🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නිවැරදි ආකාරයෙන් පෝරුවේ චාරිත්‍ර කරන්නේ මෙහෙමයි

නිවැරදි ආකාරයෙන් පෝරුවේ චාරිත්‍ර කරන්නේ මෙහෙමයිවිවාහ මංගල උත්සවයකදී පෝරුවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බව කිවයුතු නොවේ. විවාහ නැකත් බහුලව යෙදෙන ඉදිරි මාස කීපය තුළ උත්සව ශාලා කල් ඇතිවම ඇනවුම් කර මංගල උත්සවය සඳහා විශාල මුදලක් වැය කිරීමට විවාහ පේක්ෂිත යුවතිපතිනී සූදානම්ව සිටී. එහෙත් මෑතක දී අපට දක්නට ලැබුණු මංගල පෝරු චාරිත්‍ර සිදු කරන අවස්ථා කිහිපයක්ම එම චාරිත්‍රවල සැබෑ අරුත හෝ පෝරුව පිළිබඳව නිසි අවබෝධයක් නැතිව කරන විකට ජවනිකා බව පෙණුනි. පෝරුවේ චාරිත්‍රවල සැබෑ අරුත පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම ලිපිය යොදා ගනිමු.

මංගල පෝරුවක් මත නැගීමට ජීවිතයේම ලැඛෙන්නේ එකම අවස්ථාවකි. දෙවැනි විවාහයකදී ඒ අවස්ථාව හිමි නොවේ. මව්පියන්ට කීකරුව හැදී වැඩී පිරිසිදු චරිතයක් ඇතිව හැදුනු බවට පත් වූ යුවතිපතීන් දෙමාපිය වැඩිහිටි හිතමිතුරන් ඉදිරියේ මංගල පෝරුව මත අභිෂේක කරනු ලැබේ. එවැනි යුවළකට එම අවස්ථාව වාසනාවන්ත අවස්ථාවක් බව කිව යුතු නොවේ. මංගල පෝරුව දීර්ඝ අතීතයකට නෑකම් කියන බව පෙනේ. එය සිද්ධාර්ථ කුමරුන් හා යශෝධරා දේවීන් වෙනුවෙන් විශ්ව කර්ම දෙවියන් විසින් කරන ලද පෝරුව සිහිපත් කරන පුරාණ කවි වලින් කියන පරිදි වසර දෙදහස් හයසීයක ඉතිහාසයක් තිබේ. මහින්දා ගමනයට පෙර මංගල චාරිත්‍ර කෙසේ වුවත් ඉන් පසුව මෙරට සිංහල විවාහ චාරිත්‍ර බෞද්ධ මුහුණුවරක් ගෙන තිබේ.

මෙකල විශාල වියදමක් දරා මිලට ගන්නේ ඊට පෙර මංගල ජෝඩු ගණනාවක් නංවන ලද පැරණි පෝරුවක් වීම හාස්‍යජනකය. පරණ පෝරුවක අලුත් ජෝඩුවක් අභිෂේක කිරීම නොකළ යුතුය. වැඩි වියදමක් නොකර ගොක්කොළ හෝ කඩදාසි සැරසිලිවලින් චාම් පෝරුවක් නිර්මාණය කර ගත හැකිව තිබේ. ඊට දක්ෂ කලාකරුවන් සෑම ප්‍රදේශයකම පාහේ සිටිති. කිසිදු ප්‍රමිතියකට නැතිව කෘතීම මල්වලින් ද අලංකාර විදුලි බුබුළුවලින්ද, නිර්මාණය කළ ද, පෝරුවක් කෙසේ විය යුතු දැයි පුරාණ පෝරුවේ කියමන් වල සඳහන්ව තිබේ. එහි සතර දිශාවට දොරටු සතරක් තිබිය යුතුය. සතර දිශාවේ සතරවරම් දේව රූප ද, ඇත්, හංස, ලියවැල්, පලාපෙති, නෙළුම් මල් ආදී නිර්මාණවලින්ද අලංකාර විය යුතුය. පෝරුවේ වියන රවි චන්ද්‍ර කුජ, බුධ, ගුරු ශුක්‍ර, ශනි රාහු කේතු යන නවග්‍රහමණ්ඩලය ඇදී තිබිය යුතු අතර සතර දිශාවේ කලස් හතරක් තබා පහන් දැල්විය යුතුය. ඒ සතර වරම් දෙවියන් වෙනුවෙනි. පෝරුව මත බුලත්, පොල් ගෙඩියක්, පඬුරු තබා ලද පස්මල් ඉසිනු ලැබේ. මේ ආකාරයටම පෝරුවක් නිර්මාණය කිරීම අධික වියදම් යන කරුණක් නම් ඉහත අංග සහිත චාම් පෝ්රුවක් සාදා ගැනීමේ වරදක් නැත. එහෙත් ලස්සන පමණක් සලකා පැරණි පෝරුවක් මිලට ගැනීම සුදුසු නැත.

මනාලයා මනාලියගේ නිවසට ඇතුළු වන දොරටුවේ දකුණු පසින් සිටින සේ එදින ශුභ දිශාවට මුහුණලා පෝරුව පිහිටුවීම මැනවි. ගුණවත් පුද්ගලයකු විය යුතුය. සමහර තැන්වල චාරිත්‍ර කරවන අයට එහි සැබෑ අරුත පිළිබඳව අවබෝධයක් ඇති බව නොපෙනේ. මේ අතර කට ගොන්නක් මත්පැන් පානය කර කටින් මත්පැන් ගඳ විහිදුවමින් පිස්සන් මෙන් හැසිරෙන අයමද පෝරුවේ චාරිත්‍ර සිදු කරන තැන් තිබේ. තවත් විටෙක දෙපාර්ශ්වයෙන්ම දෙදෙනෙකු ඉදිරිපත් වී තර්ක විතර්ක කරමින් පෝරුවේ චාරිත්‍රය මනා කලබැගෑනියක් බවට පත් කරන අවස්ථාද තිබේ. යුවතිපතීන් හා දෙමාපියන් විසින් අෂ්ටක කීම සඳහා මෙවැනි පුද්ගලයන් තෝරා ගත යුතු නැත. ඔහු නීති පන්සිල්වත් රකින කෙනෙකු විය යුතුය. කීමේ බිණීමේ සමත් කම් ඇති චතුර කෙනෙකු විය යුතුය. අවස්ථාවට උචිතව ක්‍රියා කළ හැකි විය යුතුය. චාරිත්‍ර කරන දින උදේ ස්නානය කර තෙරුවන් නැමැද සුදුවතින් හෝ ඊට ගැලපෙන ඇඳුමක් හැඳ පැමිණීම වැදගත්ය. චාරිත්‍ර කිරීමෙන් පසුව වුවද මත්පැන් බී නටන අය අෂ්ටක කීමට සුදුසු අය නොවේ.

පෝරුවේ චාරිත්‍ර ගණනාවක් සිදු කරන අතර, ශුභ නැකතින් ශුභ දිශාව බලා පෝරුවට නැංවීම, අතපැන් වත්කිරීම, තැලිපිලි පැළඳවීම, කැවුම් කිරිබත් අනුභවය, බුලත් හුරුළු මාරුකිරීම, කිරිකඩ සේලය පිදීම, ජයමංගල ගාථා හා අෂ්ටක කීම ආදී චාරිත්‍ර පවත්වා ශුභ නැකතින් පෝරුවෙන් බැස්සවීම ඊට ඇතුළත් වන්නේය. මේ සෑම චාරිත්‍රයක්ම නිකම්ම සිදු කරනවා නොව ගැඹුරු අර්ථයක් සහිතවම සිදු කරන චාරිත්‍ර වන්නේය. ඒවා සිදු කරන අවස්ථාවලදී චාරිත්‍රයේ අර්ථය අන්‍යයන්ට පහදා දීම අෂ්ටක කියන ගුණවතාගේ වගකීමකි. පෝරුවට නැංවීම පළමු චාරිත්‍රය යි. මෙහිදී නව යුවළ පෝරුවට නැංවීමට පෙර මනාලයාගේ වම් පසින් මනාලිය සිටුවා යුවල සමගම අන්‍යයන් ද පන්සිල් ගැනීම සිදු කළ යුතුය. අනතුරුව ත්‍රිවිධ රත්නයට නමස්කාර කරන ගාථා හා දේවතාරාධනා කිරීම වැදගත්ය. මෙවැනි නමස්කාර ගාථාවක් පහත පළවේ.

සම්මා සම්බුද්ධ ඥානේන
සම්මා සම්බුද්ධ දේශණා

සම්මා සම්බුද්ධ ලෝකස්‌මිං

සම්මා සම්බුද්ධ තේ නමෝ

දෙවියන් උදෙසා කියන සෙත්කවියක් කීමද උචිතය. පහත පලවන්නේ ශ්‍රී විෂ්ණු කතරගම, හා දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා කියන එවැනි සෙත් කවියකි.

සකල බල තෙද විපුල ගුණ ඇති කතරගම දේවි මයුර වාහන
මෙකල සිරිලක පතල තෙද ඇති විෂ්ණුදෙවියනි ගුරුළු වාහන

පතල තෙද ඇති දේවතා බණ්‌ඩාර දෙවියනි අපව රැක දෙන

මඟුල් පෝරුවේ ඇතත් දොස්‌ එය දුරු කර මේ දෙදෙන රැක දෙන

මෙයින් පසුව යුවල පෝරුවට නැංවිය යුතුය. මෙහිදී සෙත්පිරිත් ගාථා කිරීම සුභ වන අතර දෙදෙනාගේ මාමාවරුන් දෙපළක් ඊට උදව් දීම සම්ප්‍රදායකි. මේ අවස්ථාවේ ජයසක් හඬ හා මගුල් ඛෙර වාදනය කිරීමද වැදගත් වේ.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
උපුටා ගැනීම දිවයින