🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කැස්ස නිරෝගි බවේ ලකුණක්

කැස්ස නිරෝගි බවේ ලකුණක්


වැස්සට පින්නට අහුවුණාට අවේලාවේ නෑවට කැස්ස ඇතිවෙන්නේ නෑ. ආදරය හැංගුවත් කුමක් කරලාවත් කැස්ස නම් හංගන්නම බැරිය. ඒ නිසාම කැස්ස කරදරයක් සේ සිතන අය ද සිටිති. එහෙත් කැස්ස යනු නිරෝගි පුද්ගලයකුගේ ලක්ෂණයකි. හංගන්න බැරි කැස්ස ගැන අප විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතාගෙන් මෙසේ දැන ගතිමු.

කැස්ස කියන්නේ කුමක් ද?

ඇත්තටම කැස්ස රෝග ලක්ෂණයක්. එය රෝගයක් නොවෙයි. ඒ වගේම එය අපේ සිරුරෙන් මතුවන ආරක්ෂක ක්‍රියාවලියක්. එය නිරෝගී කෙනෙකුගේ ලක්ෂණයක්.

කැස්ස ඇතිවෙන්න හේතු මොනව ද?

යමක් ගිලින විට එය ගලනාලය නැත්නම් ආහාර මාර්ගයට ඇතුළු නොවී ස්වාසනාලයට ඇතුළු වුණහොත් වහා කැස්ස ඇති වී ඒ ආහාරය පෙණහලුවලට යාම වළක්වනවා. ඒ වගේම උගුරේ ආසාදනයක් හෝ ප්‍රදාහ තත්ත්වයක් ඇතිවූ විටත් කැස්ස ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැස්ස හැදෙන්නේ පෙණහලුවල නිපදවන සෙම එළියට ගන්න. නහයට පිටින් යමක් ඇතුළු වුණොත් කිවිසුම් යනවා, බඩට වෙනස් යමක් ඇතුළු වුණොත් වමනේ යනවා වගේ පෙණහලුවලට පිටින් යමක් යන්න හැදුවොත් කැස්ස එනවා. මීට අමතරව උගුරේ හෝ පෙණහලුවල පිළිකාවක් වගේ රෝගයක් ඇති වුණාම සිරුර හිතන්නේ අනෙක් දූවිලි අංශු ආදිය වගේ එයත් කැහැලා එළියට දාන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ වගේ රෝගවල ලක්ෂණයක් ලෙසත් කැස්ස හැදෙනවා. රසායන ද්‍රව්‍ය, දුම්පානය වැනි හේතු නිසාත් කැස්ස ඇතිවන්න පුළුවන්.

විවිධ හේතු නිසා ඇතිවන කැස්ස හඳුන්වන නම් තිබෙනවා නේද?

ඔව්. ඇදුම විසර්ජකයක් නැත්නම් ඇඟට අල්ලන්නේ නැති දෙයක් නිසා එය පිට කරන්න උත්සාහ කරන කැස්ස ඇදුම කැස්ස කියා හඳුන්වනවා. රාත්‍රි කාලයේ හෝ උදේ පාන්දර කැස්ස ඇතිවීම තමයි මෙහි ලක්ෂණය. පෙණහැල්ලේ ඇතිවන සෙම ඉවත් කරන්න එන කැස්ස සෙම කැස්ස. ඒ වගේම වියළි දේශගුණය පිට උගුරේ යාම හෝ පපුව තුළ ස්වසන මාර්ගයෙන් පිටත ඇතිවන ගෙඩි, පිළිකා වැනි ආබාධ නිසා ඇතිවන කල් පවතින කැස්ස වියළි කැස්ස නමින් හඳුන්වනවා.

වැස්සට පින්නට තෙමුණු විටත් කැස්ස ඇතිවන්න පුළුවන් ද?

කිසිසේත්ම නැහැ. අපේ සංස්කෘතියේ වැස්සට, පින්නට, අවේලාවේ නෑවාම කැස්ස ඇති වනවා කීවට එහෙම දෙයක් නැහැ. නමුත් ඔය කියන දේවල් තමන්ට විසර්ජකයක් නම් ඒ කියන්නේ ඇලජික් නම් එහෙම වෙන්න පුළුවන්. එය එකිනෙකාගෙන් වෙනස් වෙනවා. ඒ නිසා එක්කෙනකුට අවේලාවේ නෑවාම කැස්ස ඇතිවුණු පළියට තමන්ටත් එහෙම වනවා කියා සිතන්න එපා. ඒ වගේම, සීතල උෂ්ණාධික ආදි කියා කෑම විශේෂ නැහැ. ඒ සියල්ල මානසිකව හෝ විසර්ජක හේතුවෙන් ඇතිවන තත්ත්ව.

ඔබ කීවා කැස්ස ඇතිවන්නේ පෙණහල්ලේ සෙම ඉවත් කරන්න කියා. ඇත්තටම සෙම කියන්නේ කුමක් ද?

ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් තමයි, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වා, පිත්, සෙම්, කියන වර්ගයේ සෙමක් ගැන නොවේ අපේ වෛද්‍ය විද්‍යාවේ කතා කරන්නේ. අපි පෙණහලුවල සෙම කියන්නේ අපේ කටට කෙළ උනනවා වගේ ශ්වාසනාළය තුළ ඇතිවන ශ්‍රාවයට තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ සෙම කියන්නේ.

සෙම පැසවනවා කියන්නේ කුමක් ද?

බැක්ටීරියා නිසා වගේම වයිරස් නිසාත් ශ්වසන මාර්ගයේ ආසාදන ඇති වනවා. වයිරස නිසා ඇතිවන ආසාදන හේතුවෙන් සෙම සුදු හෝ කහ පැහැයක් ගන්න පුළුවන්. නමුත් බැක්ටිරියා නිසා ඇතිවන ආසාදන හේතුවෙන් සෙම කහ, අළු, හෝ කොළ පැහැයක් ගන්න පුළුවන්.

එසේ පැහැය වෙනස් වන්නේ ඇයි?

උගුර ඇතුළු ස්වසන මාර්ගයේ බොහෝ ආසාදන ඇති කරන්නේ වයිරස මඟිනි. නමුත් බැක්ටිරියා ආසාදනයක් ඇතිවූ විට සුදු රුධිරාණු මියයාම නිසා වර්ණයක් ඇතිවන්න පුළුවන්. ඒ වගේම සුඩමොනාස් බැක්ටිරියාව නිසා සෙම කොළ පාට වන්න පුළුවන්. එයට ලේ එක් වුණොත් රතු පැහැ වෙනවා. එය කල් ගියොත් අළු හෝ කළු පැහැ වන්නත් පුළුවන්. ඒ වගේම ඇලජික් තත්ත්වය නිසා සෙමෙහි දියර ගතිය වැඩි වන්නත් පුළුවන්.

සෙම කැස්ස හා වියළි කැස්ස අතරින් වඩා අපහසු කුමක් ද?

සෙම කැස්ස ඇතිවන්නේ ශ්‍රාවයක් සමඟයි. ඒ නිසා ආරක්ෂිතයි. නමුත් වියළි කැස්ස හරිම කරදරකාරියි. ඒ නිසා බොහෝ අය වියළි කැස්ස ඇතිවූ විට බෙහෙත් ඉල්ලනවා. කැස්ස අඩුවීමට කැස්ස පැණි වර්ග විශාල සංඛ්‍යාවක් තිබෙනවා. එසේ එකම ලෙඩකට බෙහෙත් වර්ග වැඩි ගණනක් තිබෙනවා කියන්නේ එක බෙහෙතක්වත් හරියටම හරියන්නේ නැහැ කියන එකයි. එක බෙහෙතකින්වත් හරි විදිහේ බලපෑමක් කරන්න බැහැ කියන එකයි. නමුත් රෝගියාගේ භූමිකාව තමයි තමන්ට ලෙඩක් තිබෙන බව පෙන්වීමට මේසය මත බෙහෙත් පෙති, පැණි ආදිය තබාගෙන සිටීම. සමහර විට ඒ අවශ්‍යතාව දන්නා නිසාත් රෝගියාගේ මානසික සුවය හා කැස්ස වැඩිවීම වැළැක්වීමටත් බෙහෙත් පැණි වර්ග නියම කරන අවස්ථා තිබෙනවා.

කුඩා දරුවන්ට කැස්ස ඇති වූ විට එය කුමන රෝගයක ලක්ෂණයක් දැයි හඳුනා ගන්නේ කෙසේද?

පුංචිම දරුවන්ට වුණත් කෑම, කිරි වැනි දෙයක් පිට උගුරේ ගිය විට කැස්ස එන්නම ඕන. එමඟින් තමයි ඒ ද්‍රව්‍ය එළියට එන්නේ. පොඩි දරුවන් යමක් කටේ දාගෙන එයින් කැස්සක් එන විට කට උල් කර දිව එළියට දමා කහින විට එය මවට තේරෙනවා. එසේ නොවී දිගට ම වේදනාකාරී කැස්සක් බව දැනෙනවා නම් වේගයෙන් හුස්ම ගැනීම, උණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත ගෙන යා යුතුයි. එවිට දිව පහළට තද කර උගුර පරීක්ෂා කිරීමෙන්, සෙම්ගෙඩි විශාල වී ඇත් ද? වෙන යමක් සිදු වී ඇත් ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි. කෙසේ වෙතත් දරුවකු රටකජු ඇට වැනි යමක් හිර කර ගැනීම නිසා මරණය වුවත් සිදුවන්න පුළුවන්. ඒ නිසා ක්ෂණිකව ප්‍රථමාධාර ලෙස දරුවා කකුල් දෙකෙන් උස්සා හිස පහළට සිටින පරිදි ගෙන පිටට තට්ටු කළ යුතුයි. එසේ යමක් හිර වී ඇත්නම් සිරුර නිල් පැහැ වේගන එන බවත් දකින්නට පුළුවන්. ප්‍රථමාධාර දෙන අතර වහාම වෛද්‍යවරයකු වෙත ගෙන යාමද අත්‍යවශ්‍යයි.

වැඩිහිටියකුට වුවත් කළ යුත්තේ මෙයමද?

ඔව්. දියරයක් හෝ ගනද්‍රව්‍යයක් පිට උගුරේ ගිය විට කැස්ස හට ගන්නවා. ඒ ඕනෑම වේලාවක හිස පහළට සිටින සේ තබා ඒ ද්‍රව්‍ය එළියට ඒමට සැලැස්වීමයි කළ යුත්තේ. යමක් පිට උගුරේ ගොස් හිර වී හුස්ම ගැනීමට අපහසු වීම මිය යාමට වුවත් හේතුවක්. නමුත් එසේය කියා උගුරට ඇඟිල්ල දමා ඒවා ගැනීමට උත්සහ කරනවාට වඩා සුදුසු පෙර කී පරිදි ප්‍රථමාධාර දීමයි. එසේ ඔසවන්නට බැරි තරම් තරබාරු කෙනකු නම් බිම හාන්සි කරවා බඩ වේගයෙන් තද කිරීමෙන් ඒ දෙය එළියට ගැනීමට පුළුවන්.

කැස්ස දිගටම පවතිනවා නම් හොඳ නෑ නේද?

සති දෙකකට වඩා ඕනෑම කැස්සක් පවතිනවා නම් අත් බෙහෙත් කරමින් සිටීමට වඩා වැදගත් වන්නේ වෛද්‍යවරයකු හමු වී පරීක්ෂණවලට ලක්වීමයි. මොකද ඒ කැස්ස ක්ෂය රෝගය, ඇදුම, නියුමෝනියාව පිළිකාව වැනි ‍රෝගයක ලක්ෂණයක් විය හැකියි. එය නිවැරදිව සොයා ගැනීම සඳහා එක්ස් කිරණ පරීක්ෂණයක් වෛද්‍ය නිර්දේශය අනුව කිරීම නුවණට හුරුයි.

හෘදයාබාධ හා කැස්ස අතර සම්බන්ධයක් තිබෙනවද?

හෘදයාබාධ ඇතිවන වේලාවේ පෙණහලුවල රුධිරය හෘදයට නොයන නිසාත් හෘදයේ රුධිරය ද පෙණහලු කරා එන නිසාත් පෙණහලු රුධිරයෙන් පිරී කැස්ස ඇතිවන්න ඉඩ තිබෙනවා. නමුත් මෙය කලාතුරකින් සිදුවන දෙයක් මිස කැස්ස හෘදයාබාධයක ලක්ෂණයක් නොවේ. නමුත් දැන් දැන් පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා හෘදයාබාධයක් හැදුණු බව කියනවා නම් වැර යොදා කහින විට එය ජීවිත ආරක්ෂාවට හොඳයි කියා. හේතුව හාට් මසාජ් ලෙස පිටතින් වෛද්‍යවරුන් කරන තෙරපීම, කහින විට රෝගියා විසින් ම කර ගන්නා සම්බාහනයක් බඳුයි කියායි ඒ පර්යේෂණවලින් පැවසෙන්නේ.

නින්දේ දී එන කැස්සට හේතුව?

නින්දේදී අපේ කටේ උනන කෙළ පිටතට යාමට හෝ ගිලීමට ලක් නොවී ශ්වාසනාලයට ඇතුළු වූ විට කැස්ස ඇති වනවා. නමුත් මෙය නිතර සිදුවනවා නම් එය ස්නායු පද්ධතියේ ආබාධයක් විය හැකියි. තරබාරු අයට එවැනි දේ බොහෝ විට සිදුවනවා. ඒ සඳහා නිදන ඉරියව්ව වෙනස් කිරීම, කොට්ට කීපයක් තබා හිස උසකින් තබාගැනීම මඟින් කැස්ස වළක්වා ගත හැකියි.

පණු රෝගවලටත් කැස්ස ඇතිවනවා නේද?

ඔව්. එයට කියන්නේ පණු කැස්ස කියලා. සමහර වට පණුවන් කොකු පණුවන් තම ජීවන චක්‍රය සඳහා මිනිස් පෙණහල්ල හරහා යනවා. විශේෂයෙන් වට පණුවන් පෙණහල්ලෙන් ශ්වාසනාලය දිගේ පැමිණ ගලනාලය ඔස්සේ නැවත ආහාර මාර්ගය දිගේ යමින් තමයි ජීවන චක්‍රය සම්පූර්ණ කරන්නේ. එසේ පණුවන් ශ්වාසනාළයෙන් ගමන් කරන විටත් කැස්ස ඇතිවෙනවා. ඒ සඳහා පණු බෙහෙත් ලබා දිය යුතුයි.

සමහරුන්ට කැස්ස සමඟ මුත්‍රා පිටවනවා?

කාන්තාවන්ට තමයි එසේ වන්නේ. දරුවන් ලැබීමේදී ශ්‍රෝණි පෙදෙසේ පේශි දුර්වල වූ විට මුත්‍රාශය, ගර්භාෂය මෙන් ම ගුද මාර්ගයත් පහළට එන්න බලනවා. කැස්ස එනවිට ඒ ප්‍රදේශ ලිහිල් නිසා මුත්‍රා පිටවන්න පුළුවන්. ඊට පිළියමක් ලෙස මුත්‍රා කිරීමේදී වරින් වර නතර කරමින් මුත්‍රා කිරීමේ ව්‍යායාමය මඟින් මෙය පාලනය කර ගත හැකියි.

වියපත් අයට සමහර විට කැස්ස ඇති වන්නේ නෑ?

ඔව්. වියපත් වන විට ස්නායු මෙන් ම පේශි දුර්වල වීම නිසා එවැනි තත්ත්වයක් හට ගන්න පුළුවන්. සමහරවිට ඔවුන්ට නියුමෝනියාව හැදුණත් උණ හෝ කැස්ස ඇතිවන්නේ නෑ. කැස්ස ඇති නොවන්නට හේතුව මහාප්‍රාචිර පේශි දුර්වල වීමයි. ඒ නිසා රෝගය උත්සන්න වී ක්ලාන්ත වීමට පවා හැකි නිසා කළ යුතු හොඳම දෙය වන්නේ වහාම වෛද්‍යවරයකු හමුවී එක්ස් කිරණ පරීක්ෂණයක් කර ගැනීමයි.

සමාජය ඉදිරියේ තදින් කැස්ස එන විට ලජ්ජාවට එය තද කර ගැනීම හොඳද?

හොඳ ම නැහැ. අනෙක් අයට අවහිරයක් නොවන ලෙස ලේන්සුවක් හෝ අත තබා කැස්ස පිටවීමට ඉඩ දිය යුතුයි. කිවිසුම් ද ආම වාතයද එසේ පිට කළ යුතු දේවල්. ඒවා තද කර ගැනීම සිරුරට අපහසුවක්. විශේෂයෙන් කැස්ස තද කර ගැනීම නිසා යුෂ්ටෙකිය නාළ දිගේ කන්වලට ඒ විෂබීජ යන්නත් කන් තද වූ බවක් දැනෙන්නත් ඉඩ තිබෙනවා.

කැස්ස අවම කර ගැනීමට ප්‍රතිකාර මොනවාද?

වතුර හෝ දියර වර්ග වැඩිපුර පානය කිරීමෙන් සෙම බුරුල් වනවා. හුමාලය ඇල්ලීමෙන් ද ශ්වසන මාර්ගයේ වියළි ගතිය අඩු වී සෙම බුරුල් වනවා. උගුරේ වේදනාව හෝ කසන ගතිය මඟ හරවා ගන්නට සූකිරි, තල් සූකිරි හෝ වෙනත් වාෂ්පීය ටොෆි වර්ග භාවිත කළ හැකියි. නාසය වියළී තද වී ඇත්නම් ලිහිල් කිරීමට ඖෂධ බින්දු නාසයට දැමීමට ද හැකියි. ‍‍සෙම්ප්‍රතිශ්‍යාව හෝ ආසාත්මිකතාවක් නිසා අධික ලෙස දියර සමඟ කැස්ස එනවා නම් පිරිටන් වැනි ඇන්ටිහිස්ටමින් ඛණ්ඩයට අයත් ඖෂධ භාවිත කරන්න පුළුවන්. කැස්ස සඳහා භාවිත කරන සිරප් හා පෙති වර්ග දෙකක් තිබෙනවා. ගුවෆෙනසින් අඩංගු ඖෂධ මඟින් සෙමෙහි ගණත්වය අඩුකර සෙම ඉවත් කරන අතර ඩෙක්ස් ට්‍රොමෙනෙෆන් අඩංගු ඖෂධ කැස්ස අවම කරනවා. ඒවා භාවිතයෙන් රාත්‍රියේ කැස්සෙන් තොර සුව නින්දක් ලබා ගන්න පුළුවන්. 

ඒ කුමක් වුවත් නිර්දේශ කළ යුත්තේ පවුලේ වෛද්‍යවරයා බව තරයේ මතක තබා ගන්න.

අරුණි මුතුමලි

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත