🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සිසේරියන් සැත්කමට මුහුණ දෙන මවට උපදෙස්

දරු සම්පතක් මෙලොවට දායාද කිරීමට, උත්තරීතර මවු පදවිය දැරීමට හැකියාව තිබෙන්නේ කාන්තාවකට පමණි. සිසේරියන් සැත්කමකින් දරුවකු බිහි කළද, සාමාන්‍ය ආකාරයෙන් දරුවකු බිහි කළද මවකගේ මවු සෙනෙහස අංශු මාත්‍රයකින් හෝ වෙනසක් නොවේ. 

සිසේරියන් සැත්කමට භාජන වන මවුවරුන්ද දරුවකු මෙලොවට දායාද කරනුයේ බොහෝ අපහසුතා මධ්‍යයේයි. සිසේරියන් සැත්කමට සූදානමින් සිටින හෝ සිසේරියන් සැත්කමට භාජන වූ මවක් සැලකිලිමත් විය යුතු කරුණු රැසක්ම තිබෙනවා. සැත්කමට මුහුණදීමට ඔබ කායිකව මෙන්ම මානසිකවද සූදානම් විය යුතුයි. සිසේරියන් සැත්කමක් යනු කුමක්ද? එයට සූදානම්වන්නේ කෙසේද යන කරුණු අද කතා කරමු.

සිසේරියන් සැත්කමක් යනු ශල්‍යකර්මයක් මඟින් දරුවකුට උපත දීමයි. මවක් සිසේරියන් සැත්කමකට භාජන කිරීමට බලපාන හේතු සාධක කිහිපයක් තිබෙනවා. මවගේ සෞඛ්‍ය දුර්වලතාවන්, දරුවාගේ සෞඛ්‍ය දුර්වලතාවන් එයට ප්‍රධාන ලෙස හේතුවෙනවා. මෙම හේතූන්ට අමතරව සාමාන්‍ය දරු උපතකදී ඇතිවන වේදනාව මඟහරවා ගැනීමට මව විසින් කරනු ලබන ඉල්ලීම් මතද සිසේරියන් සැත්කම් සිදුවනවා. මවගේ ඉල්ලීම මත සිසේරියන් සැත්කම් සිදුකිරීම ලොව පුරා නව ප්‍රවණතාවක් බවටද පත්ව තිබෙනවා. 

සිසේරියන් සැත්කම් ඇරඹුණු මුල් යුගවලදී මවගේ සිහිය නැති කර එම සැත්කම කරනු ලැබුවත් වර්තමානයේදී සැත්කම කරනු ලබන්නේ මවගේ පපුවේ සිට පහළ කොටස හිරිවැටීම මඟිනුයි. මේ සඳහා කොඳු ඇට පෙළේ පහළ කොටසට එන්නතක් ලබාදෙන අතර එමඟින් සිරුර හිරිවට්ටනු ලබනවා. 

සිසේරියන් සැත්කම් සැලසුම් කළ හෝ නොකළ සැත්කම් ලෙස සිදුවිය හැකියි. මවගේ හෝ දරුවාගේ සංකූලතා ප්‍රථමයෙන් හඳුනාගෙන හෝ මවගේ ඉල්ලීම මත ශල්‍යකර්මය සිදුකෙරෙන්නේ නම් එය සැලසුම් කළ ශල්‍යකර්මයක් වන අතර සාමාන්‍ය දරු ප්‍රසූතිය අතර දරුවාගේ හෝ මවගේ ජීවිතයට හානි විය හැකියි යැයි වෛද්‍යවරුන්ට වැටහෙනවා නම් හදිසි ශල්‍යකර්මයක් වෙත යොමු වෙනවා.

සැලසුම් කළ ශල්‍යකර්මයකදී ශල්‍යකර්මයට පෙර දිනයේදී මව ස්නානය කළ යුතුයි. ඉන්පසු වෛද්‍ය උපදෙස් මත පැය 6ක් නිරාහාරව සිටිය යුතුයි. ශල්‍යකර්මයේදී ආහාර ශ්වසන මාර්ගයට ඇතුළුවීම වැළැක්වීම එයට හේතුවයි. සැලසුම් නොකළ ශල්‍යකර්මයකදී නම් ඔෟෂධ මාත්‍රාවක් ලබාදීමෙන් ආහාර මාර්ගයේ තිබෙන ආහාර අවම කරනු ලබනවා.

බොහෝ මවුවරුන් සිසේරියන් සැත්කම තෝරාගනු ලබන්නේ සාමාන්‍ය දරු උපතකට වඩා සාපේක්ෂව වේදනාව අවම වීම නිසයි.  නමුත් ශරීරයේ ඇති හිරි ගතිය ඉවත්වුණු පසු තුවාලයේ වේදනාව දැනෙන්නට පටන් ගැනෙනවා. ඇතැම් මවුවරුන් සැත්කමට යෑමේදී හිරිනොවැටේවි යැයි අනියත බියක් ඇති කරගනු ලබනවා. හිරිවැටීමට ඔෟෂධ එන්නත් කළ පසු මවට හිරිවැටී ඇත්දැයි කිහිප වරක්ම පරීක්ෂා කර බලා හිරිවැටී ඇත්නම් පමණක් සැත්කම සිදුකරනු ලබන අතර හිරිනොවැටී ඇත්නම් පමණක් සිහිය නැති කිරීමක් සිදුකරනවා. විනාඩි 40ක් පැයක් අතර කාලයේදී මෙම සැත්කම සිදුකරනු ලබන අතර දරුවා බිහිකළ සැනින් දරුවාගේ හඬ ඇසීමටත් දරුවා දැකගැනීමටත් මවට හැකියාව ලැබෙනවා. මවගෙන් මවට උදරයේ කපනු ලබන ප්‍රමාණය වෙනස් වෙනවා. 8cm ත් 10ත් අතර ප්‍රමාණයක් කපනු ලබන අතර හිරිවැටීම පැය 3-4ක කාලයක් පවතිනවා. මව සාමාන්‍ය තත්ත්වයට පත්වුණු පසු වේදනාවට සුදුසු ඔෟෂධ ලබාදෙනු ලබනවා. දරු ප්‍රසූතියෙන් දින 3ක් පමණ රෝහලේ මව තබාගන්නවා. වර්තමානයේදී බොහෝවිට තුවාලයට යොදනු ලබන්නේ ශරීරයේම දියවී යන සැරවුම් ද්‍රව්‍ය නිසා මැහුම් ඉවත් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මෙය වෙනස්වීමටත් ඉඩ ඇති නිසා රෝහලෙන් පිටවීමට පෙර ඒවා පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත් වෙනවා. 

සිසේරියන් සැත්කමද ස්වාභාවික දරු උපතක් මෙන්ම ආරක්ෂිත වන අතර මවගේ සහ දරුවාගේ බැඳීමට මෙය කිසිදු ගැටලුවක් වන්නේ නැහැ. හිරිවැටීම ඉවත් වූ පසු මවට වේදනාව දැනීම, වැඩි රුධිර ප්‍රමාණයක් වහනය වීම, සිසේරියන් සැත්කමට භාජන වන මවක් දෙවැනි දරු උපත සඳහා ද සිසේරියන් සැත්කම වෙත යොමුවීමේ ප්‍රවණතාව වැඩිවීමද මෙහි අයහපත් පැතිකඩයි.

උපුටා ගැනීම මව්බිම