🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මාව වෙනස් කළේ ප්‍රදීප්ගේ ගතිගුණ

– අදටත් මම ඒ ගත්තේ වැරදි තීරණයක් කියලා හිතන්නේ නැහැ.
– නපුරු ෂෙරින් ආන්ටී කියලා මම රඟපාන විදිහට එයා ගෙදර රඟපාලා පෙන්නවා.
– තාවකාලික ජනප්‍රියත්වය වෙනුවෙන් විවාහය කල් දාන්නේ මොකටද කියලා හිතුණා.
කාව්‍යා, දිව්‍යා, පූජා වැනි දීර්ඝ නාට්‍යවලින් රංගන ශිල්පිනියක් හැටියට ජනතාව අතරට ආ ඕෂධී හේවාමද්දුම දශක දෙකකට ආසන්න කාලයක් රංගනයේ යෙදෙනවා. ඒත් ඈ නිවේදිකාවක් හැටියට තමයි කලා ජීවිතේ ආරම්භ කරන්නේ. ඒ ගුවන්විදුලියේ ළමා නිවේදිකාවක් හැටියට. ඒ ආ ගිය තොරතුරු වගේම ඇය ගැනත් ඇගේ පුංචි කුටුම්බය ගැනත් කතා කරන්න රසඳුන එක්ක එක්වුණා.

ඒ කාලේ දිගටම විවිධ නාට්‍ය එක්ක රූපවාහිනී නාළිකාවලින් දකින්න ලැබුණු ඕෂධී දැන් දකින්නේ එක නිර්මාණයකින් විතරයි. ඒ ඇයි?

රංගනයට ආ කාලේ එක දිගටම රඟපෑවා. දැන් ටිකක් රඟපෑමට සම්බන්ධ වෙනවා අඩුයි. මම සම්බන්ධ වුණු සිනමා නිර්මාණ හතරක් තිරගත වීමට නියමිතයි. ටෙලි නිර්මාණ පහක් ළඟදීම විකාශය වෙයි. දැන් අවුරුදු දෙකහමාරක් විතර මාව දකින්න ලැබෙන්නේ හිරු ටීවී එකේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ නාට්‍ය‍ෙයන් තමයි. ඉදිරියට අලුත් නිර්මාවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

දරුවෝ එක්ක කාර්‍යබහුල නිසා රංගනයට සැමියා සීමා දැම්මද, එහෙම නැත්නම් ඔබ ස්වයං වාරණයකද?

දරුවන්ගෙ, ගෙදර දොර වැඩ සැමියගේ වැඩ සුපුරුදු පරිදිම කරනවා, ඒවා කිසිවක් මඟ නොහැර තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. කලාව නිසාම හමුවුණු මගේ සැමියා මට නීතිරීතී දාන්නේ නැහැ. ප්‍රදීප් කැමරා අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදකවරයෙක්. එයා නිෂ්පාදනය කළ ‘අසමත්ජාතියා‘ චිත්‍රපටයෙ රංගනයටත් මට අවස්ථාව දුන්නා. ඉදිරියේ දී චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න එයා බලාපොරොත්තු වෙනවා. එයා කලාව එක්ක කාලයක් ගනුදෙනු කරන කෙනෙක්. කලාවේ ඉන්න සියයට අනූවක්ම එයා දන්න අය. ඒ නිසා මට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ කියලා එයා දන්නවා. එයා අකමැත්තක් නැහැ මම දිගටම කලාවේ රැදෙනවට. නිතරම එයා තමයි මට උදවු කරන්නෙ. ඒත් මම දාගත්ත සීමා එක්ක මම වැඩ කරනවා.

සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ ෂෙරින් ආන්ටි කියන චරිතය මීට පෙර රඟපෑවේ ගයනි සතරසිංහ. දක්ෂ නිළියක් කළ ඒ චරිතය ඔබ පවත්වාගෙන යෑම අභියෝගයක්?

ෂෙරින් ආන්ටි කියන චරිතය මීට කලින් රඟපෑ ගයනි අක්කා දක්ෂ සම්මාන ලැබූ නිළියක්. ඇයගෙ රඟපෑම සම කරන්න බැහැ. ඒත් ඇය ඒ චරිතය කරපු විදිහ අවුරුදු දෙකහමාරක් තිස්සේ මම මේන්ටේන් කරගෙන කන්ටිනිව් කරගෙන යනවා. ඒක හිතන තරම් ලෙහෙසි නැහැ. ගයනි අක්කා විදෙස්ගත වූ නිසයි ඒ චරිතය මට කරන්න වුණේ. චරිතය මට ලැබෙද්දී ලොකු වගකීමක් හැටියට දැක්කා. ඒ චරිතයේ කතා ස්වභාවය, ඇවිදීම හාත්පසින්ම වෙනස්. නමුත් මම හිතුවේ ප්‍රේක්ෂකයෝ මට බණියි කියලා. ඒත් එහෙම නැහැ. හිතපු නැති විදිහට ප්‍රතිචාර හිමි වෙනවා.

නිවසෙන් ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?

මගේ පුතා සසන්ත බුලත්සිංහල. එයාගේ වයස අවුරුදු හතයි. එයා ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙන ගන්නේ. පාසලට යන්න බැහැ පොඩි දරුවෝ මාව වටකරගෙන කතා කරනව. ෂෙරින් ආන්ටි කියලා කතා කරන්නේ. දුව නිසාරා බුලත්සිංහල. එයාගේ වයස අවුරුදු පහයි. මේ දෙන්නාගේ ප්‍රතිචාර හොඳයි. නපුරු ෂෙරින් ආන්ටී කියලා මම රඟපාන විදිහට එයා ගෙදර රඟපාලා පෙන්නවා.

ඒ කියන්නේ දරුවෝ දෙන්නත් කලාවට සම්බන්ධ වෙයි?

දුව නම් ගෙදරදි මේකප් කරනවා. එක එක ඇඳුම් විලාසිතා ඇඳලා පෙන්නනවා. මේ දෙන්නම පුංචි කාලේ ඉඳලම මාත් එක්ක ලොකේෂන්වලට යනවා. දුව නම් රඟපාන්න කැමතියි. ඒත් පුතා රඟපාන්න ලැජ්ජයි. ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් එයා නිර්මාණයකට කතා කළා. දවසක් ගිහින් අනේ අම්මේ මට බැහැ කිවුවා. අපිත් බල කළේ නැහැ. තව ලොකු වෙලා කැමති නම් දවසක දෙන්නම සම්බන්ධ වෙයි.

කැමරා අධ්‍යක්ෂවරයෙක් හැටියට කැමරාව ඔස්සේ තමයි ඔබේ රුව නිතරම ප්‍රදීප් දැක්කේ, ඔබට විවාහයට යෝජනා කරන්නෙත් නාට්‍යයක් අතරතුර?

කාව්‍යා නාට්‍ය ඒ කාලේ හරි ජනප්‍රියයි. ඊට පස්සේ පූජා නාට්‍ය ජනප්‍රිය වුණා. ඔය අතරේ තමයි නාට්‍යයක එයා කැමරා අධ්‍යක්ෂණය කරන අතරේ මම ඒ නාට්‍යයේ රඟපෑවා, ඒ දිව්‍යා නාට්‍යයේ. එයා කෙළින්ම මට යෝජනා කළේ නැහැ. යාළුවෙක් මාර්ගයෙන් තමයි එයාගේ යෝජනාව කිවුවේ. සෙට් එකේ වුණත් “හෙලෝ නංගි ගුඩ් මෝනිං” කියනවා, දැක්කම හිනා වෙනවා. එයා හරි අහිංසකයි. ඊට වඩා කා එක්කවත් ලොකුවට කතා කරන්නේ නැහැ නිශ්ශබ්දව ඉන්නේ. එයාගෙන් යෝජනාව ආවට පස්සෙ මමත් හිතලා බලලා හා කිවුවා. ඊට පස්සේ අපි 2007 දී විවාහ වුණා.

ඕෂධී විවාහ වෙන්නෙ අවුරුදු 22දී. අතිශය ජනප්‍රිය කාලේ. තරුණ කාලේ නිදහසේ විඳින්න නොලැබුණු නිසා ටිකක් ප්‍රමාද වෙලා විවාහ වෙන්න තිබ්බා නම් කියලා දැන් හිතෙනවා ඇති?

එහෙම දැනෙන්න මට ප්‍රදීප් ඉඩ තිබ්බෙ නැහැ. අනිත් එක වයස නෙමෙයි බලපාන්නේ සිතුවිලි විතරයි. ඒ කාලේ මගේ හොඳම කාලේ නිර්මාණවලට ගොඩක් ආරාධනා ලැබුණා. ඒ කාලේ තමයි දීර්ඝ නාට්‍ය පටන් ගත්ත කාලේ. නමුත් මම විවාහයට ඒක බාධාවක් කර ගත්තේ නැහැ. මට වඩා ප්‍රදීප් අවුරුදු දහයක් වැඩිමහල්. එයා වගකීම් දරන්න පුළුවන් චරිතයක් හැටියටයි මම දැක්කේ. තාවකාලික ජනප්‍රියත්වය වෙනුවෙන් විවාහය කල් දාන්නේ මොකටද කියලා හිතුණා. ඒ නිසා විවාහ වුණා. විවාහ වෙද්දී හැමෝම කිවුවේ ඇයි අඩු වයසින් බඳින්නෙ කියලා. කොයි කාලේ බැන්දත් නොගැළපෙනවා නම් අවුරුද්දෙන් දෙකෙන් දික්කසාද වෙලා. ඒත් මම අවුරුදු 17ක් හරි සතුටින් පවුල් ජීවිතේ ගෙවනවා.
ඒ වගේම කියන්න ඕන විවාහ වුණාට අපි අවුරුදු පහක් යනකල් දරුවෝ හැදුවේ නැහැ . ඒ නිසා මමත් නිදහසේ වැඩ කළා. ඒ කාලේ පොඩි වයසින් විවාහ වෙන රැල්ලක් තිබුණා. මම විවාහ වුණාට පස්සේ ගොඩක් අය විවාහ වුණා. නමුත් දරුවෝ ලැබුණට පස්සෙ තමයි මම වගකීම් ගත්තේ. ඒ නිසා අදටත් මම ඒ ගත්තේ වැරදි තීරණයක් කියලා හිතන්නේ නැහැ.

විවාහ වුණා කියලා දැනගෙනත් විවාහයට ආදරේට යෝජනා එන්න ඇති?

ඒ කාලේ නම් ගොඩක් යෝජනා ආවා. විවාහ වෙන්න කලිනුත් යෝජනා ආවා. ඒ දවස්වල සමාජ මාධ්‍ය නැහැ. ජංගම දුරකතනත් එතරම් නැහැ. හැම දවසකම ගෙදරට ලියුම් ආවා. ලියුම් බෙදන කෙනා හැමදාම ලියුම් මල්ලක් ගෙදරට දීලා යනවා. ඒවට උත්තර කොහොම දෙන්නද. ඒතරම් ප්‍රතිචාර දක්වලා ලියුම් ලැබුණා. හරි ආදරණීය මතක ඒවා. විවාහයට යෝජනා කළ සමහරු දැන් විදෙස්ගත වෙලා. ඒත් ඒ අය පසුකාලීනව කරදර කළේ නැහැ.

ඕෂධී නිළියක් වෙන්නෙ අහම්බෙන්. ගුවන්විදුලි ළමා පිටියෙන් පටන්ගත් නිවේදක ජීවිතේට මොකද වුණේ?

නිළිකම එක්ක ඒක මඟහැරුණා. මම ගුවන්විදුලියේ ළමා නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙන්නේ තාත්තා නිසා. තාත්තාගේ හිතවතුන් බොහෝ දෙනෙක් හිටියා. පරීක්ෂණ තියලා, ඔඩිෂන් දෙක තුනකට සම්බන්ධ වෙලා තමයි මාව තේරෙන්නේ. හරි ආසාවෙන් නිවේදන ජීවිතේට සම්බන්ධ වුණේ. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ උදෑසන වැඩසටහන් කළා. පසුව ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙලා ජීවිතේ ලස්සනයි වැඩසටහන කළා. එතැනින් තමයි මට රංගනයට ඇරියුම් ලැබිලා රඟපෑමට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ නිළියක් හැටියට කාර්‍යබහුල වෙලා නිවේදනයට ගියා.

චරිත නම්වලින් කතා නොකර ඔබ අනන්‍යතාව ගොඩනඟාගත් ඕෂධි හේවාමද්දුම ඔබේ නමින් රසිකයින් ආමන්ත්‍රණය කරන එක ගැන සතුටු ඇති?

මේ අවුරුදු ගාණක් තිස්සේ නිර්මාණ 60කට විතර සම්බන්ධ වෙලා තියෙනවා. මම රඟපෑ බොහෝ චරිත ප්‍රධාන චරිත. ඒවා අදටත් ප්‍රේක්ෂකයෝ කතා කරන නිර්මාණ. ඒත් මට අරයා මෙයා කියලා කතා කරන්නේ නැහැ. ඕශධී හේවාමද්දුම කියලා හැමෝම දන්නවා. ඒක හරි සතුටක්.

ජනප්‍රිය තරු නිතරම ජීවිතේ මේන්ටේන් කරන්න දඟලන අය කියන සමාජ මතය එක්ක නිළියක් සමඟ විවාහ වෙනවට ඔබේ සැමියාගේ පවුලේ අය කැමති වුණාද කියලම මේ කතාබහට සමුදෙමු?

ප්‍රදීප් කලාව එක්ක හිටපු කෙනෙක් නිසා පවුලේ අයත් කලාවට ආදරේ කරනවා. විවාහයට ප්‍රදීප් මාව තෝරා ගද්දි ඒ මවුපියන් හිතවතුන් කිසි දෙයක් කියලා නැහැ. එදා වගේම අදටත් මට අනවශ්‍ය විදිහට කතා හැදිලා නැති නිසා ප්‍රදීප්ගේ පවුලේ හැමෝම මට ආදරෙයි. මම අවුරුදු 25 යනතුරු විවාහ වෙන්නෙ නැහැ කියලා හිතපු කෙනෙක්. ඒ සිතුවිල්ල වෙනස් කළේ ප්‍රදීප්ගේ ගතිගුණ කිවුවොත් හරි.
උපුටා ගැනීම සිළුමිණ