🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ව්‍යායාම කරලා නතර කළොත් මහත් වෙනවද?

දිනපතා ව්‍යායාම් කරමින් ක්‍රියාශීලීව දවස ගත කරන ඔබට කාර්යබහුලත්වය නිසාම  මේ දේවල් අතපසුවන්නට පුළුවන්. ව්‍යායාම නැවැත්වීමෙන් පසු සිරුර තරබාරුවීම හා රෝග අවදානමද පවතින නිසා මේ කාරණා  ගැන දැනුවත් වෙමින් ව්‍යායාමවල නිරත වීම වඩාත් සුදුසුයි.

නිතරම ව්‍යායාම්වල යෙදෙමින් දවස ගත කරන පුද්ගලයෙක් යම්  හේතුවක් නිසා ව්‍යායාම් නැවැත්වුවහොත් ඔහුගේ හෝ ඇයගේ සිරුරේ ජව සම්පන්න බව(fitness) තුන් ගුණයකින් පමණ අඩුවන බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.

බොහෝ විට පාසල් සමයේ නිතරම ක්‍රීඩාවන්ට සහභාගි වන තරුණ තරුණියන්ටත් පසුකාලීනව තම සිරුරේ  වන මෙම වෙනස අත්දැකීමට හැකියි. නව යොවුන් විය පසුකර වැඩිවියට එළැඹෙන ඔබට නිතර දැනෙන මහන්සිය හතිය, හා මාංසපේශි හා ශරීරයට ඇතිවන වේදනාවන් වැනි ලක්ෂණ මඟින්ද ඔබට එය පහසුවෙන්ම හඳුනා ගැනීමට හැකියි. මෙලෙස ව්‍යායාම් එකවර නවත්වන ඔබට  ඔබේ ශක්ති සම්පන්න බව ක්‍රමයෙන්    අඩුවන බව දැනෙන්නට පුළුවන්.

උදාහරණයක් ලෙස ජිම් එකකට ගොස් ව්‍යායාම් කරන පුද්ගලයෙක් හෝ ඇරබික්ස් යෝගා වැනි ව්‍යායාම්වල එක දිගට මාස 6ක් පමණ නිරත වන පුද්ගලයෙක් නම් මෙය එකවර නතර කිරීම සුදුසු වන්නේ නැහැ. ඉන් ඔබේ සිරුරට මාසයක් පමණ ව්‍යායාම්වලින් අෑත්ව සිටියා හා සමාන පාඩුවක් සිදුවන බව නම් කිව යුතුමයි.

මාස 6ක් පමණ    අඛණ්ඩව සිරුර  වෙහෙසා ව්‍යායාමවල නිරත වූ ඔබ ඉන් පසු මාස 2ක්  පමණ විවේකයක් ගතහොත් එයත් ඔබට මාස 6ක් ව්‍යායාම් නොකර සිටියා හා සමාන වෙහෙසක් හා අලස බවක් ඇති වෙයි.

මෙම අවදානමින් අෑත් වන්නට නම් ඔබ පළමුවෙන්ම නිවැරදි ව්‍යායාම් රටාවකට හුරු වන්න.

උදෑසන හා සවස දිනපතා අපිළිවෙළ ආකාරයට  ව්‍යායාම්වල නිරතවීම සුදුසු වන්නේ නැහැ. ව්‍යායාම් කිරීමට ජිම් එකකට යනවා නම් එකවර පැය ගණනක් ව්‍යායාම් කිරීම සිරුරට   එතරම් හිතකර නොවන නිසා ක්‍රමවත්ව ව්‍යායාම්වලට ආරම්භයක් ලබාදෙන්න.

ව්‍යායාම් ආරම්භ කිරීමේදී සතියට දින 3ක් පමණ දිනක් හැර දිනක් ව්‍යායාම් සඳහා වෙන් කරන්න උදෑසන හා සවස මාරුවෙන් මාරුවට වේලාව වෙනස් කර ව්‍යායාම්වල නිරත වන්න. සිරුරට හොඳින් දැනෙන ලෙස ක්‍රියාශීලීව ව්‍යායාමවල නිරත වීමෙන් පසු පැය 24ක පමණ අවම කාලයක් හා පැය 48ක උපරිම විවේක කාලයක් ලබාගන්න. ව්‍යායාම්වලින් නිසි ඵලයක් ලබා ගන්නට නම් සිරුර සැහැල්ලු වීමට අවශ්‍ය විවේකයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නක්.

එක ළඟ දින 3ක් අඛණ්ඩව ව්‍යායාම්වල නිරත වී තවත් දින කිහිපයක් ව්‍යායාම් නොකර සිටීමෙන්ද ඔබට කිසිදු වාසියක් අත් නොවේ. පසුකාලීනව සාමාන්‍යයෙන් ව්‍යායාම්වල නිරතව නැවැත්වූ අයගෙන් 60%ක්ම සිරුර මහත් වීම, සිරුරේ මාංසපේශීන් එල්ලා වැටීම වැනි තත්ත්වයන්ට මුහුණපායි. ව්‍යායාම කරන අවධියේදී නිරෝගී හා හැඩැති සිරුරක් හිමිවූ  බොහොමයක් දෙනා මෙවැනි තත්ත්වයන්ට මුහුණ පාන්නේ එකවරම ව්‍යායාම් නතර කිරීම හේතුවෙන්.

මීට අමතරව හෝමෝන චක්‍රය අක්‍රමවත් වීම, අධිකව දහදිය දැමීම, බෝ නොවන රෝග අවදානම වැඩිවීම, නින්ද නොයෑම, ආතතිය වැඩිවීම, කෑම  රුචිය වැඩිවීම සමඟම තරබාරු වන්නේද මේ හේතුවෙනි.

මේ නිසා ඔබේ ව්‍යායාම් රටාව වෙනස් කරමින් ඇරබික්ස්, යෝගා වැනි විවිධ ව්‍යායාම්ද අත්හදා බලන්න ව්‍යායාමයක් ඔබේ සිරුරට හුරුවීමට නම් (මනසට හුරුවීමට) එය වාර 50-55ක් පමණ සිදු කළ යුතුයි.

නමුත් මෙලෙස ව්‍යායාම් කිරීමේදී හදිසියේ දින කිහිපයක් තුළ තරබාරු වීම, රෝග වැඩිවීම හා හෘද ස්පන්දනය වැඩිවීම වැනි ලක්ෂණ මතු වේ. නම් පවුලේ වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබා ගත්හ.

තරබාරු වීමට බලපාන තවත් කාරණයක් නම් සතියක් පමණ කෙටි කාලයකදී ව්‍යායාම් වාර 10ක් පමණ සිදුකර එකවර ව්‍යායාම් නැවැත්වීමයි. මෙලෙස අක්‍රමවත් ලෙස සිදු කරන ව්‍යායාම්වලින් තරබාරු වීමේ අවදානමද ඇතිවන අතර කිසිදු ප්‍රයෝජනයක්ද අත් නොවේ.

ඔබ ව්‍යායාම්වල නිරත වෙනවා නම් දිනකට අවම පැය 1/2 ක් හා උපරිම පැය 1 1/2 ක් පමණ ඒ සඳහා වෙන් කර ගත යුතු වෙනවා. නමුත් ඔබ රෝගියෙක් නම් ව්‍යායාම් ආරම්භ කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ශාලිකා රංගනී සමරදිවාකර
උපුටා ගැනීම මව්බිම