🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කාන්තා­වක් තමන්ගෙ බාහිර පෙනුම නඩත්තු කරන්නේ මෙහෙ­මයි

කාන්තාවක් සෑම විටම රූ සපුව වගේම අඳින පලඳින විදියත් සිතිය යුතුය.බොහෝවිට ලාංකීය සමාජයේ අඳින ඇඳුමෙන් මිනිසුන් මැනීම සාම්ප්‍රදායික සිරිතකි. තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ලෝකයේ මිනිසුන් බොහෝවිට තමන්ගේ ඕනෑ එපාකම් සපුරා ගන්නා අතර ඇඳුම පැලඳුමට දෙන්නෙ අඩු අවධානයකි. විශේෂයෙන්ම කාන්තාව යම්කිසි වෘත්තියක නියැළෙනවා නම් සහ කුමක් හෝ දෙයකදි ඇඳුම් පැලඳුම් පාවහන් සහ නිය ආලේපන සහ බෑගය ආදිය ගැන පවා සිතිය යුතුය. ඉතින් අද රූ රහස් ඔබව දැනුම්වත් කරන්නේ කාන්තාවක් ලෙස ඇඳුමෙන් පැළඳුමෙන් කැපී පෙනෙන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා ඔබව දැනුම්වත් කරන්නෙ ඩුබායි, නෙදර්ලන්තය, සිංගප්පූරුව සහ මාලදිවයිනෙහි මෙන්ම ශ්‍රී ලංකාවේද පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ආරෝෂි කෞෂල්‍යා හේරත් ය.

‘අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ කාන්තාවන්ට වැදගත් වන අතිවිශේෂ කාරණාවක්. ලංකාව කියන්නෙ සංස්කෘතිය ගැන හිතන රටක් නිසා දකින දකින ඇඳුම් පැලඳුම් භාවිත කිරීම අපහසුයි. නමුත් කාන්තා විලාසිතා වෙළඳපො‍ළේ විවිධාකාරයෙන් අපට දකින්නට පුළුවන්. ඒ සෑම විලාසිතාවක්ම අපට ගැළපෙනවාද, අප කවුද, අපේ වෘත්තිය මොකක්ද කියන දෙය අප සිතිය යුතුයි. අපි විලාසිතාවක් තෝරා ගැනීමේදී අපේ වෘත්තීය පිළිබඳ අප සිතිය යුතුයි.

‘මම බොහෝවිට දකින දෙයක් තමයි කාර්යාලයක රැකියාවක් කරන කාන්තාවන් බොහෝවිට ඩෙනිමට ටීෂර්ට් එකට හුරු වී තිබීම. එහි වැදගත්කම බොහොම අඩුයි. ඩෙනිමක් ඇද ටීෂර්ට්යක් සහ සෙරෙප්පු දෙකක් දමා අපිට කඩයට යාමට හැකියි. නමුත් එය කාර්යාලයකට නුසුදුසුයි. සෑමවිටම අප අඳින ඇඳුම් අපේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් නම් ස්මාර්ට් කැෂුවල් විය යුතුයි.ලංකාව කියන්නෙ ඇඳුමෙන් පැලඳුමෙන් මිනිසුන් මනින රටක්. අප තැනකට ගිය පසුවත් අපේ ඇඳුමෙන් අපව දුටු විට සැලකිලි ලැබෙනවා සේම පිළිගැනීමද එලෙසම ය. මම මේ වෙනස හොඳින් අත්විඳ තිබෙනවා. ලංකාවේ මිනිසුන් ඇඳුමට පැලඳුමට වාහනයකට තමයි සලකන්නෙ.

සෑම විටම අප ඇඳුමක් අඳින විට ලොකු ආභරණ පැලඳීමට අවශ්‍ය නැත.කාන්තාවකගේ බ්‍රෑන්ඩ් එක විය යුත්තේ ඔබ අඳින ඇඳුම, ඔබ පලඳින පාවහන් සහ ඔබ දමන අත්බෑගය සහ ඔරලෝසුවයි. ඔබ දකිනවා ඇති බොහෝ අය රත්තරන් බොහොමයක් පැලඳ රැකියාවට යනවා. නමුත් ඔබ බලන්න ඔරලෝසුව, ඔබේ පාවහන් යුගල ඔබට කොතරම් අපූරු ආභරණයක්ද කියලා. කොතරම් මිල මුදල් අපට තිබුණත් සමාජයට ගිය විට අපේ ඇඳුම පැලඳුම අවලස්සනයි නම් අපට ලැබෙන්නෙ අඩු සැලකිල්ලක්. එය ලංකාවේ හැටි. පිට ඔපයෙන් මිනිස්සු මනින සමාජයක් මෙය.

කාන්තාවන්ට අතිශය වැදගත් කාරණයක් වන යට ඇඳුම් බොහෝ සිතා බලා තෝරා ගතයුතු දෙයක්. අපේ රට තරමක් ඌෂ්ණය පවතින රටක්. ඒ නිසා කාන්තාවන් පරිස්සම් විය යුතුයි මේ කාරණයේදී. යට ඇඳුම් කලාව ලෝකයේ වෙනම ආර්ට් එකක්. විවිධාකාරයෙන් අපට දකින්නට ලැබුණත් ඒ සෑම දෙයක්ම අපට පාවිච්චි කරන්නට බැහැ. නැතිනම් සමේ රෝග ආදිය හට ගැනීමේ ඉඩකඩ වැඩියි.ඊළඟට විවිධ වර්ණයෙන් යුතු යට ඇඳුම් තියෙනවා. නේක වර්ණ දුටු විට නිතැතින්ම ඒ දේවල් ගැනීමට ගැහැනුන් පෙලඹෙනවා. සෞඛ්‍ය පැත්තෙන් සහ සමේ ආරක්ෂාව පිළිබඳ සිතා අප තෝරා ගත යුත්තේ අපේ සමට ගැළපෙන දේවල් ය. යට ඇඳුම් ලංකාවේ දේශගුණයට උචිත විය යුතුයි. අපට සාමාන්‍යයෙන් ගැළපෙන්නේ විස්කෝස් සහ කපු ආදී යට ඇඳුම් අප වර්ණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. උදාහරණයක් ලෙස සිතන්න. අප උඩ ඇඳුම ළා වර්ණයෙන් ඇඳ යට ඇඳුම තද වර්ණයෙන් ඇන්දහොත් එය කැපී පෙනෙනවා නේද? එවිට අප පාරේ යනවිට සමාජයේ විහිළුවකට ලක් වෙනවා. මේ දේවල් කතා කළ යුතු නමුත් කතා නොකරන දේවල්. නියපොත්තේ සිට කෙස් ගහට යනකම්ම අප සිතිය යුතුය.

අනිත් කාරණය අප බොහෝවිට ස්වභාවික මේකප් එකකට යා යුතුය. අප ස්වභාවික ලස්සන පෙන්වීමට උත්සාහ කළ යුතුය. කියුටෙක්ස් භාවිත කරන විට දෙපාවලට තද පාටක් ද දෙඅත් වලට ළා පාටක්ද ගැල්වීමෙන් එය මනාව ගැළපෙයි. අප කොපමණ ලස්සනට ඉන්න සිතුවත් මේ අඩුපාඩු කැපී පෙනුණොත් එය ලස්සනකට වඩා අවලස්සනක් වේවි. විවාහ මංගල්‍යකට ගියත් චාම් මේකප් එකකින් සැරසිය යුතුය. උදෑසන ළා පැහැති ඇඳුමක් හා රාත්‍රියේදි තද පැහැති ඇඳුම් මංගල උත්සවවලදී සුදුසුයි.

ඊළඟට පාවහන් අපගේ ඇඳුමට ගැළපෙන ලෙස භාවිත කළ යුතුයි. කළු සපත්තු ඕනෑම ඇඳුමකට ගැළපෙන අතර අනෙක් පාවහන් ඇඳුමට ගැළපෙන ලෙස පැලඳිය හැකියි. තවද හීල් එකක් සහිත සෙරෙප්පු පැලඳීමෙන් ඔබට අමුතු ලස්සනක් ගෙන දෙයි. නියපොතු ආදියද පිරිසිදු විය යුතුය. හෑන්ඩ් බෑග් එකද අපට ගැළපෙන එකක් තෝරා ගත යුතුය.අපට එසේ කිරීමට මුදල් නැති විය හැකියි. නමුත් සෑම ඇඳුමකටම ගැළපෙන පාවහන් යුගලක් අපට මිලදී ගත හැකියි. බොහෝ උසස් තනතුරු කරන පුද්ගලයන් බෑග් එක පවා නොගැළපෙන ලෙස භාවිත කරනවා. අප කවුද යන්න අප අවබෝධ කරගත යුතුයි. බෑග් එකට හැමදේම දා ගැනීම පහසුයි කියන තැන නෙමෙයි; මට මෙය ගැළපෙනවද කියන තැනයි අප සිතිය යුත්තේ.

බොහෝවිට ලංකාවේ මිනිසුන් තමන්ගෙ තත්ත්වය පෙන්වන්නේ රත්තරන් පෙරවීමෙන්. නමුත් ඔරලෝසුව පමණක් පැලඳීමෙන් ඔබේ සුන්දර බව බලන්න. බසයක යනවිට අත් රහිත ඇඳුම් ඇඳීම මගින් අපහසුතාවට පත්විය හැකිය. ඒ නිසා ඒ පිළිබඳත් ඔබ සිතන්න. කාන්තාවක් සෑම දෙයකින්ම පරිපූර්ණ විය යුතුයි. කැපී පෙනිය යුතුයි. ඔබත් මේ එක කරුණක් හෝ අනුගමනය කරන්න. එවිට දවසින් දෙකෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර බලන්න.

උපුටා ගැනීම සිළුමිණ