🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සුනඛයන්ට මරු කැඳවන අරුම පුදුම ඕවටූන් පාලම

සාමාන්‍යයෙන් වර්තමානය වෙද්දි බෝවන රෝගවලට වඩා බෝ නොවෙන රෝග වැලඳීමේ ප්‍රවණතාව වර්ධනය වෙලා තිබෙනවා දැකගත හැකියි. ඒ අතරින් කායික රෝගී තත්ත්වයන්ට සාපේක්ෂව මානසික රෝගී තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාව තීව්‍ර අතට හැරී ඇති බව ලෝකය පුරාම වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යා දත්තයන් තුළින් අනාවරණය වී තිබෙනවා.  විශාදය නම් වූ මානසික රෝගී තත්ත්වය තමයි මේ අතරින් ප්‍රධාන තැනක් හිමිකරගෙන තිබෙන්නේ.

සරලවම  විශාදය කියන්නෙ “පුද්ගලයෙක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ සිතේ පවතින ශෝකී බව” යි. විරහව, ආර්ථික ප්‍රශ්න , දීර්ඝකාලීන රෝග හේතු කරගෙන මේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දුකක් ඇති වූ විට ඒක දවස් කීපයකින්, සතියකින්, මාසයකින් අඩුවෙලා නැති වෙලා යනවනේ. හැබැයි විශාදය කියන තත්ත්වයේදී නම් ඒක එහෙම අඩු වෙලා යන්නෙ නැහැ. සමස්ත ලෝක ජනගහනයෙන් 20%ක් පමණ විශාදයට ගොදුරු වෙලා සිටින අතරේ ශ්‍රී ලංකාවෙ ජනගහනයෙන් 800,000ක් විතර විශාදය නිසා දීර්ඝකාලීනව පීඩා විඳිනවා කියලා ඇස්තමේන්තු කරලා තිබෙනවා.

කොහොම වුණත් මිනිස් ජීවිත සංකීර්ණ වීම නිසා මේ තත්ත්වයන් දිනෙන් දිනම වර්ධනය වෙන ස්වභාවයක් තමයි  පෙන්නුම් කරන්නේ. ඒ වගේම තමයි ඉහළ යමින් තිබෙන සියදිවි නසා ගැනීම්වලටත් මේ මානසික ව්‍යාකූලතාවන් ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. ඒක කොයිතරම්ද කියනවා නම් වසරකට ලක්ෂ 08 -10ත් අතර පිරිසක් මේ විධියට සියදිවි නසා ගන්න අතර තත්පර 40කට වරක් ජීවිතයක් මානසික රෝගී තත්ත්වයක් නිසා මේ ලෝකයට අහිමි වෙනවා. හැබැයි අද අපි කතා කරන්න යන්නේ නම් විශාදය ගැනවත්, සියදිවි නසා ගන්න එක ගැනවත් නෙවෙයි.   

සාමාන්‍යයෙන් මිනිසා කියන්නේ හිතලා බලලා දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් උසස් මනසක් තිබෙන පිරිසක්නේ. ඇත්තටම ගොඩක් මිනිසුන්ට උසස් මනසක් තිබෙනවද කියලා බොහෝ වෙලාවට හිතුණත් මිනිසා හදුන්වන්නේ එහෙමනේ. මිනිස්සුන්ට හිතලා මොනයම් හෝ දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණත් සාමාන්‍යයෙන් සත්තුන්ට එහෙම හැකියාවක් නැහැ. හැබැයි ඒක එහෙමමද කියලා හිතෙන විදිහේ තැනක් ස්කොට්ලන්තයේ ඩම්බර්ටන් ගම්මානේ තිබෙනවා. මිනිස්සු ඇවිත් සියදිවි නසා ගන්න තැනක් කිව්වොත් ඒක ඒතරම් පුදුම හිතෙන මාතෘකාවක් නෙවෙයිනේ. හැබැයි අද අපි මේ කියන්න යන්නේ බල්ලන් නැත්නම් සුනඛයන් ඇවිත් සියදිවි නසා ගන්න තැනක් ගැන.

මේක ගම්මුන් කියන නිකන්ම නිකන් කටකතාවක් නම් නෙවෙයි. ලෝකයේ බොහොම ප්‍රසිද්ධ “ද ඉන්ඩිපෙන්ඩන්, නිව්යෝර්ක් ටයිම්ස්” වගේ පුවත්පත්වල පවා වාර්තා පළවුණ සත්‍ය සිදුවීමක්. මේ පාලම නිර්මාණය කරලා තිබෙන්නේ H.E. Milner කියන ප්‍රශංසනීය භූ දර්ශන නිර්මාණ ශිල්පියා විසින්. අඩි 50ක් විතර උස අඟල් 18ක් විතර ඝනකම් ගල් කුට්ටිවලින් හදපු මේ පාලමේ වැඩ අවසන් කරලා තිබෙන්නේ 1895 අවුරුද්දෙ. 1862 අවුරුද්දේ ස්කොට්ලන්ත ජාතික පොහොසත් නීතිඥයෙක් වගේම ව්‍යාපාරිකයෙක් වෙන “ජේම්ස් වයිට්” කියන පුද්ගලයා මේ ප්‍රදේශයේ “ඕවටූන්” කියලා හදුන්වන විශාල නිවෙසක් නිර්මාණය කරනවා. පස්සේ කාලෙක තමන්ගේ නිවෙසට ටිකක් අෑතින් තිබුණු තවත් වත්තක් අරගෙන “බැරෝනියල් කන්ටි්‍ර හවුස්” නිර්මාණය කරනවා. මේ දෙක යා කරලා තමයි ඕවටූන් පාලම නිර්මාණය කරන්නේ.

1895දී ඕවටූන් පාලමේ වැඩ ඉවර වුණත් වැඩි කාලයක් මේ පාලම ඒ නමින් හදුන්වන්න ලැබෙන්නේ නැහැ. මොකද එක්දහස් නවසිය පනස් ගණන්වල ඉඳලා මිනිස්සු මේකට වෙන නමක් ආදේශ කරනවා. ඔවුන් මේ අරුම පුදුම පාලම ඊට පස්සේ හදුන්වන්නේ “ Dog Suicied Bridge” එහෙමත් නැත්නම් “බල්ලන් සියදිවි නසා ගන්නා පාලම” කියලා. ගොතික් ක්‍රමයට නිර්මාණය කරපු මේ පාලම උඩින් කවුරුහරි පුද්ගලයෙක් තමන්ගේ සුනඛයත් එක්ක ඇවිදගෙන යන්න පටන් ගත්තොත් මේ පාලමේ මැද හරියට ගියාට පස්සෙ සුනඛයා ටික වෙලාවක් යනකන් ගල්වෙලා වගේ එකම තැනට වෙලා බලාගෙන ඉඳලා ටික වෙලාවකින් කලහකාරී විධිහට හැසිරිලා හරියට මොකක්හරි ආවේශයක් වුණා වගේ පාලමෙන් පහළට පැනලා සියදිවි හානිකර ගන්නවා. ඒ විතරක් නෙවෙයි සමහර සුනඛයන් තමන්ගේ නිවෙස්වලින් පැනලා ඇවිල්ලත් මෙතනදි සියදිවි හානි කරගෙන තිබෙනවා.

පුදුම හිතෙන තරම් සුනඛයන් සංඛ්‍යාවක් මේ වෙද්දි මේ පාලමෙන් පැනලා සියදිවි නසාගෙන තිබෙනවා. වාර්තා වෙන විදිහට මේ වෙද්දි සුනඛයන් 600කට වැඩි ප්‍රමාණයක් මෙතනින් පැනලා මැරිල තිබෙනවා. පුදුමය කියන්නේ අඩි   50ක් විතර උස පාලමෙන් මෙහෙම පැනලා ජීවිතයට හානියක් නොවෙන සමහර සුනඛයන් නැවතත් මේ පාලම උඩටම ඇවිත් පහළට පනින එක. දෙවැනි වතාවේ උත්සාහ නොකර පළමුවැනි වතාවෙන් අතපය කඩාගෙන නතර වුණ 300කට වැඩි සුනඛයන් ප්‍රමාණයකුත් ඒ අතර ඉන්නවා. එහෙම බැලුවම නම් මේකට බල්ලන් දිවිනසා ගන්නා පාලම කියන නම හරියටම ගැළපෙනවා. මේ හැම පිම්මකම විශේෂත්වයකුත් තිබෙනවා. හරියට ගල් වුණා වගේ එක එල්ලේ බලාගෙන ඉන්න එක, ආවේස වුණා වගේ පනින එක සමාන වුණත් මේ හැම සුනඛයෙක්ම පනින තැනත් සමානයි කිව්වොත් ඔබ මොකද හිතන්නේ. ඔව් ඒක එහෙම තමයි.

මේ හැම සුනඛයෙක්ම පැනලා තිබෙන්නේ පාලමේ දකුණු පැත්තෙන්. දකුණු පැත්තෙත් හැම තැනින්ම නෙවෙයි. දකුණු පැත්තෙ තිබෙන බැමි දෙක අතර තියන අන්තිම තැනින්. ඒ කියන්නේ පාලමේ මැද හරියෙන්. හැබැයි හැමදාම මේ සියදිවි නසාගැනීම් වෙන්නෙත් නැහැ. එහෙම වෙන්නෙත්  ඉරඅව්ව තිබෙන හොඳ පැහැදිලි දවස්වලදී විතරයි. මේ විදිහට වැඩිපුරම බලපෑමට ලක්වෙලා තිබෙන්නෙ ජර්මන් ෂෙපර්ඩ්, ස්කොට්ලන්ත ටෙරියර් වගේ දිග නාසයක් තිබෙන ඩොලිකොසෙෆරික් වර්ගවල සුනඛයන්. ඇත්තටම මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද? ඇයි මේ වර්ගවලට මේතරම් ලොකු බලපෑමක් එල්ල වෙලා තිබෙන්නේ? අනිත් සුනඛයන් එක්ක මෙයාලගෙ තිබෙන වෙනස මොකක්ද?

මිනිසුන් සමඟ සංසන්දනය කරලා බලන විට සුනඛයන්ට අපිට වඩා දේවල් ඇසීමේ සහ පෙනීමේ ප්‍රවණතාව බොහොම ඉහළයි. සාමාන්‍ය මනුස්සයෙක් නිරීක්ෂණය කළ විට ඉතාම සාමාන්‍ය පාලමක් වගේ පේන මේ පාලමේ අපිට නොපෙනෙන මොකක්මහරි දෙයක් සුනඛයන්ට පේනවද?     

හරියටම මේකයි කියලා කියන්න හේතුවක් දන්නෙ නැති වුණත් ඒ හේතුව හොයාගෙන යන්න විවිධ න්‍යායන් මේ වන විටත් භාවිත කරනවා. ප්‍රදේශවාසීන් අතරින් බොහෝදෙනා පවසන්නේ පාලම වගේම ඕවටූන් නිවෙසෙත් හොල්මන් තිබෙනවා කියලයි. කීර්තිමත් කතුවරයෙක් වන “පෝල් ඕවන්ස්” ඔහුගේ පොතක් වෙන “ද බාරොන් ඔෆ් රේන්බෝ බි්‍රජ්”  කියන පොතේ අවුරුදු 100කට වඩා කාලයක් තිස්සෙ ඕවටූන් අවට සැරිසරන “සුදු ආර්යා” අවතාරය මේකට හේතුව විධියට සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්ම සුදුපාට ඇඳගත්ත අමුතු විදිහේ කාන්තාවකගෙ ඡායාවකුත් මේ නිවෙස වගේම පාලම ආසන්නයෙනුත් කීපවතාවක්ම දැකලා තිබෙනවා කියලත් වාර්තා කරල  තිබෙනවා.

වරක් ඔහු සම්බන්ධ වුණු සම්මුඛ සාකච්ඡාවකදීත් මේ සම්බන්ධව ඔහුගෙන් ප්‍රශ්න කරලා තිබුණා. ඔහු ඒ වෙලාවේදී අදහස් දක්වමින් තමන් ඒ ස්ථානයට ගිය බවත්, ඒ වෙලාවේ තමන්ට දැඩි අපහසුතාවක් දැනුණු බවත් ප්‍රකාශ කර තිබෙනවා. “කවුරුහරි කෙනෙක් එහෙමත් නැත්නම් යමක් තමන්ව පාලම උඩින් තල්ලු කරන්න උත්සාහ කළා වගේ දැනුණු බවත් ඔහු වැඩිදුර ප්‍රකාශ කර  තිබෙනවා. ඒ ගැන තවදුරටත් පැහැදිලි කරමින් ඔහු කියලා තිබෙන විදිහට තමන්ට දැනුණු ඒ හැඟීම හරියට “සුනඛයෙක්ට සේවිකාවක් කරන අණදීමක්” වගේ.

හොල්මන් කතාවක් ගැන සඳහනක් නොවුණත් 20 හැවිරිදි ජෙනා මීට සමානම තමන්ගේ අත්දැකීම විස්තර කරලා තිබෙනවා. ඇය සති අන්තෙ දවසක පළමුවැනි වතාවට මේ පාලම දිගේ ගිහින් තිබෙනවා. මෙහෙම පාලමේ මැද හරියට යන විට අමුතු හැඟීමක් ඇයට ඇති වෙලා තිබෙනවා. ඇය කියන විදිහට ඒ හැඟීම ඇයට පාලනය කරගන්න හැකි වෙලා නැහැ. “මොකක් හරි නරක දෙයක් වෙන්න යනවා කියන හැඟීමක් තමන්ට ඒ වෙලාවේ ඇති වුණා” කියලා ඇය පවසා තිබෙනවා. පාලමේ තමන් සමීපයෙන් සුනඛයා එක්ක ගමන් කරපු කාන්තාවගෙ සුනඛයා හිටිගමන් අඩියක්වත් ඉස්සරහට යන්නේ නැතුව ගල් වුණා වගේ ඉඳලා එකපාරටම පාලමෙන් පහළට පැන්නා කියලත් කියනවා.

මිනිස්සු මෙහෙම හොල්මන් කතාවක් කියන්නේ හේතුවක් නැතුව නම් නෙවෙයි. මේ කතාවටත් බොහොම ඛේදජනක අතීතයක් තිබෙනවා. 1994දී “කෙවින් මෝයි” කියලා පුද්ගලයෙක් තමන්ගේ ළදරු වයසේ හිටපු පුතාව මේ පාලමෙන් පහළට දාලා මරලා තිබෙනවා. තමන්ගේ දරුවා දැඩි ක්‍රිස්තු විරෝධියෙක් නිසා මේ විදිහට මරලා දැම්මා කියලා තමයි ඔහු කියලා තිබෙන්නේ. පුතා මරලා දැම්මට පස්සේ අවස්ථා දෙකකදීම මේ පුද්ගලයත් සියදිවි නසාගන්න උත්සාහ කරලා තිබුණා. එක වතාවක් මේ පාලමෙන්ම පැනලා ජීවිතේ නැති කරගන්න හදපු ඔහු ඊළඟ වතාවේ තමන්ගේ අතේ මැණික් කටුව ළඟින් කපාගෙනත් ජීවිතය නැති කරගන්න උත්සාහ කළත් ඒ එකක්වත් සාර්ථක වෙලා නැහැ. අවසානයේදී මොහු “දකුණු ලනාක්ෂයර් හිකාර්ස්ටෙයාර්ස්” මානසික රෝහලට භාරදීලා තිබෙන බව තමයි කියවෙන්නේ. මේ විදිහෙ සිදුවීමක් වෙලා තිබුණත් ඒක මේ අබිරහස් සුනඛ මරණවලට මොනයම් විදිහක හරි සම්බන්ධයක් තිබෙනවද කියලා නම් තවමත් හරියටම සනාථ වෙලා නම් නැහැ.

සුනඛයා කියලා කියන්නේ අපි කවුරුත් බොහොම ආදරය කරන මිනිසාගේ හොඳම හිතවතානෙ. සමහර වෙලාවට සුනඛයින් ආදරය, කරුණාව දක්වන කෘතගුණ සැලකීම අතින් මිනිසාවත් ඉක්මවා ගියත් සුනඛයෙක්ට ජීවිතය එපා වෙලා සියදිවි හානි කරගන්න පුළුවන් විදිහෙ තීරණයක් ගන්න තරම් බුද්ධියක් නම් නැහැ. සුනඛ මනෝවිද්‍යාඥ ආචාර්ය “ඩේවිඩ් සෑන්ඩ්ස්” පැහැදිලි කරන්නෙත් සුනඛයෙක්ට ඒ විධියේ තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ කියලයි. කොහොම වුණත් මේ සිදුවීම ගැන තමන්ගේම පරීක්ෂණයක් පවත්වන්න හිතාගෙන ඩොක්ටර් සෑන්ඩ්ස් 2005 අවුරුද්දෙදි වාර්තා චිත්‍රපට කණ්ඩායමකුත් එක්ක ඕවටූන් පාලම ආශ්‍රිත ප්‍රදේශයට ගිහින් තිබෙනවා. ඔහු මේ කණ්ඩායම සමඟ ශබ්ද පාලනයට අවශ්‍ය උපකරණ” ධ්වනි විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් පවා රැගෙන ගිහින් තිබුණා.

ශබ්ද පාලනය කරමින් බොහෝ පරීක්ෂණ විවිධ උපක්‍රම යොදා ගෙන සිදු කළත් ඔවුන්ටත් මේ පිළිබඳව කිසිවක් සොයා ගැනීමට හැකියාවක් නොලැබුණු නිසා පරීක්ෂණ කටයුතු නවත්වලා තිබෙනවා. ආදරයෙන් රැකබලා ගන්න කීකරු සුනඛයන්ට මේ පාලමේදී මොකද වෙන්නේ? එක්වරක් පැනලා ජීවිතය බේරුණොත් නැවතත් එතනටම ඇවිත් මේ අඩි 50ක් විතර උස පාලමෙන්ම ආයෙම පනින්න තරම් ඔවුන්ට බලපෑම් කරන්නේ මොකක්ද?

කොහොම වුණත් මේ සිදුවීම ගැන තවත් පරීක්ෂණ සිදුකරපු විද්‍යාඥයන් මේ වනවිට එකම එක අනුමානයක් විතරයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ විධියට මේවගේ න්‍යායන් අතර වඩාත් පිළිගන්න න්‍යායක් නැත්නම් මතයක් විදිහට සැලකෙන්නෙ “සුවඳ මේ සුනඛයන්ව මරණය කරා රැගෙන යනවා” කියන මතය. සාමාන්‍යයෙන් ශබ්දය වගේම සුවඳත් මිනිස්සුන්ට වඩා සුනඛයන්ට දැනෙනවා. ඒ අතරිනුත් මේ නහය දිග ජර්මන් ෂෙපර්ඩ්, ස්කොට්ලන්ත ටෙරියර් වගේ ඩොලිකොසෙෆරික් වර්ගවල සුනඛයන්ට මේ සුවඳ දැනීමේ හැකියාව අනිත් සුනඛයන්ට වඩා වැඩියි කියලා තමයි සඳහන් වෙන්නෙ.

මේ ඕවටූන් පාලම වටේට වගේම පාලමෙන් පහළත් අනිත් පාලම්වලට වඩා ගනකමින් යුක්ත ලදු කැලෑවක් තිබෙනවා දකින්න ලැබෙනවා. ඒ නිසාම මේ ප්‍රදේශයෙ ලේන්නු, මීයො වගේම මින්ක් කියන මුගටි විශේෂයත් විශාල වශයෙන් දැකගන්න පුළුවන්. මින්ක් කියන සතුන්ගේ සුවඳ ඉතාම ශක්තිමත් නිසා ඒක සුනඛයන්ට ඔරොත්තු දෙන්නෙත් නැහැ කියලයි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ මින්ක් කියන මුගටි විශේෂය ඔවුන්ගේ කූඩු හදාගෙන ඉන්නෙත් මේ පාලම පහළට වෙන්නම තමයි. අන්න ඒ නිසාම මේ සත්තුන්ගේ ශබ්ද පාලම යටින් ඇහෙනවා. ඒ ඇහෙන ශබ්ද මොනවද කියලා සුනඛයන් තමන්ගේ අත් දෙක පාලමේ බැම්ම උඩින් තියලා පාලමෙන් පහළ වෙන දේවල් පරීක්ෂා කරන්න උත්සාහ කරද්දි ඔවුන් ලිස්සලා ගිහින් පාලමෙන් පහළට වැටෙනවා ඇති කියලයි විද්‍යාඥයන් අනුමාන කරන්නේ.

එතකොට මෙතනින් මේ වෙනකන්ම පහළට පැනපු 1000ට ආසන්න සුනඛයො ඔක්කොම ලිස්සලද වැටුණේ? එක වතාවක් පැනලා ජීවිතයට හානියක් නොවී නැවතත් මේ පාලමටම ඒ තැනටම ඇවිත් නැවතත් පැන්න සුනඛයෝ දෙවැනි වතාවෙත් ලිස්සුවද? මෙහෙම කැලෑ සත්තු  සිටින අනෙක් පාලම්වලින් සුනඛයෝ පහළට නොපැන ඇයි මෙතනින් විතරක්ම පනින්නේ කියන බොහොම සාධාරණ ප්‍රශ්න රාශියක්ම මෙතනදි පැන නැඟීම ඉතාම සාමාන්‍යයි. කොහොම වුණත් මේකත් විද්‍යාඥයන්ගේ එක්තරා අනුමානයක්ම පමණයි. මේ අනුමාන, පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන කොහොම වුණත් ප්‍රදේශයේ ජනතාව නම් තමන්ගේ සුනඛයන් මේ පාලම පේනතෙක් මානෙකින්වත් අරගෙන යන්නේ නැහැ කියල තමයි වාර්තා වෙන්නේ.

ඕවටූන් පාලම මේ අද්භූත සිදුවීම් නිසා කුප්‍රකට වුණත් අතිශය සුන්දර සිත් ඇදගන්නාසලු මනරම් නිර්මාණයක් කියන එක නම් ප්‍රතික්ෂේප කරන්න අමාරුයි. ඒ නිසා ස්කොට්ලන්තෙ පැත්තේ යනවා නම් මේ පාලම නරඹන්න ගියාට කමක් නැහැ. හැබැයි තවමත් නොවිසදුණු සුනඛයන්ට බලපෑම් කරන මොකක්මහරි දෙයක් මෙතන තිබෙන නිසා ඒ ගමනට ඔබේ සුරතලාව නම් කොහොමවත්ම එකතු කරගන්න එපා.

උපුටා ගැනීම මව්බිම