🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඇහේ මුහුණේ තබාගෙන දරුවන් හැදීමේ පල විපාක දරුවා අතහරින්න

ඇහේ මුහුණේ තබාගෙන දරුවන් හැදීමේ පල විපාක දරුවා අතහරින්න


“හා හා බලාගෙනයි. ඔහොම ගියොත් ඔයා වැටෙයි!”

“පිහිය අතින් අල්ලන්නට හිතන්න වත් එපා පුතේ.”

වැඩිහිටියකු වනතුරුම අපේ අම්මලා ආත්තම්මලා ඇතුළු වැඩිහිටියන් දරුවන්ට නිරන්තරයෙන් ලබා දෙන අවවාද වේ. දරුවකුට වුණත් ස්වාධීන පුද්ගලයකු ලෙස ස්ව ශක්තියෙන් නැඟී සිටින්නට පරම මානව අයිතිවාසිකමක් ඇතැයි ඔබ අප මොහොතකටවත් සිතන්නේ නෑ. එහෙත් ස්වාධීන මිනිසකු ලෙස නැගී සිටින්නට දරුවකු පුරුදු පුහුණු කළ යුත්තේ දරුවකු මවු කුස තුළ පිළිසිඳ ගත් අවස්ථාවේ පටන් යැයි නවීන වෛද්‍ය විද්‍යා පර්යේෂණ මඟින් සනාථ කර ඇති බව ඔබ දන්නවාද?

දරුවකුගේ කායික වර්ධනය මෙන් ම මානසික වර්ධනය ද ඇරැඹෙන්නේ කලල අවස්ථාවේ පටන්. එය දරුවා මවුකුස පිළිසිඳ ගත්දා පටන්ම ඇරැඹෙන ක්‍රියාවලියකි. කුස තුළ සිටින දරුවාගේ පටක වර්ධනයත් සමඟම කායික වර්ධනය ශීඝ්‍රයෙන් සිදු වන අතර මවගේ සිතුවිලි අනුව දරුවාගේ මානසික වර්ධනයද ක්‍රමානුකූලව සිදු වේ. ඒ මානසික වර්ධනය ඇති වන්නේ මව විසින් සිය කුසතුළ වැඩෙන දරුවා කෙරෙහි ඇති කරන කිසියම් උත්තේජනයකට දරුවා දක්වන ප්‍රතිචාර වශයෙනි. දරුවා කෙරෙහි වූ අපමණ සෙනෙහසින් හා කරුණාවෙන් යුතුව මව සිය කුස තුළ වැඩෙන දරුවා කෙරෙහි ඇති කර ගන්නා මෛත්‍රී සිතිවිලි මඟින් දරුවාගේ වැඩෙන මනසෙහි සුබවාදී වර්ධනයක් ඇති වෙයි. අපමණ සෙනෙහසින් හා දයාවෙන් තම කුස තුළ වැඩෙන දරුවා අමතමින් ස්වකීය ගර්භය පිරිමදින මවකගේ සෙනෙහස කුස තුළ වැඩෙන දරුවාට හොඳින් දැනෙයි. තම කුස තුළ වැඩෙන දරුවා “නිදුක්ව නීරෝගීව බුද්ධිමත්ව මෙලොවට බිහි වේවා” යි යන යහපත් සිතිවිල්ල සිත්හි දරා ගෙන කලලයේ වර්ධනයට යහපත් වේ යැයි සිතා මවක් අනුභවයට ගන්නා ආහාර පාන සියල්ලෙන් ම දරුවාගේ කායික වර්ධනයට අවශ්‍ය පෝෂණය මෙන් ම මානසික වර්ධනයට අවශ්‍යය උත්තේජන ද ලැබේ. උපන් හැටියේම මවුකිරි ලබාදෙන දරුවෝ නීරෝගී වෙති. කායිකව ශක්තිමත් වෙති. බුද්ධියෙන් ඉදිරියෙන් සිටිති. උපතේ පටන් ම ඔවුහු සෙසු දරුවන් ට වඩා ක්‍රියාශීලී, උද්‍යෝගිමත්බුද්ධිමත් බවක් පළ කරති. උපන් හැටියේම බිලිඳා මවගේ සිරුර මත තබා මවගේ සමට බිලිඳු සම ස්පර්ශවන සේ මෙහොතක් තබා සිටීමෙන් මවට ද දරුවාට ද ලැබෙන මානසික උත්තේජනය අති ප්‍රහලය. ඒ උත්තේජනය අලුත උපන් දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩ නැගීමෙහිලා පළමු අඩිතාලම සකස් කරයි.

දරු උපතකින් පසුව මවගේ දෙතනෙහි කිරි එරෙන්නට ඇයට මානසික උත්තේජනයක් සපයන්නේ බිලිඳාගේ මෘදු ස්පර්ශයයි. උපන් හැටියේම දරුවා ගේ සම මවගේ සමෙහි ගැටීමට සැලස්වීමට දරුවාගේ ශරීර උෂ්ණත්වය රැක ගැනීමට ද මහෝපකාරී වෙයි. උපන් හැටියේ ම දරුවන් විවිධ රෝග තත්ත්වයකට ගොදුරු වන්නේ බිලිඳාගේ සිරුරෙහි උෂ්ණත්වය නිසි අයුරින් පාලනය නොවන නිසාය. කුස තුළ දී බිලිඳාට ලැබුණු උණුසුම මෙලොවට බිහිවූ සැණින් ක්ෂණිකව වෙනසකට බඳුන් වේ. මේ වෙනස දරා ගන්නට ශක්තිමත් නොවන දරුවෝ විවිධ ගැටලුවලට මුහුණ දෙති. හුස්ම ගැනීමේ අපහසුතා ශරීරය නිල් පැහැ ගැනීම, මෙන් ම ශරීරයේ සිදුවන රසායනික ක්‍රියාකාරකම්වල අක්‍රමිකතා වැනි ගැටලු මේ අතර ප්‍රධාන වේ. දරුවාගේ මුදු පහස මවට දැනීමෙන් මවගේ මොළයෙන් නිකුත් වෙන ඔක්සිටොසින් හෝර්මෝනය හේතු කොටගෙන දරු උපතේදී මවට සිදුවන රුධිර වහනය අඩු කර කිරි නිපැදවීම වැඩි කරයි. මවගේ පියයුරුවලින් මුලින්ම වෑහෙන කොලෙස්ට්‍රම් හෙවත් රන්කිරි උරා බීමෙන් දරුවා තුළ සහජ ප්‍රතිශක්තිය වර්ධනය වේ. එසේ සාර්ථකව අරඹන මවු කිරි දීම අඛණ්ඩව මාස හය දක්වාම දිය යුතු අතර මවු කිරි හැර ජලය හෝ වෙනත් කිසිදු ආහාරපානයක් දරුවාට අවශ්‍ය නොවේ.දරුවා ට කිරිදෙන අතරේ දරුවා ගේ දෙනෙත් හා මවගේ දෙනෙත් අතර ඍජුව සම්බන්ධයක් තිබීම වැදගත්ය. දරුවා දෙස හොඳින් බලා ආදරයෙන් දරුවා අමතමින් හෝ පිරිමදිමින් මවු කිරි දීමෙන් දරුවාගේ කුස මෙන් ම හිත ද පිරෙයි. කිරි දෙන අතර ජංගම දුරකථන සංවාදවල යෙදෙන මවුවරු අද බහුලය. දරුවාට කිරිදෙන අතර රූපවාහිනිය නැරඹීම, වෙනත් වැඩපළවල යෙදීම හෝ දරුවා වාඩගෙන ඇවිදිමින් කිරිදීම නොකළ යුතුය. කිරි පිට උගුරේ යාමෙන් බිලිඳා මිය යන්නට පවා ඉඩ තිබේ. වෙනත් කටයුතුවල යෙදෙමින් කිරිදෙන මවක පිළිබඳ දරුවා තුළ ඇතිවන විශ්වාසය හීන වේ. එවිට මවුකිරි දීම අසාර්ථක වේ. මාස හයක් වන විට දරුවා ප්‍රතිචාර දක්වමින් මව සමඟ අවාචික සංවාදවල යෙදෙන්නට සමත් වේ. දරුවා ගේ මුව දෙස ඍජුව බලමින් මවු කිරී දීමෙන් මෙම ප්‍රතිචාර වඩාත් දියුණු කරවන්නට පුළුවන. දරුවා දක්වන ප්‍රතිචාර අනුව දරුවා ගේ කතාව හා ක්‍රියාකාරකම්වල පැහැදිලි වර්ධනයක් මවට දැකගන්නට හැකි වේ. එසේම දරුවාගේ ඇස් පෙනීමේ දුර්වලතා, වර්ධනයේ හෝ ක්‍රියාකාරකම්වල දුර්වලතා වේ නම් ඒවා හඳුනා ගැනීමට ද මවට ඉතා පහසු වේ. දරුවා ගේ වර්ධනයත් සමඟ නිසි වයසට සරිලන සෙල්ලම් බඩු ලබා දීමෙන් දරුවාගේ බුද්ධි වර්ධනය හා ක්‍රියාකාරකම් වැඩි දියුණු වේ. සෙල්ලම් බඩු භාවිතය දරුවා ගේ සමාජයීය සංවර්ධනය කෙරෙහිද ඍජුව බලපායි.

මාස හය පමණ වන විට දරුවා ඇල්ලීමට ඔහු සමඟ කතාබහ කිරීමට, පරෙස්සමෙන් දරුවා සමඟ කළ හැකි ක්‍රීඩා කිරීමට පවුලේ සෙසු දරුවන්ට ඉඩ දීමෙන් දරුවාගේ බුද්ධිය මෙන් ම ක්‍රියාශීලී බවද වර්ධනය වේ. යමක් අල්ලාගෙන කෑමට හැකි වයසට (මාස 10 - 12 පමණ) එළැඹෙන විට දරුවාට විස්කෝතුවක් වැනි ආහාරයක් අල්ලා ගෙන කෑමට ඉඩ හරින්න. දරුවා යමක් මුව තුළට රුවාලන අවස්ථාවේ මව හෝ වැඩිහිටියකු ඔහු සමඟ සිටීමත් වැඩිහිටියකු ගේ අධීක්ෂණය යටතේ දරුවාට කන්නට බොන්නට ඉඩ හැරීමත් වැදගත් වන්නේ, දරුවා ගේ උගුරෙහි යමක් සිර වීමෙන් අනතුරක් වීමට ඉඩ ඇති හෙයිනි. එහෙත් එසේ වෙතැයි සිතා දරුවාට හැන්ද අල්ලන්නට හෝ තනිව යමක් මුව තුළට දමා ගැනීමට ඉඩ නොදීම සුදුසු නැත. දරුවා තනිව යමක් අල්ලාගෙන නැගිටින විට “එපා එපා වැටෙයි” කියමින් බාධා නොකළ යුතුය. යමක් අල්ලා කඩන්නට, යළි හදන්නට ඉඩ දිය යුතුය. වැලි අල්ලන්නට වතු‍රේ - ‍සෙල්ලම් කරන්නට ඉඩ දීමෙන් දරුවා ගේ ක්‍රියාකාරකම් මෙන්ම මනෝ සමාජයීය සංවර්ධනය හොඳින් සිදුවේ.

දරුවාට ආහාර පිළියෙල කිරීමේදී නිවසේ අන් සාමාජිකයන්ට සකස් කරන ආහාරම දරුවාටද ලබා දිය යුතුය. “බබා ගේ කෑම” යනුවෙන් මිරිස් තුනපහ නොයොදා සුදට ඉවීම හෝ පිසින ලද ආහාර සෝදා කෑමට දීම සුදුසු නැත. දරුවාගේ දත් මතු වීමට මෙන් ම මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය සඳහා ද ආහාර සපා කෑම ප්‍රයෝජනවත් වේ. එහෙයින් ආහාර තලප ‍හෝ කැඳ වශයෙන් ලබා දීම කඩිනමින් නිමා කොට කැබලි සහිතව ලබා දීම වඩා සුදුසුය.

පෙර පාසල් වියේ දරුවන්ට පෑනක් පැන්සලකින් අඳින්නට පාට කරන්නට කඩදාසි කපන්නට අලවන්නට ගැළපෙන පරිදි හිස් තැනට සුදුසු කැබලි සවිකරන්නට හැකියාව ඇත. වර්තමාන මවුවරු පෙර පාසලේ සිට ශිෂ්‍යත්ව පන්තිය දක්වා ද එතැන් පටන් උසස් පෙළ විභාගය දක්වා ද දරුවන් වෙනුවෙන් ඔවුන් ගේ “ගෙදර වැඩ” කරති. හෙට දින විවාපත් වන දියණියගේ ද පුතුගේ ද යට ඇඳුම් පවා සෝදා මැද දෙති. ආහාර පාන සකස් කොට ගේ දොර වැඩ සියල්ලෙන් මුදා හැර හුදු අධ්‍යාපනය කෙරෙහි පමණක් ම උනන්දු කරවති.

දරුවකුට තනිව මහ මග යන්නට, වෙළඳපළට ගොස් බඩුවක් මුට්ටුවක් ගෙන එන්නට ඔවුන් පුරුදු පුහුණු කරන්නේ නැත. එසේ වූ දරුවන් රැකියාවට යන කලද ඔවුන්ගේ පසුපස යමින් නිරන්තරයෙන් රැකබලා ගනිති. දියණිය විවාපත් වී කුලගෙට ගිය පසු ඇයටත් සැමියාටත් ආහාර සකස් කර, ඔවුන්ගේ රෙදි පෙ‍රෙදි සෝදා දී, දරුවන් ඉපැදුණු කල ඔවුන් ද රැක බලා ගන්නා මවුපියන් අද සමාජයේ බහුලය. මෙවන් සමාජයක දරුවන් වැඩිහිටියන් වූ කල ස්වාධීනව නැඟී සිටින්නේ කෙසේ ද? වර්තමාන සමාජයේ වැඩිහිටියන් පවා සුළු අභියෝග හමුවේ පරාජය වෙති. දිවි නසා ගැනීමෙන් ප්‍රශ්නවලින් පලා යති. මෙයට හේතුව කුඩා කල පටන් දරුවා අභියෝගවලට මුහුණ දීමට පුරුදු පුහුණු නොකිරීමයි. ආදරය, පෝෂණය හා රැකවරණය මධ්‍යයේ දරුවාට තනිව නැගී සිටින්නට හුරු පුරුදු නොකිරීමයි. ඔවුන් ගේ ජීවන කුසලතා වර්ධනය කර ගන්නට අවස්ථාව සලසා නොදීමයි. උපන්දා පටන් දරුවාට ස්වාධීන පුද්ගලයකු සේ සමාජගත වීමට ඉඩ හැරීම සෑම මවකගේම පියෙකුගේ ම වැඩිහිටියෙකුගේම යුතුකමකි.

සාකච්ඡා කළේ - සාගරිකා දිසානායක ජයසිංහ ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන්ති පෙරේරා

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත