🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කිරුළ අහිමි වීම ගැන පුෂ්පිකා පිළිතුරු දෙයි

කිරුළ අහිමි වීම ගැන පුෂ්පිකා පිළිතුරු දෙයි

04-04-2021 පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා. අදාළ තරඟයේ කිරුල පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිවූ අතර කිරුල පැළඳීමද ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කරනු ලැබුවා.

නමුත් එම අවස්ථාවේදී අදාළ තීරණයට විරුද්දව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි. එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබූවා.

ඒ පිළිබඳව ඇය තම ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණා,

ආයුබෝවන්!

මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.

දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, ".. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?" යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!

පුෂ්පිකා ද සිල්වා - කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ

කිරුළ අහිමි වීම ගැන පුෂ්පිකා පිළිතුරු දෙයි

කිරුළ අහිමි වීම ගැන පුෂ්පිකා පිළිතුරු දෙයි