🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පස්ගෝරස

පස්ගෝරස

කිරි, දී කිරි, මෝරු, එඬරු, ගිතෙල් යන ඔෟෂධයන් පස්ගෝරස ලෙස හැඳින්වෙයි. එය එකිනෙකට ගුණයෙන් වෙනස්වන අවස්ථාද දැකිය හැකිය.

1. කිරි

ගවයාගෙන් ලබාගන්න කිරි වර්තමානයේදී උණුකර පානය කිරීමට මිනිසා පුරුදු වී ඇතත් අතීතයේදී එය උණු කිරීමකින් තොරව පානය කරන ලදී. මිනිසාගේ බුද්ධිය, ප්‍රඥාව, ධාරණ ශක්තිය වර්ධනය කළ හැකි පානයක් ලොවේ නැති තරම්ය. එළකිරි මිහිරිය. සීතලයි. පිත හා වාතය නැසීමෙන් වළකයි. අධික ලෙස ශරීරය වෙහෙසවා වැඩ කරන අයට මෙන්ම මනස වෙහෙසවා වැඩ කරන අයටද ඉතාමත් ගුණදායක වන්නේ මානසික පීඩනය මෙන්ම ශාරීරික වෙහෙසද දුරු කරන නිසාය. ශරීරයේ උෂ්ණය පාලනය කරන අතරම ලේවල උෂ්ණ ගතියද නැතිකර ලේ විසවීමද දුරු කරයි. එම නිසා එළකිරි පානයට හුරුවීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිකර බෝවන රෝගවලින් ආරක්ෂා විය හැකිය.

2. දී කිරි

දී කිරි යනු මුදවාපු කිරිය. අනාදිමත් කාලයක සිට මනුෂ්‍යයාගේ ආහාරයක් වශයෙන් ප්‍රධාන තැනක් හිමිවන දී කිරි සාදනුයේ ගවයාගෙන් දොවන කිරිවලට මුහුන් දමා ටික වේලාවක් තැබූ පසු එය මිදීමට ලක් වෙයි. එය දී කිරි ලෙස හඳුන්වා වර්තමාන ලංකාවේ එළ දී කිරි, මී දී කිරි වශයෙන් කොටස් 2ක් ඇත. සමහර අය එළ ගවයන්ගේ දී කිරි අධික උෂ්ණ යැයිද පවසති. එය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවකි. එළ දී කිරිවලට වඩා මී දී කිරිවල තෙල් ප්‍රමාණය දෙගුණයක් වැඩිය. කෙසේ නමුත් දී කිරි මල කැටි කිරීම හොඳින් සිදු කරයි. උෂ්ණයි කෙට්ටු බව නැති කරයි. අත්වල, දෙපතුල් පැළීම, ආහාර අරුචිය, මුත්‍රා පිට නොවීම, ශරීරයේ දැවිලි ගතිය දුරුකර ශරීර ශක්තිය වැඩි කරයි. වර්තමානයේදී ආහාර ගැනීමෙන් පසුව පැණි සමඟ දී කිරි අනුභව කිරීමට බොහෝ අය පුරුදු වී සිටිති. එමඟින් ආහාර දිරවීම හොඳින් සිදුකරයි. එම නිසා ශුක්‍ර ධාතුව වඩවා ශක්තිය වැඩිකිරීමේ හැකියාව දී කිරි සතුව පවතී.

3. ගිතෙල්

ණය වීම සුදුසු දෙයක් නොවේ. එහෙත් ණය වී හෝ කෙනෙක් ගිතෙල් අනුභව කළයුතු බව අතීත ජන වහරෙත් කියමනක් ඇත. එසේ සඳහන් ඇත්තේ ගිතෙල්වල ඔෟෂධීය ගුණය නිසාය. ඉන්දියානුවන් ගිතෙල්වලට සලකන්නේ දේවත්වයෙනි. එයට හේතුව වනුයේ තෙල් වර්ග අතරින් ගිතෙල් උතුම්ම තෛලයක් වන නිසාය. ශරීර කාන්තිය , ප්‍රඥාව, ධාරණ ශක්තිය, ලිංගික ශක්තිය වැඩිකර ශුක්‍ර ධාතුව වැඩිකිරීමේ හැකියාවන් ගිතෙල් සතුව පවතී. මේ ගැන දැනසිටි පැරැණි මවුපියන් නිතර ආහාරයට ගිතෙල් යොදාගත් නිසා ශක්තිමත් පරපුරක් ඇතිවිය. වර්තමානයේ ගිතෙල් අනුභවය අඩුවීමත් සමඟම ශරීර ශක්තිය අඩුවී වදභාවය වැඩිවීම නිසා බොහෝ තරුණ තරුණියන්ට දරුපල අහිමි වී ඇත. ගිතෙල්වල ඇති ගුණ අලුත් හෝ පරණ තත්ත්වය අනුව වෙනස් වෙයි. අවුරුද්දකට වඩා පැරැණි ගිතෙල් ඔෟෂධ සඳහා වඩාත් සුදුසු වෙයි. පරණම වූ ගිතෙල් ඔෟෂධ වශයෙන් හෝ ආහාර වශයෙන් ගන්නේ නම් පිළිකාව, ලියුකේමියාව, සිරෝසීස් වැනි මාරාන්තික රෝග මෙන්ම අනෙකුත් රෝගවලින්ද මිදිය හැකිය. ඒ සඳහා මහා ඍත ගිතෙල් යෝග්‍ය වෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ගිතෙල් ආහාර වශයෙන් ලබාදිය හැකි නම් එම දරුවන්ගේ ධාරණ ශක්තිය වැඩි කරන නිසා ධාරණ ශක්තිය වඩවන දිව්‍ය අමෘතය ලෙස ගිතෙල් හඳුන්වයි. ගිතෙල් අනුභවය අක්මා රෝගවලට, අපස්මාරය, උන්මාදය, කරකැවිල්ල, මූර්ඡා, ඇස් කන් රෝග, කුෂ්ඨ රෝග, ගර්භාශගත රෝග, යෝනිගත රෝගවලට හිතකරයි. කෙසේ නමුත් ශක්ති සම්පන්න පරපුරක් උදෙසා ගිතෙල් ආහාරයට ගැනීමට හුරුවන්න.

4. වෙඬරු

වෙඬරු යනු බටර්ය. එළකිරි අනුසාරයෙන් පිළියෙල කරගන්නා බටර් බාල, වැඩිහිටි, මහලු සැමටම එකසේ ගුණදායකය. වෙඬරු චතුමධුරවලට ගනු ලබන ද්‍රව්‍ය අතරින් එකකි. ඉතා පහසුවෙන් දිරවිය හැකි පෝෂ්‍යදායී ආහාරයකි. භික්ෂුන් වහන්සේට මධ්‍යහ්න ‍දොළහ පසුවී වැළඳීම අකැපය. නමුත් වෙඬරු නොහොත් ගිතෙල් වැළඳීමට අවසරය ඇත. එමඟින් ශරීරය සැහැල්ලු වනු ඇත. බොහෝ අයට වෙඬරු අමෘතයක් බඳුය. තුන්‍ෙදාස් සමනය කිරීමේ ගුණය ඇති වෙඬරු මඟින් මල කැටි කරන අතර අර්ශස්, කාස රෝග සඳහා ගුණදායකයි. වෙනත් ආහාරයක් සමඟ හෝ තනිව ආහාරයට ගැනීමට පුරුදු වීම තුළින් නිරෝගී ශක්ති සම්පන්න ශරීරයක් මෙන්ම ශක්තිමත් මනසක්ද ගොඩනඟා ගැනීමට හැකිවනු ඇත. දරුවන්ට වෙඬරු අනුභවයට දීමෙන් මානසික සැහැල්ලුව මෙන්ම ශාරීරික සැහැල්ලුවද ශක්තියද ඇතිවෙයි.

5. මෝරු

මෝරු යනු දී කිරිවලට වතුර දමා දියකර ගත් විට එම දියරය වෙයි. එහි තෙල් ඉවත් කළ පසු එම දියරය මධුර රස හා ඇඹුල් රස වශයෙන් වර්ග වන මෝරු තරමක් උෂ්ණ ගතියෙන් යුක්තයි. ඇතැම් විට ශරීරයේ පිත වැඩි කරයි. ආහාර දිරවීමේ ක්‍රියාවලිය හොඳින් කරයි. එම නිසා අම්ල පිත තත්ත්වය සුව කිරීමේ හැකියාවක්ද ඇත. මෙය වර්තමානයේ ඉන්දියානුවන් පානයක් ලෙස භාවිත කරයි. එමඟින් ශරීරයේ උෂ්ණය පාලනය කර විස නසා රුධිරය පිරිසුදු කරයි.

ආයුර්වේද වෛද්‍ය රවීන් පතිරණගේ
ආයුඔසුපෙත, වෙද මැඳුර, උඩුකාව, දෙනිපිටිය
මව්බිම