🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දරුවන්ගේ ඔළුව ලෙඩ කරන ජංගම දුරකතන - විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

දරුවන් ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් සඳහා දැඩිව ඇබ්බැහිවීම සහ එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබඳ අවධානය යොමුකරමින් පාසල් තුළ දුරකතන භාවිතය තහනම් කළ යුතු බවට යුනෙස්කෝ සංවිධානය විසින් විශේෂ වාර්තාවක් පවා ඉදිරිපත් කර ඇති බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් ‘දේශය’ සමඟ කළ කතාබහකදී එළිදරව් කළේය.

ජංගම දුරකතන ඇතුළු වෙනත් තාක්ෂණික මෙවලම් අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් පාසල් දරුවන් ප්‍රායෝගික අධ්‍යාපනයෙන් බැහැරවී මා ඔවුන්ගේ පරිකල්පන හැකියා දුර්වලවීලත් ගුරුවරු සමඟ අන්තර් ක්‍රියා මගින් පෞර්ෂය වර්ධනයට අවස්ථාවක් නැතිවීම. තර්කන හැකියාව මොටවීම මෙන්ම පවුල තුළ හුදෙකලා වීමේ අවදානම් මතුව ඇති බව කියන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්   මේ වනවිට විවිධ මානසික ආතතික තත්ත්වයන්ට මේ හේතුවෙන් ඔවුන් ගොදුරුව ඇති බව සඳහන් කරයි.

කොවිඩ් වසංගතයත් සමඟ පාසල් තුළ ස්මාර්ට් දුරකථන, ටැබ් වර්ග සහ ලැප් ඇතුළු වෙනත් ඩිජිටල් උපාංග භාවිතය වැඩි වූ බවත් එමගින් දරුවන් එදිනෙදා පාසලේ  ප්‍රායෝගික ජීවිතයෙන් ඈත් වූ අතර අනිත් දරුවන් සමඟ ගැටෙන කාලය අඩු වූ බවත් එමගින් පොතපතට අවධානය යොමුකරන කාලය අඩු බවත් වෛද්‍ය රූමි රූබන්  පෙන්වා දෙයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් තවදුරටත් සඳහන් කළේ, තිරයක් දෙස බලමින්  ජීවිතයේ වැඩි කාලයක් ගතකිරීම නිසා දරුවන් ඒවාට ඇබ්බැහිවීමේ හැකියාවක් ඇති බවත් එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන අතරම එය    අධ්‍යාපනයටද සමාජ සහ පවුල් ජීවිතයටද ඔවුන්ගේ පෞද්ගලිකත්වය හා විශේෂයෙන් පෞරුෂයටද බාධාකාරී ලෙස බලපාන්නට හැකි බවය.

මත්පැන් සහ දුම් පානයට ඇබ්බැහිවූවන් තුළ දැකිය හැකි ඇතැම් රෝග ලක්‍ෂණ, අන්තර්ජාලයට ඇබ්බැහි වූ ළමුන් තුළ ද දැකිය හැකිව ඇත. දවස කළමනාකරණය කර ගැනීමට ඇති නොහැකියාව, ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයන් නිශ්චය කර ගැනීමට නොහැකිවීම, අනවධානය, නොඉවසිලිමත් බව, ඉක්මන් කේන්තිය ඉන් රෝග ලක්‍ෂණ කිහිපයක් ලෙස හඳුනාගත හැකිය.

මේ බලපෑම ගැන වෛද්‍ය රූමි රූබන් පැහැදිලි කළේ මෙලෙසය. 

“අන්තර්ජාලයේ වැඩි වෙලාවක් සැරිසරන විට අපේ මොළයේ තියෙන සතුට ගෙන දෙන ස්ථානය (Reward and Pleasure Centre) උත්තේජනය වෙනවා. එවිට ඩෝපමින් (Dopamine) නමැති රසායනය ඒ සෛල තුළට වෑස්සෙනවා. එහෙම වුණාම ඒ සෛලවලින් ඉල්ලන්නේම මේ අන්තර්ජාලයම තමයි. වෙනත් දෙයකට මනස යොමුකරන්න ඉඩ දෙන්නෙම නැහැ." මේ ඇබ්බැහියේ ගති ස්වභාවයයි.

අන්තර්ජාලයට ඇබ්බැහිවීම නිසා අධ්‍යාපනය කඩාකප්පල් කරගත් ළමුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා තමන් වෙත පැමිණෙන බවද ඔහු ප්‍රකාශ කළේ, "දරුවන් හුදෙකලාව නිසා පරිගණකයට ඇබ්බැහි වන අතර ඒ හේතුවෙන්ම ඔවුන්ගේ  ජීවිතය ඊටත් වඩා භයානක ලෙස හුදෙකලා වෙනවා. මේ නිසා දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වී ශරීර සෞඛ්‍ය දුර්වල වී ජීවිතය අඳුරු වෙනවා. මේ ගැන දෙමාපියන් විමසිලිමත් විය යුතුයි." යන අවවාදය ලබා දෙන අතරය. 

වසංගත අවදානම හේතුවෙන් පැමිණි ඔන්ලයින් අධ්‍යාපනයට මුවාවී පරිගණක හා ස්මාර්ට් දුරකතන ක්‍රීඩාවලට ඇබ්බැහිවීමේ ඩිජිටල් වසංගතයක් මේ වන විට ලෝකය පුරා පැතිර යමින් ඇත. මේ ක්‍රීඩා ද බරපතළ පීඩාවන් පසුව ඇති කිරීමට හේතු වන බව විශේෂඥ වෛද්‍ය රූමි පෙන්වා දෙයි. ඇබ්බැහිවීමෙන් තොරව පරිගණක ක්‍රීඩාවල යෙදීම අහිතකර නොවූවද ඩිජිටල් ක්‍රීඩාවලට ඇබ්බැහිවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2018 වසරේදී මානසික ආබාධයක් ලෙස පිළිගනු ලැබුවේ මෙවැනි ක්‍රීඩා තුළ ස්වයං පාලනය අඩුවීමෙන් ඉච්ඡාභංගත්වයට පත්වන නිසාය.

මේ නිසාම නිතර දෙවේලේ අන්තර්ජාලයේ සැරිසරන හෝ පරිගණක ක්‍රීඩාවේ යෙදෙන ළමුන් පිළිබඳව දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරයා අවධාරණය කරයි. පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ දරුවන් රුසක් මව්පියන් විසින් ප්‍රතිකාර සඳහා තමා හමුවට ද කැඳවාගෙන එන බව කී වෛද්‍යවරයා, මෙවැනි පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවීම මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට සමාන ලක්ෂණ පෙන්වන අතර දවසේ වැඩි කාලයක් කාලය පිළිබඳ කිසිදු පාලනයකින් තොරව ක්‍රීඩාවේ නිරත වීම, තම අත්‍යවශ්‍ය කටයුතුවලට කාලය යෙදවීමට අපහසු වීම, වෙනත් විනෝදාංශ කෙරෙහි ඇති ඇල්ම අඩුවීම, ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව නොලැබුණු විට කෝපයට, අසහනයට පත්වීම, නුරුස්සන ස්වභාවයෙන් හැසිරීම සහ අධ්‍යාපනයට ඇති ඇල්ම අඩුවීම ආදී ලක්ෂණ පෙන්වන බව පැහැදිලි කළේය.

‘‘පරිගණක ක්‍රීඩා කරන හැම දරුවෙක්ම ඒ සඳහා ඇබ්බැහි වන්නේ නැහැ. ඉහත කී ලක්ෂණ සහිත වූවන් ඇබ්බැහිවූවන් ලෙස සැලකෙනවා. මෙම ක්‍රීඩාවේ යෙදෙන ඇතැම් දරුවන් මව්පියන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් සොරකම් කර ක්‍රීඩාවේ යෙදී තිබෙනවා. ඒ අනුව මුදල් අවභාවිතයකුත් මෙහිදී සිදුවෙනවා. බොහෝ පරිගණක ක්‍රීඩා ප්‍රචණ්ඩත්වය මත පදනම් වූ ඒවා නිසා දරුවා අනාගතයේදී ප්‍රචණ්ඩ අයකු බවට පත්වීමේ දැඩි අවදානමක් තිබෙනවා.* ˝යැයි මනෝ වෛද්‍ය රූමි රූබන් පැවසීය. 

ඔබේ දරුවාත් එවැනි ඇබ්බැහිවීමක සිටී නම් තරවටු කිරීමෙන් තොරව ආදරයෙන් කරුණු පැහැදිලි කිරීමත් උදාහරණ පෙන්වා දීමත් දරුවාට වෙනස් වීමට අවශ්‍ය සහාය ලබා දීමත් ඉතා වැදගත් වේ. දරුවාට එවැනි පරිගණක ක්‍රීඩාවල ඇති සහාසිකත්වය පිළිබඳ අවබෝධ කර දීම, ඇබ්බැහි වන පරිගණක ක්‍රීඩා කිරීම අවහිර කිරීම, ළමා මනසට හිතකර පරිගණක ක්‍රීඩා සහ අධ්‍යාපනික ක්‍රියාකාරකම්වලට දරුවා යොමුකිරීම සහ දරුවා සමඟ එකඟතාවයකට පැමිණ සැලැස්මකට අනුව ක්‍රමානුකූලව ඇබ්බැහිභාවය අඩු කිරීමට කටයුතු කිරීම ඉතා වැදගත් වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අනෙකුත් ඇබ්බැහිවීම් මෙන් ඩිජිටල් ක්‍රීඩා ඇබ්බැහිවීම්ද ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන අතර තෙහෙට්ටුව, මිග්‍රේන්, සාංකාව බොහෝ විට දක්නට ලැබේ. ඩිජිටල් ක්‍රීඩාවලට ඇබ්බැහිවූවන්, නින්ද සහ ක්‍රියාකාරකම් අඩු උදාසීන ජීවන රටාවක් ගත කිරීමට පෙළඹෙන අතර, පෞද්ගලික පිරිසුදුකම හා සනීපාරක්ෂාව කෙරෙහි දක්වන්නේ ද අඩු උනන්දුවකි. එමෙන්ම සමාජය නොඉවසීම ඔවුන් තුළ දැකිය හැකි පොදු ලක්ෂණයක් වන අතර අන් අයට අපහාස කිරීම, පරුෂ වචන භාවිතය, තර්ජනය කිරීම සහ කලහ කිරීමද සුලබ ලෙස දැකිය හැකිය.

මෙවැනි ගැටලුවලින් ඈත් කර තම දරුවන් ආරක්‍ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව තබාගැනීම සඳහා දෙමාපියන් ගත යුතු පියවර කිහිපයක් බ්‍රිතාන්‍ය වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව පෙන්වා දෙන වෛද්‍ය රූමි ඒ ක්‍රියාකාරකම් අපේ රටේ මාපියන්ටද අනුගමනය සඳහා වැදගත් වන බව මෙසේ පැහැදිලි කළේය .

රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාවේදී සහ නින්දට යන විටදී ජංගම දුරකතන හෝ එවැනි උපකරණ භාවිත කිරීම වළක්වාලීම සහ පවුලක් ලෙස එකට එක් වී කතාබස් කිරීමට අවස්ථාව සැලසීම ළමුන්ගේ මානසික වර්ධනය සඳහා ඉතා වැදගත් වන හෙයින් ඒ සඳහා සැමවිටම කාල වේලාවක් වෙන් කර ගැනීම වැදගත්ය.

නිදන වේලාවේදී ඩිජිටල් තිර සහිත උපකරණ නිදන කාමරයෙන් ඉවත් කර තැබීම අනෙක් කාරණයයි.

අන්තර්ජාලය ආරක්‍ෂිතව පරිහරණය කිරීම සහ සයිබර් අවකාශය හරහා සිදුවිය හැකි මානසික හිරිහැර (cyber-bulling) පිළිබඳව පවුලේ සියලු දෙනා එක්ව සාකච්ඡා කිරීම, එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ නම් කළ යුතු දේ පිළිබඳව දරුවා දැනුවත් කිරීම වැදගත්ය.

පාර හරහා පැනීම හෝ සම්පූර්ණ අවධානය අවැසි එවැනි වෙනත් ක්‍රියාකාරකමක් කිරීමේදී ජංගම දුරකතනය භාවිත නොකිරීමට හුරු කිරීම, පැය දෙකකට වරක් දරුවා තිරයෙන් ඉවත් කර අසුනෙන් නැගිටවා වෙනත් ක්‍රියාවක යෙදවීම, සමාජ ජාලා පරිහරණය කරන දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යෙදවීම මෙන්ම දරුවන් සහ දෙමාපියන් අතර වැඩි සබඳතාවක් ගොඩනගා ගැනීමද ඉතා වැදගත් බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් අවධාරණය කර සිටියි.

උපුටා ගැනීම දේශය