🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මංගල දවසට මුහුණ දෙන්න මට බයයි

මංගල දවසට මුහුණ දෙන්න මට බයයිදිනක් අප වෙත පැමිණියේ තරුණ වියේ පසු වූ යුවළකි. අපි දෙන්නා බොහෝම කාලයක ඉඳලා ඇසුරු කරලා අන්තිමේදී විවාහ වෙන්න තීරණය කළා. අපි දෙන්නාගෙම දෙමාපියන් මේ විවාහයට කැමැත්ත දීලයි තියෙන්නෙ. ලබන මාසෙට වෙඩින් එකට දින නියම කරගෙන නෑ හිතමිතුරන්ටත් දන්වලයි තියෙන්නෙ. මෙයාගෙ පැත්තෙ අයටත් එහෙමයි. නමුත් ගිය සතියෙ ඉඳලා මෙයා මාව මඟ හරිනවා. වෙඩින් එක කල් දාමු කියනවා. ඇහුවට ඒකට කිසිම හේතුවක් කියන්නෑ. මෙයාට කවුරු හරි කෙල්ලෙක් ඉන්නව ද කියලා මට සැකයි. දැන් මට සමාජයට මුහුණ දෙන්න බෑ. මේ කසාදෙ නොකෙරුණොත් මම ජීවිතය නැති කර ගන්නවා. තරුණිය කියන්නට තිබූ දේ එක දිගටම කියාගෙන ගියාය. බැලූ බැල්මට මේ දෙදෙනාම පෙනුමෙන් ද රැකියාවලින් ද ගැළපෙයි. තරුණියගේ කථාව සත්‍ය නම් ඇය සිටින්නේ මහත් පීඩනයක බව අපට වැටහෙයි. දෙදෙනා සමඟම කතාබහෙන් පසු තුෂාර නම් වූ තරුණයා සමඟ කතාබහට වැටුණෙමු. තුෂාර කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂ විනීත දරුවෙක් විය. ගැහැනු ළමයෙකු සමඟ කිසිඳු පටලැවිල්ලක් ඇති කර නොගත් ඔහු අධ්‍යාපනික කටයුතු හොඳින් උසස් ලෙස නිම කිරීමෙන් පසු පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක නිරත විය.

තුෂාර මේ ඇත්ත ද ඔයා මංගල්‍ය කල් දාන්න ඕනෙ කියනව ද?
ඔව්, ඒක නම් ඇත්ත තමයි.

ඉතින් ඇයි ඔයා එහෙම කරන්න හිතුවේ. ඔයාට වෙන සම්බන්ධයක් තියෙනව ද?
එහෙම දෙයක් නෑ. මම කවදහරි බඳින්නෙ දුලාරිවම තමයි. නමුත් මට මේ වෙලාවේ හිතට ලොකු අපහසුතාවක් දැනෙනවා.

ඔයා කවද හරි බඳින්නෙ දුලාරිවම නම් ඇයි සැලසුම් කරලා මංගල්‍ය කල් දාන්නෙ?
මට ඇත්තටම ඒ දිනයට මුහුණ දෙන්න බයයි. එදාට දුලාරිගෙ පැත්තෙන් ලොකු පිරිසක් එනවා. ඉතින් මට ඒ අය ඉදිරියේ මුහුණ දෙන්න බෑ. බයක් දැනෙනවා. ඒකයි මම එහෙම කියන්නෙ.

ඔහුගේ එම ප්‍රකාශයත් සමග අපට අවශ්‍ය තැනට පැමිණියායැයි අපට සිතිණ. මෙම තරුණයා ඉතා කඩවසම්, දැනුමෙන් ධනයෙන් පොහොසත් වුවත්, රැකියාවක නිරත වී සිටියත් ඔහුගේ පෞරුෂත්වය දුර්වල බව අපට පෙනේ. එවැනි දුර්වල පෞරුෂත්වයක් හිමි අයට යම් යම් අවස්ථාවලට මුහුණ දීමට දැඩි අපහසුතා ඇති වේ. මිනිසුන් ගත් කල එක් අයෙකු ගෙන් තවත් අයෙකුට වෙනස්ය. නමුත් ඕනෑම අයෙකුට සමාජය තුළ සාර්ථකව ජීවත් වීමට අවශ්‍ය අනුගත වීම් හැකියාවන් තිබේ. පුද්ගලයා සමාජය සමග ගැටෙමින් එයට අනුගත වෙමින් මුහුණ දෙන ආකාරය ඔහුගේ පෞරුෂත්වය වේ. එය එකිනෙකාට වෙනස් වේ. මෙයට දැනුම, අත්දැකීම්, සමාජය පිළිබඳව ආකල්ප, සමාජ වටපිටාව බලපායි. යමෙකුට හොඳ සෞඛ්‍ය සම්පන්න සාර්ථක ජීවිතයක් ගත කිරීමට නම් හොඳ පෞරුෂත්වයක් තිබිය යුතු වේ. තමන් ඉටු කරනු ලබන රාජකාරි අනුව බොහෝ විට පෞරුෂය ඒ හා බැඳී පවතී. දේශපාලනඥයකුට, විනිසුරු වරයෙකුට, ක්‍රීඩකයෙකුට, නිලධාරියෙකුට පිරිස් පාලනය කළ හැකි පෞරුෂයක්, රංග ශිල්පියෙකුට තම ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබා ගැනීමේ පෞරුෂයක් තිබිය යුතු වේ. උපතින්ම බොහෝ අය තම පෞරුෂ ලක්ෂණ රැගෙන එයි. නමුත් පසුව පෞරුෂත්වය වර්ධනය කර ගත හැකි වේ. එහි ඇති දුර්වලතා හඳුනාගෙන වැඩි දියුණු කළ යුතු තැන් හඳුනා ගන්නේ නම් හොඳ පෞරුෂයකින් හෙබි කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙකු විය හැකිය.

ඇත්ත වශයෙන්ම හොඳ සෞඛ්‍ය සම්පන්න පෞරුෂයක් ඇති අය ලෙස හඳුන්වනු ලබන්නේ සමාජ වෙනස්වීම්වලට සාර්ථකව හැඩ ගැසී මුහුණ දෙන සෞඛ්‍ය සම්පන්න ආකර්ෂණිය පුද්ගලයන්ටයි. එවැනි පෞරුෂයක් හෙබි අයෙකු සමග ඇසුරු කිරීමට ඕනෑම අයෙකුට හැකිය. එවැනි පෞරුෂයක් ගොඩ නගා ගැනීමට යෑමේ දී දැන ගත යුතු අත්‍යවශ්‍ය කරුණු කිහිපයකි. සමාජයේ අන් අය දෙස සුබවාදී ආකාරයකට බැලීම. නිතර අනෙක් අයගේ අදහස්වලට සවන් දී ඒවාට ගරු කිරීම. සැර පරුෂ නොවී සාමකාමී පුද්ගලයෙකු වීම. සෑම අවස්ථාවකදීම මානසික සමබරතාව රැක ගැනීම. ඔබ මෙන්ම අන් අයගේ ඕනෑ එපාකම් පිළිබඳව සොයා බැලීම. අන් අයගේ විවේචන පිළි ගත යුතු වේ. ඒවා නිවැරදි නම් ඒවා හදාගෙන ඒ අනුව වෙනස් වීම. තමාගේ ගමන් මග නිවැරදිව නොපැකිළිව උත්සාහයෙන් ගමන් කරන්න. තම පෞරුෂයට ගැළපෙන රැකියාවක නියැළීම. හොඳ ශිෂ්ට සම්පන්න පුද්ගල සබඳතා ගොඩ නගා ගැනීම. කිසි විටෙකත් පුහු මාන්නයෙන් හිස උදුමාගෙන අන් අය පහත් කොට නොසලකන්න. හැකි පමණින් අන් අයට උදව් කිරීම. ඉහත කරුණු ඔබේ පෞරුෂය වර්ධනය කර ගැනීමට ඉවහල් කර ගත යුතු අතර ඔබ මූලිකවම තේරුම් ගත යුත්තේ හොඳ පෞරුෂයක් ගොඩ නගා ගැනීමට ඔබට ඇති අවශ්‍යතාවයයි. පුද්ගලයකුගේ පෞරුෂත්ව වර්ධනය සඳහා මනෝ විද්‍යාත්මක උපදේශන සහ මෝහන ප්‍රතිකාර ක්‍රම ද උපයෝගී කර ගත හැකිය. මෝහන ප්‍රතිකාර මගින් යම් යම් දුර්වලතා මග හරවා ඔබගේ ජීවිතය හැඩ ගැස්විය හැකිය.

අප මුලදී කතා කළ තුෂාරගේ තත්ත්වය පෞරුෂ දුර්වලතාව නිසා හට ගත් මානසික රෝගී තත්ත්වයකි. පිරිසක් ඉදිරියේ ආකර්ෂණය වීමට ඔහුට මහත් කරදරයක් වී තිබුණේ ඔහුගේ පෞරුෂ දුර්වලතාව නිසාය. ඔහුට උපදේශන ක්‍රම සහ මෝහන ප්‍රතිකාර ක්‍රම යන දෙකටම යොමු කරවන ලදී. ටික කාලයක් ගත වීමේදී ඔහුගේ එම දුර්වලතාව හඳුනාගෙන ඒවා මගහරවා ගනිමින් හොඳ පෞරුෂත්වයකින් හෙබි පුද්ගලයෙක් විය. පසුව ඔවුන් දෙදෙනා යොදා ගත් පරිදි මේ මංගල්‍ය සිදු විය. ඔබ දන්නා අයෙකු මෙවැනි තත්ත්වයකට මුහුණ පා සිටී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත හෝ සුදුසුකම් ලත් උපදේශකවරයකු වෙත ගොස් උපදෙස් ලබා ගැනීමෙන් මෙම තත්ත්වයෙන් අත්මිදිය හැකිය.

මනෝ විද්‍යා උපදේශක මේජර් සුසන්ත ද සිල්වා (විශ්‍රාමික)
උපුටා ගැනීම සිළුමිණ