🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

බඳින්නෙ නැතිව ඉන්නකොට අසනීප වෙනවද?

බඳින්නෙ නැතිව ඉන්නකොට අසනීප වෙනවද?

ඉස්සර කාලෙ බඳින වයසෙ ඉන්න ගැහැනු ළමයෙක්ට හරි පිරිමි ළමයෙක්ට හරි උණක් හෙම්බිරිස්සාවක් හැදුණාම ලෙඩේට බෙහෙත් කරනවට වඩා කරන්නෙ ඒ කෙනාගෙ කසාදෙ ඉක්මන් කරන එකලු. මට ඒක කිව්වෙ අපේ ආච්චි අම්මා. ඒකෙ විද්‍යාත්මක පැත්තක් තියෙනවද නැද්ද කියල නම් මම හරියටම දන්නේ නැහැ. ඒත් ඒක මහ විකාර අදහසක් විදියට ඒ කාලේ මගේ හිතේ පතුලටම කිදා බැහැලා තිබුණා. ඒ දවස්වල ආච්චි අම්මා කියනවා එයා සීයව කසාද බැන්දෙ අවුරුදු දාසයෙන් කියලා. ඉතිං අවුරුදු පහළොව දාසය වෙනකොට උණක් හෙම්බිරිස්සාවක් හැදෙනවට මම මාර බයයි. ඇයි මටත් හදිසියෙන්ම බඳින්න වුණොත්? ඉතිං මම ආච්චි අම්මා ඉස්සරහදි කිඹුහුමක් අරින්නත් බයයි. ඒ මට බඳින්න වෙයි කියලා. හැබැයි අයියයි මල්ලියි කොච්චර උණ හදා ගත්තත් හෙම්බිරිස්සාවල් හදා ගත්තත් කසාද බැඳිල්ලක් ගැන ආච්චි අම්මා කතා කළේ නෑ. ඔන්න ඔහොම ඉතිං කාලෙ ගෙවිලා අවුරුදු හතරක් කැම්පස් එකේ ඉඳලා ඒකෙන් එළියට එද්දි මමත් ඇතුළු අනෙක් හත් දෙනාට දෙයියො දුන්නා වගේ ජොබ් එකකුත් හම්බ වුණා. කලබල වෙන්නවත් වරදවා හිතන්නවත් එපා. කැම්පස්වලින් අවුට් වෙන හැමෝටම බන්දේසියක් උඩ තියලා ජොබ් එකක් ලැබෙන්නෙ නැහැ. පොලිටිකල් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ආණ්ඩුවෙ ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන්. නැත්නම් ඉතිං ප්‍රයිවට් පිහිට තමයි. ඒත් ඉතිං අපි කවදාවත් පොලිටික්කො පස්සේ නොගිය නිසා අපිට ආණ්ඩුවෙ ජොබ් හම්බ වුණේ නැහැ. හැබැයි උපාධි පඩියට වඩා වැඩි පඩියක් ලැබෙන ප්‍රයිවට් ජොබ් සෙට් වුණා. කොහොමත් ඉතිං ගාමන්ට් ෆැක්ටි්‍රවල අතුපතු ගාන අයටත් ආණ්ඩුවෙ පඩියට වැඩි පඩියක් හම්බෙනවා. කොහොම හරි ඉතිං පරණ පුරුද්දට කෙල්ලො තුන්දෙනාට ඉන්න එක බෝඩිං හවුස් එකකුයි කොල්ලො හතර දෙනාට ඉන්න යාළුවෙක්ගෙ ගෙදරකුයි සෙට් කරගන්න අපිට පුළුවන් වුණා. ඔය විදියට මාස කීපයක් ගතවෙන්න ඇති. අපි හැමෝම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. ඔෆිස් එකේ වැඩ බෝඩිමට ගෙනල්ලත් කළා. (හරියට ආණ්ඩුවෙ අය වගේ) එක දවසක් කෙල්ලො තුන් දෙනාගෙන් එක්කෙනකුට හොඳටම අසනීප වුණා. උණ. කැස්ස, හිසරදය, අජීර්ණය වගේ ලෙඩ හත අටක් එකපාර. මේ වෙලාවේ කරන්න ඕනෙ හොඳම දේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වෙන එක කියලා අපිට කිව්වෙ බෝඩිමේ ඇන්ටි.

ඉතිං කවදාවත් වැඩිහිටියන්ගෙ කීමට පිටින් නොගිය අපි ආණ්ඩුවෙ ඉස්පිරිතාලයක් හොයාගෙන ගිහින් ලෙඩාව ඇඩ්මිට් කළා. ඒ ලෙඩ්ඩු බලන වෙලාව නිසා අපේ යාළුවො හත් අට දෙනෙක්ම ඇඳ වටේ හිටියා. ඇඩ්මිට් කරගත්ත වෙලාවෙ අවුරුදු පනහක් විතර වයස නර්ස් නෝනා කෙනෙක් ලෙඩා ළඟට ඇවිත් මොන මොනවදෝ විස්තර වගයක් අහලා කොලේක ලියා ගත්තා. නම, වයස, රැකියාවට අමතරව විවාහක අවිවාහක බව වගේ දේවලුත් ඇහුවා. අවිවාහකයි කියලා කියපු ගමන් මෙන්න මේ නර්ස් නෝනා කියපි "බැන්දනම් ඔය ලෙඩ ඔක්කොම සනීප වෙනවා" කියලා. මේ කතාව මට නම් එච්චර ඇල්ලුවෙ නැහැ. ඒ පාර මම නෙවෙයි මගේ කට අර නර්ස් නෝනාගෙන් අහනවා, "එතකොට මේ ඉස්පිරිතාලෙ ඉන්න ලෙඩ්ඩු ඔක්කොමලා අසනීප වෙලා ඉන්නෙ බඳින්න බැරිවෙලාද?" කියලා. ඒ පාර එයා මට රැව්වෙ හරියට මම එයාගෙ මහත්තයව ඉල්ලුවා වගේ. අසනීප වෙන හැම කෙනාවම කසාද බැන්දුව නම් මේ ලෝකෙට ඉස්පිරිතාල මොකටද? ‍ෙදාස්තරලා මොකටද? නර්ස්ලා මොකටද? මේ වගේ වෙලාවට අනෙක් කෙල්ලො කොල්ලො සෙට් එකෙන් ෆුල් සප් එක ලැබෙන නිසා මමත් වැඩේ අතෑරියෙම නෑ. "ඇත්තටම මිස්, මට තේරුණේ නැති නිසයි අහන්නේ. මේක සාමාන්‍ය උණක් නෙවෙයිද? අර නර්ස් නෝනා බයිසන් බුල් කෙනෙක් වගේ නහයෙන් පිඹ පිඹ දුම් පිට කරන ගමන් මාර උත්තරයක් දුන්නා. "ඔය වයසෙ ගෑනු ළමයෙක් අකාලෙ ලෙඩ වෙන්නෙ බඳින්න ඕනෙ වුණාම. අකලට හැදෙන ලෙඩ මේව." ඒ වෙලාවෙ අපි හැමෝම හයියෙන් හිනා වෙන්න බැරිවීමේ විපාක එකවර බුක්ති වින්දා. ඒ අතරෙ එකෙක් කියපි, "ගිය සතියෙ අපෙ සීයටත් තද උණක් හැදුණා. මම අදම තාත්තට කියන්න ඕනෙ සීයට කසාදයක් කරලා දෙන්න ආච්චි ගැටිස්සියෙක් හොයන්න කියලා." ඒ පාර අර නර්ස් නෝනට පැනපු මල ගැන නම් කතා කරලා වැඩක් නෑ. "මේක කෝලං මඩුවක් කියලා හිතුවද? මෙතැන ඉන්නෙ ලෙඩ්ඩු. ඔය වගේ මොළේ අමාරුකාරයො නෙවෙයි. කරුණාකරලා විනීතව හැසිරෙන්න" කියලා රවාගෙන ගස්සගෙන යන්න ගියා. (ඒ වුණත් අපි ඒ වෙලාවෙ අවිනීතව හැසිරිලා තිබුණේ නැහැ). ඉතිං මට තිබුණ ප්‍රශ්නෙ සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් හැදෙන එකයි කසාද බඳින එකයි අතරෙ තියෙන සම්බන්ධය මොකක්ද කියන එකයි. අපේ ආච්චි අම්මයි අර නර්ස් නෝනයි කියපු කතා ගැන මම තාම කල්පනා කරනවා. හැබැයි අදටත් මගේ ටිකිරි මොළේට ඒක මීටර් වෙලා නෑ. හොඳ වෙලාවට මට අවුරුදු ගාණකින් උණ හැදුණෙ නෑ. හැබැයි මාසෙකට සැරයක් විතර චූස් චූස් හෙම්බිරිස්සාව නම් හැදෙනවා. ඇත්තටම ඇයි අපි මේ වගේ තේරුමක් නැති කතා අහගන්නෙ කියලා දවසක් මම ආච්චි අම්මගෙන් ඇහුවා. මෙන්න බොලේ ආච්චි අම්මා කියපි," වෙන මොකුත් හින්දා නෙවෙයි, කෙල්ලෙක් හින්දා...

දුලංජලී මුතුවාඩිගේ

උපුටා ගැනීම මව්බිම පුවත්පත