🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඇයි මේ තරමට විවාහ දෙදරා යන්නේ

ඇයි මේ තරමට විවාහ දෙදරා යන්නේ

විශාල මුදලක් වියදම් කරලා, නම් දරාපු හෝටලයකදී දෙනෝදාහක් ඉදිරියේ විවාහ වන ඇතැම් තරුණ තරුණියන් එහි උණුසුම ගෙවිලා යන්නත් මත්තෙන් දික්කසාදය ලබා ගන්න නීතිඥවරයෙකුගේ සහාය පතනවා. එක්දහස් නවසිය පනහ හැට දශකයේදී දික්කසාද වීම ගැන අහන්න ලැබුනේ සුලුවෙන් වුනත් අද දික්කසාද වීම යන්න ෆැෂන් එකක් බවට පත් වෙලා. ඒ වගේම පළමු වැනි විවාහය අසාර්ථක වුනු ගමන් මාස කිහිපයක් යන්නටත් මත්තෙන් නැවතත් දෙවැනි විවාහයකට සැලසුම් සකස් කරන තරමට එය හුදෙක් විහිලුවක් විනෝදයක් දක්වා පරිවර්තනය වෙලා. විවාහය කියන්නේ කෙනෙකුගේ දෙවන උපත. ඒ වගේම උත්තරීතර වූවක්. ඒ නිසා දික්කසාදයකින් කෙළවර නොවන බැදීමක් ඇතිකර ගැනීමයි සිදුවිය යුත්තේ. එකිනෙකා පිළිබඳව  අනයෝන්‍ය අවබෝධයක් නොමැති වීම නිසා දෙදෙනාගේ රුචි අරුචිකම් පිළිබද ගැටලු ඇතිවෙනවා. විවාහ වුනු මුල්ම අදුරුද්දේ සැමියා කියන හැම දේකටම බිරිද ඇහුම්කන් දෙනවා. දෙවෙනි අවුරුද්දේදී සිදුවන්නේ සැමියා බිරිද කියන දේට ඇහුම්කන් දීම. තුන්වන අවුරුද්දේදී ඒ තත්වය සහමුලින්ම වෙනස් වෙලා දෙදෙනම එකිනෙකාට කෑ ගහගන්නා ආකාරය අහගෙන ඉන්න වෙන්නේ අසල්වැසියන්ට. සමහර විට මේ ක්‍රියාවලිය අවුරුද්දක් ගත නොවී මාස කිහිපයකින් ඇරඹෙන්නත් පුලුවන්. ඒ දෙදෙනාම තම තමන්ව ඉක්මවා යාම නිසා.

බොහෝ දෙනෙක් තම සහකරුවා හෝ සහකාරිය ලෙස බලාපොරොත්තු වෙන්නේ බාහිර පෙනුමෙන් ආකර්ෂණීය තැනැත්තන්. ඒ වගේම අද විවාහ සිදුවීමේ පදනම බවට එකිනෙකා සතු මිල මුදල්, යාන වාහන, වත්කම පත්වෙලා. විවාහක කාන්තාවන් බොහෝ දෙනෙක් ඉක්මන් දික්කසාදයක් පතන්නේ ගෘහස්ත හිංසනයට ලක්වීම නිසා. ඒ සැමියාගේ බීමත්කම හේතුවෙන් ඔහුගෙන් සිදුවන දරාගත නොහැකි අඩත්තේට්ටම් හා හිංසන ක්‍රියා නිසයි. ඒ වගේම කොතරම් මුදල් ඉපැයූවත් තම බිරිදට හෝ ගෙදර දොර වියදමට හෝ කිසිදු මුදලක් වියදම් නොකරන සැමියන් සිටිනවා. ඒ නිසා ජීවත් වීමට අපහසුතා ඇතිවීම මත විවාහක කාන්තාවන් තම සැමියාගෙන් වෙන්වීම ප්‍රාර්තනා කරනවා. ඒ වගේම විවාහය දෙදරා යාමට විවාහක සැමියා හෝ බිරිදගේ අනියම් සබදතාද බලපානවා. තමන්ගේ සහකරුවාගෙන් හෝ සහකාරියගෙන් තමා බලාපොරොත්තුවෙන ආදරය, සෙනෙහස, රැකවරණය නොලැබෙන විට බොහෝ දෙනා තම අවශ්‍යතා සපුරා ගන්නේ වෙනත් අනියම් සැමියකුගේ හෝ අනියම් බිරිදකගෙන්. මවුපියන්ගේ බලකිරීම නිසා විවාහ වුනත් කාලයක් තිස්සේ පැවති ප්‍රේම සබදතා එලෙසම හොර රහසේ පවත්වා ගෙන යන්නවුන්ද සිටිනවා. දුටුමතින් පෙම්බැද අවබෝධයකින් තොරව විවාහ වීම ඒ විවාහය දෙදරා යාමට එක් හේතුවක්. ඒ අයගෙන් බොහෝදෙනකු විවාහ වී ඇත්තේ ඉතා අඩු වයසින්. ප්‍රේම සබදතාවයක ප්‍රතිඵලයක් ලෙස ඔවුන් විවාහ ජීවිතය ගැන තේරුම් ගන්නේ විවාහ වෙලා කාලයක් යද්දීය.

දෙපාර්ශවයේ වැඩිහිටියන්ගේ අනවශ්‍ය මැදිහත්වීම නිසා විවාහය දෙදරා දක්නට ලැබෙනවා.  සැමියාට හා බිරිදට වෙනම පවුල ගෙන යන්නට නොදී නැන්දම්මා, මාමන්ඩී, සහෝදර, සහෝදරියන් ඔවුන් සමග ආරවුල් ඇති කර ගැනීම නිසා දෙදෙනා අතර හටගන්නා නොහොද නෝක්කාඩු කෙළවර වෙන්නේ උසාවියෙන්. සමහරුන් හිතන්නේ විවාහය යනු ලිංගිකත්වය පමණක් ලෙසටය. ඒ නිසා තමන් බලාපොරොත්තු වෙන ලිංගික තෘප්තිය නොලැබෙන විට දෙදෙනා අතර ගැටුම් ඇති වෙනවා. ඒ වගේම විවාහය සමහරු දකින්නේ ඉතා සරලව. එහි අති ගැඹුරු බව, සබැදියාව, ලබැදියාව ගැන ඔවුන් සලකන්නේ නැහැ. ආවේගය පාලනය කරගන්නේ නැහැ. සාමියාගේ හෝ බිරිදගේ වැරදි නිවැරදි කර ගැනීම එකිනෙකාගේ සහය අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ දුර්වලතා හදුනා ගෙන සකස් වීම යුතුකමක්. සාමයෙන්, සමගියෙන් ගැටලු නිරා කරනය ගැනීමටයි අඹුසැමියන් නිතර කල්පනා කල යුත්තේ. සැකය, අවිශ්වාසය හටගත් පසු පවුල් ජීවිතයට නිසි පැවැත්මක් නැහැ. ඒ නිසා දෙදෙනා තුල දෙදෙනා කෙරෙහිම පවතින විශ්වාසය වැදගත්. පවුලක් කඩා ඉහිරවා ගන්නවාට වඩා පවුලක් රැක ගැනීමයි විය යුත්තේ. ඒ නිසා ඔබ දික්කසාදයකින් කෙලවර වෙන විවාහයක් නොව මියෙන තුරා එකට හිදින විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න. ඒ වෙනුවෙන් කටයුතු කරන්න. බටහිර සමාජයට වෙන්වීම, දික්කසාදය සාමාන්‍ය සිදුවීමක් වුනාට එය අපේ හෙල සංස්කෘතියට ගලපෙන්නේ නැහැ. දීගයක් කඩා ඉහිරවගෙන ගෙදරට ආපසු එනවා කියන්නේ පවුලට, තමන්ගේ පරම්පරාවට අවනම්බුවක් ලෙසටයි තවමත් අපේ සමාජයේ පිළිගැනීම. දෙදෙනා අතර ගැටුම් සහිතව, දුක් විදිනවාට වඩා එකිනෙකාගෙන් වෙන්වීම යුක්ති සහගත යැයි කිව්වත්, ඔබට, ඔබේ ආදරයට ගල් සිතක් වූවත් උණු කල හැකි වේවි. ඒ නිසා ඔබේ විවාහය රැකගැනීමට ඔබේ කැපකිරීමයි අත්‍යවශ්‍ය වන්නේ.

උපුටා ගැනීම දියණිය