This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
සහෝදරයා ප්‍රේතයෙක් වී දේපළ අයිතිය ඉල්ලයි
“මුන් අම්මව රවටලා දේපළ ලියා ගත්තා. මගේ කොටස දියල්ලා නැත්නම් මම උඹලගෙන් පළි ගන්නවා” යි ජයවතී ගේ ශරීරයට ආවිශ්ට වූ භූතයා තම දේපළ අයිතිය පිළිබඳ ආශාවෙන් කියා සිටියේය. “නොදුන්නොත් තමන් මොකද කරන්නෙ?” යි ආධ්‍යාත්මීය උපදේශකවරයා ඇසීය. “නොදුන්නොත් මේකිව ලෙඩ කරනවා. මරාගෙන යනවා.” “තමුන් කවුද?” “මම මේකිගෙ අය්යා. මම ආවේ මගේ ඉඩම් දේපළ අයිතිය ඉල්ලන්න.” ජයවතී කොබවක ප්‍රදේශයේ පදිංචි හැට එක් හැවිරිදි දෙදරු මවකි. ඇගේ සැමියා රජයේ සේවයෙන් විශ්‍රාම ගිය කෙනෙකි. පවුලේ දියුණුව කඩා වැටීම, ඇඟ පත දැඩි වේදනාව, හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වීම, නිවසේ රාත්‍රියට පැතිර යන දුර්ගන්ධය ආදි දුක් කරදරවලින් ඇයත් පවුලේ අයත් අවුරුදු හත අටක සිට දුක් වින්දාහ. “සිළුමිණ” පත්‍රයේ පළවන “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ඇය සිය සැමියා සහ වැඩිමහල් දියණිය සමඟ පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා ඔවුන් සමඟ සාකච්ඡා කොට ශක්ති කිරණ එල්ල කරන විට ජයවතී තුළින් භූතාත්මයක් අවදි වී වෙවුලා සිහිසුන්ව වැටුණාය. ජයවතීගේ ශාරීරික දුර්වලතාව හෝ භූතාත්මයේ දුර්වලතාවක් නිසා එසේ සිදුවන බැවින් පවුලේ අයට ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය. බෝධි පූජා පැවැත්වීමේදී සජ්ඣායනය කළ යුතු පිරිත් සූත්‍ර කීපයක් නියම කොට සිත ඒකාග්‍ර වන ලෙස සරල භාවනාවක් ද නියම කළේය. ඊළඟ දිනයේ ජයවතී සමඟ සාකච්ඡා කොට මීට පෙර යම් කිසි අවස්ථාවක දිෂ්ටි ගැන්වී ඇත්දැයි ප්‍රශ්න කළ විට එවැන්නක් මීට කලින් සිදුව නැතැයි ඇය කීවාය. එදින ජයවතී ප්‍රලය වී කෑ ගසන්නට වූවාය. මීට පෙර ඇය දිෂ්ටි ගැන්වී ඇති බව වටහා ගත් ගවේෂකවරයා ඔවුන්ට පිටව ගොස් තව පැය බාගයකින් නැවත ඇතුළට එන්නැයි කීවේය. පැය බාගයකට පසු නැවත ගවේෂකවරයා ඉදිරියට පැමිණ ජයවතී මීට පෙර ප්‍රලය වී ඇති බව ප්‍රකාශ කළාය. “මහත්තයා සමාවෙන්න කලින් ඇත්ත කියන්න බැරි වුණා. මම මීට කලිනුත් ආවේශ වෙලා තියෙනවා. මීට කලිනුත් තොවිල් දහයක් විතර කළා. මාස දෙකකට කලිනුත් තොවිලයක් කළා. ඒකට ලක්ෂ දෙකක් විතර වියදම් වුණා. කලින් ඇත්ත නොකිව්වේ ඒ තොවිලයෙන් වැඩක් වුණා ද කියලා දැනගන්න. ඒ අමනුෂ්‍යයා තවම ශරීරයේ ඉන්නවා ද කියලා දැනගන්නයි අපි මෙහෙට ආවේ” යි කීවාය. ජයවතීට ශක්ති කිරණ එල්ල කරන විට නැවත ප්‍රලය වූවාය. ගවේෂකවරයා කතා කළේය. “කවුද මේ ශරීරයට ආවිශ්ට වුණේ?” “මම මේකිගෙ අය්යා” “මොකක්ද නම?” “ගුණදාස” “මොනවා වෙලා ද මැරුණේ?” “පපුවෙ අමාරුවක් හැදිලා” “කවදද මැරුණේ?” “අවුරුදු අටකට කලින්” “ඇයි මේ නංගිට අසනීප කරන්නෙ?” “මම අසනීප කරන්නෙ නෑ. මම ආවේ මගේ දේපළ අයිතිය ඉල්ලන්න.” “මැරිච්ච අයට කොයින් ද දේපළ අයිතිය?” “මට නොවෙයි, මගේ ගෑනිටයි දරුවන්ටයි මගේ දේපළ කොටස අරගෙන දෙන්න ඕනෑ.” “ඇයි තමන්ට දේපළ නොලැබුණේ?” “නංගි අම්මාව ගෙදර ගෙනැත් තියාගෙන ඉඳලා ඉඩම ලියාගෙන.” භූතාත්මය ජයවතීගේ ශරීරයෙන් ඉවත් කොට භූතයා කියන කතාවේ ඇත්ත නැත්ත කෙසේ දැයි ගවේෂකවරයා විමසීය. “මහත්තයා, අය්යාට ඉඩම් නොලියන්න හේතුවක් තිබුණා.” “ඒ මොකක්ද?” “අපේ අම්මා පෙන්ෂන් ගුරුවරියක්, තාත්තා නැතිවුණ දවසේ ඉඳලා අපිව හදා වඩා ගත්තේ ඉගැන්නුවේ අම්මා. අම්මා ජීවත්වුණේ මහ ගෙදර, අය්යා ජීවත්වුණෙත් මහගෙදර. අය්යා අම්මාට සැලකුවේ නෑ. අය්යාගේ නෝනා අම්මාට වෙනස්කම් කළා. අම්මා ඉගෙන ගත්ත කෙනෙක් නිසා මේ කිසි දෙයක් කාටවත් කිව්වේ නෑ. මගේ මහත්තයාටවත් කීවේ නෑ. ඔක්කොම හිතේ දරාගෙන හිටියා.” “දවසක් අය්යගෙ ගෑනි අම්මාව ගෙයින් දොට්ට දාල පන්නාගෙන තිබුණා. අම්මා අපට කරදර කරන්නත් කැමති නෑ. අපේ මහත්තයා දැන ගන්නවට කැමතිත් නෑ ලැජ්ජයි කියලා. ඔහේ ඔළුව හැරුණු අතේ ගිහින්, අපි මේ මොකවත් දන්නේ නෑ. මේ වෙනකොට අම්මාගේ වයස අවුරුදු අසූ පහක්. ඒ වුණාට සිහිය කල්පනාව හොඳට තිබුණා.” “දවස් හතරකට පස්සේ අපට ආරංචි වුණා අපේ අම්මා පාණදුරේ බස්ටෑන්ඩ් එකේ බිම වාඩි වෙලා ඉන්නවා කියලා. අපි අඳුනන කෙනෙක් අපට ඇවිත් කිව්වා, මමයි මගේ මහත්තයයි ඒ වෙලාවෙම ත්‍රීවීල් එකකින් ගිහින් අම්මාව අරගෙන ආවා. ඒ වෙනකොට අම්මා ඇඳගෙන හිටපු ඇඳුම් හොඳට ම කිලුටු වෙලා. අම්මවත් දූවිලිවලින් කළු වෙලා. අපි ත්‍රීවිල් එකේ දාගෙන අපේ ගෙදර ගෙනාවා. වතුර උණු කරලා නාවලා කන්න බොන්න දුන්නට පස්සේ අම්මා අඬන්න ගත්තා. ඒත් කිසි දෙයක් කීවෙ නෑ.” “අම්මා ගෙදරින් ගිහින් අය්යයි ගෑනියි සද්ද නැතුව හිටියා. අපේ ලොකු දුව ටෙලිෆෝන් කරලා මාමගෙන් අහලා තිබුණා කෝ මාමෙ ආච්චි කියලා. කොහේද ගිහිල්ලා. ගෙදර නෑ, කියලා තිබුණා. අපි ඊට වඩා දෙයක් ඇහුවෙ නෑ.” “අපේ මහ ඉඩම පර්චස් අසූවයි, ගේ තියෙන කොටස පර්චස් විස්සයි, මට පර්චස් විස්සක් දුන්නා. අය්යට දෙන්න පර්චස් හතළිහක් ඉතුරු කරගෙන හිටියා. අය්යයි ගෑනියි අම්මව දොට්ට දාපු නිසා ඒ පර්චස් හතළිහ මට ලිව්වා. අය්යගෙ ගෑනියි දරුවොයි දැනුත් ඉන්නේ ඉතුරු නොලියපු පර්චස් විස්සෙ තියෙන ගෙදර.” යැයි ජයවතී සම්පූර්ණ විස්තරය කීවාය. නැවතත් ජයවතී දිෂ්ටි ගන්වා ප්‍රේතයා සමඟ ප්‍රශ්න කළේය. “දැන් ගුණදාස මොකද කියන්නෙ?” “මට මගේ දේපළ කොටස ඕනෑ.” “ඒ දේපළ කාගෙ ද? කාට ද අයිතිව තිබුණේ.” “අම්මාට. මුන් අම්මා ඇ‍ඳේ ඉන්දැද්දි අස්සන් කරවාගෙන.” “කෝ දැන් අම්මා.” “අම්මා මැරිලා” “අම්මාට සාත්තු කළේ කවුද?” “.........” ප්‍රේතයා නිහඬ ය. “තමුන් අම්මාට සාත්තු සප්පායම් කළා ද?” “නැහැ” “ඒ මොකද?” “මගේ ගෑනි අම්මාට සලකන්න ඉඩ දුන්නේ නෑ.‍” “අම්මා අන්තිමට කොහේද හිටියේ?” “නංගිගේ ළඟ.” “ඊට කලින්?” “අපේ ගෙදර” “අම්මා කෑවෙ බීවෙ කොහොම ද?” “එයා වෙන ම උයාගෙන කෑවා.” “ඇයි එහෙම වුණේ?” “මගේ ගැනි අම්මාට කන්න දුන්නෙ නෑ.” “තමන් අම්මාට උයාගෙන කන්න බඩු ගෙනැත් දුන්න ද?” “නෑ” “ඉතින් එයා බඩු ගෙනාවෙ කොහොම ද?” “එයාගෙ පැන්ෂන් පඩියෙන්” “අම්මා ගෙදරින් ගියේ මොකද?” “මගේ ගෑනි අම්මාව දොට්ට දාලා දොර වහලා තිබුණේ.” “ඊට පස්සෙ අම්මාට මොකද වුණේ?” “දන්නෙ නෑ” “තමුසෙ මහා අසත්පුරුෂයෙක්. මේ ලෝකෙට නොගැළපෙන අයෙක්.” “මගේ අයිතිය මට දීපල්ලා. මගේ දේපළ කොටස මට ඕනෑ.” “තමුසෙගෙ ගෑනිගෙන් ඉල්ලා ගන්නවා.” “මගේ අයිතිය මට ඕනෑ” “තමුසෙ උසාවි යනවා. මම තමුසෙට දවස් හතක් කල් දෙනවා. තමුසෙයි ගෑනියි අම්මාට කළ වෙනස්කම් නිසා ඉඩම් දේපළ අම්මා නංගිට දුන්නා. මේ ලෝකෙ සාධාරණය කියලා දෙයක් තියෙනවා. අම්මා ඒක ඉෂ්ට කැර තියෙනවා. මේ දවස් හත ඇතුළේ මේ ශරීරයෙන් ඉවත් වෙන්න හිත හදාගෙන එන්න ඕනෑ. නොගියොත් අල්ලලා මූදට දානවා” යි කී ගවේෂකවරයා තවත් බෝධි පූජා හතක් පවත්වා නැවත එන්නැයි ජයවතීට කීවේය. ඊළඟට පැමිණි දිනයේ ද ජයවතී අවිශ්ට විය. ප්‍රේත ජීවියා සමඟ ගවේෂකවරයා කතා කළේය. “තමුසෙ මේ ශරීරයෙන් ඉවත් වෙලා යනවා ද නැද්ද?” “නැහැ මම යන්නෙ නෑ. මගේ ඉඩම් කොටස මට දෙනකම් මම යන්නේ නෑ.” “අම්මාට නොසලකපු එකා දැන් පෙරේතයෙක් වෙලා. ඉඩම් තණ්හාව මිස අම්මට සලකන්න, තමන්ව වදාපු හදාපු ණය ගෙවන්න හිතුණෙ නෑ. ගෑණිත් එක්ක අම්මට වෙනස්කම් කරලා අන්තිමේ අම්මා ඔක්කොම අතහැරලා යන්න ගියා. පාණදුරේ බස්ටෑන්ඩ් එකේ මැරෙන්න කියලා හිතාගෙන ඉන්දැද්දි නංගි ගිහින් අරගෙන ඇවිත් සාත්තු සප්පායම් කළා. උඹට දේපළ තණ්හාව තියෙනවා නම් අම්මව ගෙදරින් එළවපු ගෑණිගෙන් ඒවා ඉල්ලාගනින්” යැයි කී ගවේෂකවරයා ප්‍රේතයා ජයවතීගේ ශරීරයෙන් එළියට ඇද පන්නා දැම්මේය. ජයවතීටත්, පවුලේ අයටත්, ඉඩමටත්, ඔවුන් පදිංචි නිවසටත් ආධ්‍යාත්මික ආරක්ෂාවක් යොදා දිනපතා නිවසේ භාවිත කළ යුතු පිළිවෙත් කීපයක් නියම කොට, පන්සලට හීල් දානයක් පූජාකොට මෑණියන්ට පින් අනුමෝදන් කරන ලෙස ද කීවේය. මතුගම මහින්ද විජේතිලක උපුටා ගැනීම සිළුමිණ පුවත්පත