This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
දාන පාරමිතාව
null

මානව ධර්මයන් සමාජගත සිද්ධාන්ත සමඟ ගැළපීමේදි පුද්ගලයාට අත්‍යවශ්‍ය ක්‍රියාකාරිත්වය වන්නේ දානයයි. මේ නිසා පුද්ගලයා යහපත් තැනැත්තෙකු බවට පත්වන්නට පරිත්‍යාගය අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වූ අයුරු මානව ඉතිහාසයේ සෑම කාර්යකදීම සනිටුහන් වී ඇත. පරිත්‍යාගය නිසාම මානව පරපුර යුගයෙන් යුගයට නොනැවති අඛණ්ඩව පියවර තබන්නේය. පුද්ගලයා සතු සෑම වස්තුවක්ම ඇතිවන්නේ හෝ පවතින්නේ සාමුහික ප්‍රයත්නයන් නිසාමය. එය සොබාදහමට මෙන්ම සියලු සත්ව ප්‍රජාවටම පොදු ධර්මතාවයකි. උතුම් චාරිත්‍රයක් වශයෙන්ද ශිෂ්ටාචාර පදනමක් මෙන්ම පුද්ගලාන්තර සම්බන්ධීකාරක භාවිතයක් වශයෙන්ද පරිත්‍යාගය අත්‍යවශ්‍ය වන්නේය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පුබ්බේව දානා සුමනා භවාමි
දදම්පිචෙ අත්තමනා භාවාමි 
දත්වාපි චෙ නානුතමනා පච්ඡා 
තස්මාහි අම්හෙ දහරා නමීයරෙ

සුපින්වත්නි...  සකල ජන මන සනසන අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරදී සුද්ධෝදන මහ රජතුමන් හමුවීවේදී මෙම ගාථා ධර්මය මතක් කරදෙමින් ධර්මපාල ජාතකය දේශනා කළ සේක. සුද්ධෝදන මහරජතුමා පුතනුවන් වහන්සේ දැන් මතු නොවෙයි. පෙරාත්මයට දරුවු සේකම යයි උපන් සොම්නසින් අනාගාමි මාර්ගයට පැමිණියහ. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දාන, සීල, භාවනා වශයෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් දැක්වෙන අතර පිළිවෙළින් ක්ලේශධර්මයන් තදංග , වික්ඛම්භන, සමුච්ඡේක වන ත්‍රිවිධාකාරයෙන් ප්‍රහීණ කොට නිවන් අවබෝධ කිරීමට වාසනා භාගි වන්නේය. මානව ධර්මයන් සමාජගත සිද්ධාන්ත සමඟ ගැළපීමේදි පුද්ගලයාට අත්‍යවශ්‍ය ක්‍රියාකාරිත්වය වන්නේ දානයයි. මේ නිසා පුද්ගලයා යහපත් තැනැත්තෙකු බවට පත්වන්නට පරිත්‍යාගය අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක වූ අයුරු මානව ඉතිහාසයේ සෑම කාර්යකදීම සනිටුහන් වී ඇත. පරිත්‍යාගය නිසාම මානව පරපුර යුගයෙන් යුගයට නොනැවති අඛණ්ඩව පියවර තබන්නේය. පුද්ගලයා සතු සෑම වස්තුවක්ම ඇතිවන්නේ හෝ පවතින්නේ සාමුහික ප්‍රයත්නයන් නිසාමය. එය සොබාදහමට මෙන්ම සියලු සත්ව ප්‍රජාවටම පොදු ධර්මතාවයකි. උතුම් චාරිත්‍රයක් වශයෙන්ද ශිෂ්ටාචාර පදනමක් මෙන්ම පුද්ගලාන්තර සම්බන්ධීකාරක භාවිතයක් වශයෙන්ද පරිත්‍යාගය අත්‍යවශ්‍ය වන්නේය. දශ පාරමිතාවන්ගෙන් පළමු පාරමිතාව දානය වන අතර සතර සංග්‍රහ වස්තුන් කෙරෙහිද ප්‍රථම වන්නේය. සක්විති රජකෙනෙකුගේ දශරාජ ධර්මයටද දානය ප්‍රධාන වන්නේය. එමෙන්ම සම්බුද්ධ ශාසනය ජනතා චිත්ත සන්තානයේ ප්‍රතිෂ්ඨාපනය වීමට දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම හේතුවන අතර දානය මූලිකව ක්‍රියාත්මක වන්නේ නම් සෙසු පුණ්‍ය ක්‍රියාවන් සම්පූර්ණ කරගැනීමට පහසුවන්නේය. 

භවිස්සන්ති ඛො පනානන්ද අනාගතමද්ධානං ගෝත්‍රභුනෝ කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා තෙසු දුස්සීලෙසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපහං ආනන්ද සංඝගතං දක්ඛිණා අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි. නත්වේවාහං ආනන්ද කෙනදි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලිකාං දානං මහප්ඵලං කරං වදාමි. යනාදි නයින් අප බුදුරජාණන් වහන්සේ සාංඝික දානයේ හා පුද්ගලික දානයේ ප්‍රතිවිපාක පරතරය දේශනා කොට වදාළ සේක. භික්ෂු ශාසනය ක්‍රම ක්‍රමයෙන් පරිහානියට පත්වී අනාගතයේ කාසාවකණ්ඨ හෙවත් අතේ කහනූල සංකේත කරගනිමින් දුශ්සීල පාපධර්මයෙහි නියැළෙන ශ්‍රමණයන්ට යමෙක් සාංඝික දානයක් දෙන්නේද එම සංඝගත දක්ෂිණාවෙන්ද මහානිශංස අප්‍රමාණව ලැබෙන්නේය. එහෙත් පුද්ගලික දානය මහත්ඵලකර නොවන්නෙ යයි බුදුරජාණන් වහන්සේ දක්ෂිණාවිභංග සූත්‍රයෙන් දේශනාකොට වදාළ සේක.

පංචිමෙ භික්ඛවෙ දානෙ ආනිසංසා කතමේ පංච බහුනො ජනස්ස පියොහොති මනාපො සන්තො සප්පුරිසා භජන්ති. කල්‍යාණෝ තිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති ගිහීධම්මා අනපෙතො හොති. කායස්ස භේධා පරම්මරණා සුගතිිං සග්ගං ලොකං උප්පජ්ජති. සමාජමය වශයෙන් දානයේ ආනිශංස අපමණ වන අතර පුද්ගලයෙකුගේ සංසාර ගමනේ දුක්වේදනා ශමනය කරමින් නිවන් අවබෝධ කරන තුරු සද්පුරුෂ ආශ්‍රයෙන් සමාජයට පි‍්‍රය මනාපව සුවසේ ජීවත්වීමට හැකිවන්නේය. මෙයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අප මහා ගෞතම බෝසතාණන් වහන්සේ දීපංකර සර්වඥයන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් තැන් පටන් ආරම්භ කළ පාරමී ගුණ දහම් අතර ප්‍රධාන කරගත්තේ දාන පාරමිතාවයි. සත්ව ප්‍රජාවගේ පැවැත්මට මූලාධාර වන භෞතික වස්තූන් වන ආහාරපාන මෙන්ම ශරීර අංගෝපාංගද අවශ්‍යතා අනුව අනුන්ගේ ජීවනය සඳහා පරිත්‍යාග කිරීම, සිතින් මුදාහැරීම මානව ධර්ම ආරක්ෂා කිරිමට හේතු වන්නේය. එබැවින් පරිත්‍යාගය සෑම ශිෂ්ටාචාරයකම දැක්වෙන උදාර මානුෂික ගුණාංගයක් බව අතීත මානව පරපුරේ පැවත්ම අනුව අවධාරණය වන්නේය. බුද්ධාදී උත්තමයන් පාරමී ධර්මයන් සම්පූර්ණ කරන සමයේ පරිත්‍යාගය උපරිම වශයෙන් පුරුදු පුහුණු කළ ආකාරය වෙස්සන්තර ජාතකය, ධර්මපාල ජාතකය, දේවධර්ම ජාතකය ආදි ජාතක කතා සංසිද්ධීන්ගෙන් මොනවට ප්‍රත්‍යක්ෂ වන්නේය. දන්දීමට පෙරත්, දෙන අවස්ථාවේ මෙන්ම දීමෙන් පසුවද සතුටුවන්නේ නම් එම දානයෙන් ලබන ආනිශංස අපමණ වන්නේය. කුල සිරිතක් වශයෙන්, මානව ධර්මයක් වශයෙන් මෙන්ම භව විභව සම්පත් සාධනීය මහා කුසලයක් වශයෙන්ද දන්දීම මහෝපකාරි වන්නේය. දන්දීමේදි ප්‍රධාන කාරණා තුනක් අවශ්‍ය වන්නේ.

01. දන්දීමේ ශ්‍රද්ධා චේතනාව චිත්ත සම්පත්තිය 
02. වස්තුව වස්තු සම්පත්තිය 
03. දන්දීම ලබන්නා දක්ෂිණාර්හ සම්පත්තිය

දන්දීමේ චේතනාව ශ්‍රද්ධාව මූලිකව පවත්නා බැවින් බුද්ධාදී තෙරුවන් පිළිබඳ අවබෝධය හා ප්‍රසන්නව දන්දීමේදි ආරම්භයේ පටන් අවසානයට දක්වා චිත්ත සන්තානයේ තිරසර ලෙස විද්‍යමාන විය යුතුවන්නේය. එබැවින් මෙසේ දක්වා ඇත.

පුබ්බේව දානා සුමනො 
දදං චිත්තං පසාදයං 
දක්වා අත්තමනො හොති 
එසා යඤ්ඤස්ස සම්පදා
යමෙක් තිරිසන් සතෙකුගේ බඩගිනි නිවාලන චේතනාවෙන් ආහාර වේලක් පිරිමසාද එයින් සියක් ජන්මයෙහි ආයුවර්ණාදී සැප ලබා දෙන්නේය. එහෙයින් බුදුරදුන් වදාළේ එමෙන්ම දුශ්ශීල මිනිසෙකුට දුන් දන් දහසක් අත්බැව්හිදි විපාක දෙන්නේය. මෙසේ ක්‍රමයෙන් පුද්ගල දාන උපරිමතල වශයෙන් ලොව්තුරා බුදු කෙනෙකුගේ මහත් ගුණකඳ සමරා දන් පැන් පුදන්නේද? ඔහුට එහි විපාක ලෙස අසංඛ්‍ය ගණන් ආයුරාරෝග්‍යාදි සැප සම්පත් ලැබෙන්නේය. තවද යමෙක් බුදුපාමොක් මහසඟනට සාංඝික දානයක් පිරිනමන්නේද ඔහුද සසර වසන තුරාවට දේවමානුෂිකාදි සම්පත් ලාභී වන්නේය.

සබ්බදානං ධම්මදානං ජිනාති 
සබ්බං රසං ධම්මරසොජිනාති 
සබ්බරතිං ධම්මරතී ජිනාති 
තණ්ක්ඛයො සබ්බ දුක්ඛං ජිනාති

සියලු ආමිස දානයන්ට වඩා ධර්ම දානයම උතුම් වන්නේය. සියලු රසයන්ට වඩා ධර්ම රසය උතුම් වන්නේය. තවද සියලු ඇලීම්වලට වඩා නව ලොව්තුරා ශී‍්‍ර සද්ධර්මයෙහි ඇලීම අති උතුම් වන්නේය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන සියලු තණ්හා ක්ෂය කිරීමෙන් සියලු දුකින් නිදහස් උතුම් නිවනින් සැනසීමට හැකිවන්නේය.

මෙම ධර්මය කියවීමෙන් පිළිපැදීමෙන් ඔබ සැමට උතුම් නිවන් සම්පත් ලැබේවා! සියලු සත්වයෝ සුවපත්වෙත්වා! 

අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදි රාජකීය පණ්ඩිත අමුණුපුර පියරතන හිමි
උපුටා ගැනීම බුදුසරණ