🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කාන්තාවන්ගේ සිරුරේ පිරිමි හෝමෝන වැඩිවෙන්නේ ඇයි?

කාන්තාවන්ගේ සිරුරේ පිරිමි හෝමෝන වැඩිවෙන්නේ ඇයි?

කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ සිරුරු නිර්මාණය වී ඇත්තේ දෙආකාරයකටයි. දරුවකු බිහි කිරීමට සුදුසු වන ලෙස ස්වභාවදහමින් නිර්මාණය කරන කාන්තාවගේ සිරුර තුළත් පිරිමි හෝමෝන යම් ප්‍රමාණයකට හෝ අන්තර්ගත වෙයි. නමුත් මෙම හෝමෝනවල සමතුලිත බව නැතිව ගිය විට කාන්තාවන්ගේ ශරීරයේ පිරිමි ගති ලක්‍ෂණ ඇතිවිය හැකියි. කාන්තාවන්ගේ සිරුරේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන ප්‍රධාන වශයෙන්ම අන්තර්ගතයි. ටෙස්ටස්ටෙරෝන් යන හෝමෝනයද පුරුෂයන්ගේ ශරීරයේ වැඩි වශයෙන් ඇති වුවද කාන්තාවන්ගේ ශරීරය තුළද යම් පමණකට පවතියි. නමුත් කාන්තාවන්ගේ සිරුරේ එම හෝමෝන පිහිටා ඇත්තේ පුරුෂයන්ට වඩා අඩුවෙනි. කාන්තාවගේ ශරීරයේ මෙම ටෙස්ටස්ටෙරෝන් හෝමෝනය අවශ්‍ය පමණට වඩා වැඩිවී අසමතුලිත වීමෙන් ඇයගේ ශරීරයෙන් පිරිමියකුගේ ශරීර ලක්‍ෂණ මතුවිය හැකියි.

ලක්‍ෂණ මතුවීම

* එලෙස හෝමෝන අසමතුලිත වීම නිසා මුහුණේ, පපුවේ ආදී ස්ථානවල රෝම ගනව වැවීම.

* ආර්තව චක්‍රය අක්‍රමවත්වීම. (මාස කිහිපයකට වරක් හෝ දිගටම නැතිව යෑම)

* කටහඬ පිරිමින්ගේ මෙන් රළුවීම.

* පිරිමින්ගේ මෙන් මාංස පේශි වර්ධනය.

* පියයුරු වර්ධනය අඩුවීම වැනි ලක්‍ෂණ පෙන්විය හැකියි.

හේතු : හෝමෝන අසමතුලිතතාව නිසා මෙවැනි ලක්‍ෂණ පෙන්වයි නම් එයට පිළියම් සෙවීමට ඔබ සුදුසු වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්‍ෂණ කර ගැනීම වැදගත්ය. ඇතැම් විට ඩිම්බ කෝෂ හෝ අධි වෘක්ක ග්‍රන්ථියේ ඇතිවන ගෙඩියක් වැනි තත්ත්වයක් හේතු කරගෙන මෙම හෝමෝන වැඩිපුර ශ්‍රාවය විය හැකියි. එවිට එම ගෙඩිය ඉවත් කිරීමට සිදුවනු ඇත. නමුත් මෙය එම පුද්ගලයාගේ තත්ත්වය පරීක්‍ෂාකර බලා ගත යුතු තීරණයකි. ඒ බැව් තහවුරු කරනුයේ නිසි පරීක්‍ෂණයකින් පසුව වෛද්‍යවරයා විසිනි.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම