This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
යහපත වැඩිකිරීම සුන්දරය, විසිතුරුය
හැමෝටම වැරදි තිබේ. වැරැදි නොකරන, අයහපත නොකරන අය දුෂ්කරය. ප්‍රඥාවන්තයින් සැමවිටම උත්සහ කරන්නේ අයහපත සිදුවන වාර ගණන අඩු කිරීමටය. ඒ සදහා කදිම අභ්‍යාසයකි අනුන් කළ නොකළ දේගැන හාර අවුස්‌සනවා වෙනුවට තමන් කළ නොකළ දේගැන අවධානය යොමු කිරීම. අපි කැමතියි 'මම' කියන පුද්ගලයා අනෙක්‌ සියලුදෙනාට වඩා උසස්‌ යෑයි හුවාදක්‌වන්න. මගේ මොකුත්ම වැරදි නැහැ, අනෙක්‌ අය තමයි වැරදි කියලා ඇඟිල්ල දිගුවන්නේ ඒ නිසයි. අර කෙනා දුෂ්ටයි. අර කෙනා නපුරු යෑයි කියන්නේ නොදැනුවත්වම අප ළඟ එවැනි අයහපත් ගති තිබෙන නිසාය. මෙය කියවන ඔබ මේ ලියවිල්ල ගැනත්, මා ගැනැත් නපුරු සිතින් යමක්‌ ප්‍රකාශ කළොත් මම ඒ ගැන සානුකම්පිතයි. මන්දයත් මෝහයෙන් අපගේ මනස වෙලාගනිද්දී අප කරන කියන දේ ගැන අපගේ සිහිය නොපවතින්නේය. මෝහයෙන් මුලාවී ද්වේශයෙන් වැඩියෙන්ම වැරදි දැක වෛරයෙන් චෝදනා කරන්නේ තමන් ගේම සහෝදර සහෝදරියන්ටය. නැතිනම් ඤාතීන්ට, මිතුරන්ට හෝ අසල්වැසියන්ටය. එයින් සිදුවන්නේ තම හාත්පස නැතිනම් තම අවට සතුරු වළල්ලක්‌ හදාගැනීමයි. ඒ පමණක්‌ නොව සතුරු වළල්ල තුළ මානසිකව වෛරය නමැති ගින්නෙන් නිතරම තමා විසින් තමාම පුළුස්‌සා ගනියි. සැබවින්ම වෙනසකට පත්වීමට අවශ්‍ය නම් ක්‍රියාවලිය ආපසු හැරවිය යුතුය. අනුන්ගේ වැරදි නොසෙවිය යුතුයි. අනුන්ගේ වැරදි සැලකිල්ලට ගැනීම අපගේ කාර්යයක්‌ නොවේ. ඊට අයිතියක්‌ද අපට කිසිවෙක්‌ දී නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ගේ ස්‌වාමියා තමන්ම බව. විමුක්‌තිය වෙනත් බලවේගයක්‌ හෝ අසම පුද්ගලයෙක්‌ අප වෙත ගෙනත් පූජාකිරීමක්‌ නොවේ. විමුක්‌තිය වෙත එවැනි බලවේගයක්‌ හෝ අසම පුද්ගලයෙක්‌ විසින් අප කැඳවා නොගෙනයයි. විමුක්‌තිය ඇති කරගැනීම තම ක්‍රියාවලිය තුළ පවතින්නකි. එහෙයින් තම ක්‍රියාවලිය වෙනසකට භාජනය කළ යුතුය. අනුන් ගේ වැරදි අඩු පාඩු නොසොයා ඔබගේ වැරදි අඩුපාඩු සෙවීම නොකඩවාම කළ යුතුය. නමුත් එය කියන තරම් ලෙහෙසි නැත. අමාරුවෙන් හෝ පුරුදු කරගත්තොත් තමන්ට අසීමිත අදියාත්මික දියුණුවක්‌ ඇති කරගැනීමට හැකිය. සැහැල්ලු, ප්‍රීති සහිත මනසක්‌ ඇතිව ජීවත් විය හැකිය. සමාජයේ වැරැදි අඩුපාඩු දකිමින් සමාජයට වෛර කිරීම පසෙකලා තමන් කළ යුතු දේ ගැන සවිඥානික වන්නේ නම් සමාජයේ ගෞරවයට පාත්‍ර වන්නේය. තමන්ගේ වැරදි දෙස සැලකිලිමත් විය යුත්තේ පසු තැවීමට නොවේ. නිවැරදි මාවතට ප්‍රවිශ්ටවීමටය. මනස යහපත, නිවැරදි දේ ගැන සැලකිලිමත් වන තරමට යහපත් සිහිය වැඩේ. යහපත් සිහිය ඇති ප්‍රඥාවන්තයා තම මනසෙහි ජනිත වන සිතුවිලිවල වහලෙක්‌ බවට පත්නොවේ. එසේත් නැතිනම් හිතන හිතන දේ කරන්නන්වාලේ කරන්නෙකු බවට පත්නොවේ. හිතට එන දේ අනුව කථා කරන්නෙකු බවට පත්නොවේ. එළඹගත් සිහියෙන් යුතුව, ක්‍රියා කිරීමට පෙර එම ක්‍රියාවෙන් ඇති විය හැකි ප්‍රතිඵල ගැන විමසයි. තමන්ට සහ අනුන්ට අහිතකර ප්‍රතිඵල ගෙන දේ නම් එවැනි ක්‍රියාවෙන් වැළකිය යුතුය. කථා කිරීමේදී වචන තමන්ට සහ වෙනත් අයට අහිතකර තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදී පීඩන මානසිකත්වයන් ඇති කරයි නම්, එවැනි කථාවෙන් වැළකිය යුතුය. වර්තමානය යහපත් කරගැනීමට අතීත වැරදි සිහිපත් කිරීම වඩාත් බුද්ධිගෝචරයයි අදහසක්‌ පවතී. නමුත් සෑමවීටම එසේ නොවේ. අතීතය සිහිකිරීමෙන් කනගාටුව, පසුතැවීම, ද්වේශ සහගත සිතිවිලි ඇති වේ නම් ඒ ගැන සිහිකිරීම, කථා කිරීම නොකළ යුත්තකි. අතීත අත්දැකීම් අපගේ විඤ්ඤාණයෙහි රැඳී පවත්නේය. එවැනි තවත් අවස්‌ථාවකට අප මුහුණ දෙන කල්හී විඤ්ඤාණගත අත්දැකීම් අපට ඒ බව වහා සිහිගන්වයි. මෙම තත්ත්වය බුද්ධිමත් බව ලෙස අපි හදුන්වමු. එය හැකියාවකි. හැකියාව තියුණු ලෙස භාවිතා කිරීම තුළ නැවත අතීත ආකාරයේ අභාග්‍යයන්වලට ගොදුරු නොවේ. අතීත අද්දැකීම් සිහිපත් කරනවා නම් සිහිකළ යුත්තේ වර්තමානය යහපත් කරගැනීමට අදාළ අද්දැකීම් ය. එහිදී අතීත යහපත් දේ සිහිකිරීම වඩාත් ප්‍රයෝජනවත් ය. එය චිත්ත ප්‍රීතිය ඇතිකරයි. එම සිහිහැන්වීම වර්තමානයේදී යහපතෙහි නියෑලීමේ වාරගණන වැඩි කිරීමට අප පොළඹවයි. තමා විසින් කළ යුතු දේ සහ නොකළ යුතු දේ හදුනාගෙන කළ යුතු යහපත වැඩි කිරීමට, ප්‍රසාරණ කිරීමට සවිඤ්ඤාණක බව වැඩීම අතිශයින්ම විසිතුරුය. සුන්දරය. ශ්‍රාස්‌ත්‍රපති බටුවංගල සමිද්ධි හිමි ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය උපුටා ගැනීම දිවයින බුදුමඟ