඓතිහාසික සිදුවීමකි. පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වූයේද පනස්පහේ වසරේය. සම්පූර්ණයෙන්ම අප රටට දර්ශනය වූ එම අවස්ථාව නිරීක්‍ෂණය කිරීමට රුසියන් විද්‍යාඥයන්ට මෙරටට ඒමට අවසර නොදීමෙන් අභ්‍යවකාශ වස්තූන් පිළිබඳ වැදගත් පර්යේෂණයකට අවස්ථාව නොලැබී යෑම සමාජවාදී ලෝකයේ බලවත් කනස්සල්ලට හේතුවක් විය.

සියවස් එකහමාරක් අප රට ජයග්‍රහණය කරගෙන සිටි මහා බි්‍රතාන්‍යයේ කිරුළපලන් විසිඅට වැනි වියේ පසුවූ දෙවැනි එළිසබෙත් මහා රාජනිය පැමිණියේද 1954 අප්‍රේල් 19 වැනිදාය. ඒ වන විටත් ඉංග්‍රීසි උණුහුම පහව නොතිබුණු මේ රටේ වැඩිදෙනකුට මහ රැජන ලංකා පොළොවේ පය ගසා සිටි දින කිහිපය සිංහල අලුත් අවුරුදු ප්‍රීතිය ඉක්ම වූ සතුටුදායක කාල පරිච්ඡේදයක් විය. ඊට මාස කිහිපයකට පෙර 1953 අගෝස්තුවේ සිදුවූ හර්තාලයද අමතක නොවන සිද්ධියකි. හාල් මිල ඉහළ දැමීමට විරෝධය දක්වමින් දිවයින පුරා පැවති ඒ කැරැල්ල අතර විශේෂ දෙයක් සිදුවූයේ ගාලු පාරේ ඇතැම් තැන්වල ජනතාව ළිප් බැඳගෙන ආප්ප, රොටී පිළිස්සීමය. එවැන්නක් ඉන් පෙර හෝ පසු සිදුවූ බවක් වාර්තා වී නැත. 1957 ජල ගැල්මද එම දශකයේ තවත් රට හෙල්ලූ සිද්ධියකි. 1958 වසරේ මැයි මස පැනනැඟුණු සිංහල – දෙමළ ජාතිවාදී අරගලයද තවත් විශේෂ සිදුවීමකි. ඒ කලක් තිස්සේ පැවති භාෂා ප්‍රශ්නය ඔඩුදිවීමේ උච්ඡතම අවස්ථාව විය. ටික කලක් රටේම අවධානය යොමු වීමට තවත් කරුණක් 1953 වසරේ පැනනැංගේය. ඒ හිටි අඩියේ පහළ වූ තාපස නිකායයි. ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරික මහතකුගේ දහඅට හැවිරිදි පුත්‍රයා හිස මුඩුකොට තාපස වස්ත්‍රයක් ඇඳ පැවිදි වෙස් ගෙන පාත්‍රයක් අතැතිව තැනක් නියමයක් නොමැතිව මහමඟ සැරිසරන්නට විය. රාත්‍රියට පාළු සොහොන් පිටිවල නවාතැන් ගත් අතර, මෙය සැලවූ සැදැහැවතුන් රාත්‍රියට ගිලන්පස, උදයට හා දවාලට දානය පිළියෙල කර පිළිගැන්වූ අතර, තවුස් හිමියන් සසරේ දුක්ඛිතභාවය, ජීවිතයේ අනියතභාවය, පන්සල්වල වැඩසිටින හිමිවරුන්ට නිසි පිළිවෙත් නොතේරෙන හැටි පැහැදිලි කරන්නට විය. සැදැහැවතුන්ටද මේ තවුස් නම අලුත් අත්දැකීමක් විය. පැහැදීම නිසාම අනුගාමික පිරිස වැඩි වී එතුමන් වෙතින් තවුස් පැවිද්ද ලබා සසරින් මිදීමට පහසු මඟක් ලෙස සලකා කණ්ඩායම් වශයෙන් බෙදී රට පුරා සැරිසරන්නට පටන් ගත්හ.

පැවිදිව සැරිසරන ප්‍රධාන තවුස් නම මාස කිහිපයකට පසුව උපන් ගමට වැඩම කළ දින ගෞතම බුදුරදුන් කිඹුල්වතට වැඩම කළදා මෙන් විය. ගම්පහ දිශාවෙන් ඇරැඹුණු මේ තාපස නිකාය පිළිබඳ එදා කවිකොළකාරයන් අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් ජනාකීර්ණ තැන්වල අලෙවි කළ අතර, නොදන්නා බොහෝ දේ ජනතාව අතර පැතිරෙන්නට විය. පුවත්පත් මඟින්ද තරමක ප්‍රසිද්ධියක් ලැබිණි. මහා සංඝරත්නය මේ පිළිබඳ විරෝධයක් නොදැක්වුවත් ධර්ම දේශනාවලදී බුද්ධ කාලයේ සිට සංඝයා වහන්සේගේ ඇවතුම්-පැවතුම් පිළිබඳ නිවන් මඟ අවබෝධ කරගත් අයුරු පෙන්වා දුන්හ. ගුරුවරයකු නැති පැවිද්ද ප්‍රශ්නාර්ථයක් බව සැදැහැවතුන් ඉදිරියේ තැබූහ. මේ සියල්ලම වූයේ 1953 – 1954 කාලයේය. අද යුගයේ අය මේ ගැන අඳෝ සංසාරයක්වත් දන්නේ නැත. තවුස් නිකාය ඇතිවී නැතිවී ගොස් දිගු කාලයකි. එදා ඒ ගැන ඇසූ දුටු අයට එවන් දෙයක් මතකයක් පමණි.

බිබිලේ වීගොඩ හේමපාල
උපුටා ගැනීම මව් රට