🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

රෝහලක ප්‍රතිකාර ලබද්දී තමන්ට විදින එන්නත් ගැන පරීක්ෂාවෙන් ඉන්න

රෝහලක ප්‍රතිකාර ලබද්දී තමන්ට විදින එන්නත් ගැන පරීක්ෂාවෙන් ඉන්න

මුහුදු නැවියකු සේ රැකියාව කළ සිසිර ශාන්ත, එක් නිවාඩුවක සිය නිවෙසට පැමිණියේ බොහෝ කලකට පසුවය. සිය දියණිය, බිරිය හා සතුටින් ගෙවන්නට ලැබෙන මේ පුංචි නිවාඩුව වේගයෙන් ගෙවී යනවාදෝයි ඔහුට සිතුණේ වරක් දෙවරක් නොවේ. විවාහ වී සිටියද තාත්තා ගෙදර පැමිණි විට දූගේ සතුටට නිමක් නැත. පුංචි කාලෙ පටන් ගේ පුරා දුව පැන නැටූ එකම දූ, දීගෙක ගියද තාත්තාට නම් තවම ඈ පොඩි කෙල්ලකි. මේ, ඇමෙරිකාවේ සිට තාත්තා පැමිණි තවත් එක් නිවාඩු සමයෙකි. නොසිතූ මොහොතක ඔහුගේ කකුල තුවාල වූ අතර එය එතරම් ලොකු තුවාලයක්ද නොවූ හෙයින් දියණිය හොඳින් බෙහෙත් දමා වෙළුමක් ද දැමුවාය. දින කිහිපයක් ගත වුවද තුවාලයේ අඩුවක් නැති බවත් එය සිදුවූ දකුණු පාදයේ යම් ඉදිමීමක් ඇති බවත් දැනෙද්දී සිය පියා කළුබෝවිල රෝහලට රැගෙන යන්නට ඈ තීරණය කළාය. වෛද්‍යවරු පරීක්ෂා කළ අතර බෙහෙත් දමා තුවාලය පිරිසුදු කෙරිණි. එහෙත් පියා දැඩි අපහසුවෙන් බව ඇයට දැනිණි. “තාත්තෙ අපි මහ රෝහලට යමු...”දියණිය යෝජනා කළේ වැඩි පරෙස්සමටය. දකුණු කකුලේ පහළින් ඉදිමී තිබුණද ඇවිදීමට එය විශාල බාධාවක් නොවූයෙන් වාහනයෙන් බැස ඔහු රෝහල වෙත ඇවිදගෙන ගියේ දූගේ අතත් අල්ලාගෙනමය. එසේ, 2010 වසරේ මාර්තු මාසයේ දවසක සවස 3.30 ට පමණ කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 30 ට ඒ දියණී සිය පියා ඇතුළත් කළාය. ‍ඉන් පස්සෙ රෝහලින් දැනුම් දුන්නා සිරින්ජර් අටක් සහ I.V. සෙට් දෙකක් රැගෙන එන්නට. ඒ සමඟම ලේ සාම්පල දෙකක් ද දී අසල තිබූ පෞද්ගලික රෝහල් රසායනාගාරයට දී පරීක්ෂා කරගෙන එන ලෙසත් දැන්වූවා. මම ඒවා රසායනාගාරයට දීලා කියූ ඒ අවශ්‍ය බඩුත් රැගෙන යළි රෝහලට ආවා. ඒ වෙනකොට තාත්තට ඉන්ජෙක්ෂන් එකක් විදලා තිබුණා. අසාත්මිකතාවක් තියෙන නිසා ඒ බෙහෙත නැවැත්තුවා....’ හෙදියක් කිව්වා. ඉන්‍පස්සෙ තවත් බෙහෙතක් අරගෙන පරීක්ෂණයකින් තොරවම ඈ යළිත් විදිනවා මම දැක්කා. තාත්තා හිටියේ නිසොල්මනේ. ටික වෙලාවකට පස්සෙ මං තාත්තට කිව්වා, ‘ගිහින් එන්නම් තාත්තෙ...’ කියලා.

මගේ අත අල්ලගෙන හරිම අහිංසක විදියට මං දිහා බලලා බුදු සරණයි පුතේ! ගිහින් එන්න....’ කියල අමාරුවෙන් කියනවත් එක්කම තාත්තට තද කැස්සක් ආවා. මං දැක්කා තාත්තගෙ දිව ගිලෙනවා. මට ගෑගැහුණා. අනේ මං තාත්තගෙ හිස අල්ලගෙන හිටියේ. මොහොතක් ගියේ නෑ මගේ අත උඩට තාත්තගෙ බෙල්ල කඩා වැටුණා. නර්ස්ලා දුවගෙන ආවා. ඩොක්ටරුත් ආවා. තාත්තව පැත්තට හරවලා ඔක්සිජන් දුන්නා. මට පැත්තකට වෙන්න කියලා තාත්ත‍ගෙ පපුවට ‘ඉලෙක්ට්‍රික් ෂොක්’ එකක් දුන්නා. මට බලා ඉන්න බැහැ. ඒත් දාලා යන්න හිත දුන්නෑ. ‘ඩොක්ට ඇහුවා නර්ස්ගෙන්, මොනවද දුන්නු ඉන්ජෙක්ෂන් එක... කියලා.. ඩොක්ටර්ගෙ මූණ ඇඹුල් වුණා. නොසන්සුන්ව වගේ හිස දෙපැත්තට වැනුවා. මගේ මහත්තයත් එතැන හිටියා. මට කිව්වා එතැනින් යන්න කියලා. විනාඩි 30 ක් විතර හැමෝම තාත්තා වටේ ඉඳගෙන ලොකු උත්සාහයක. මං හිතුවේම තාත්තට සිහි නැතිවෙලා කියලා. ඒත් පැය බාගෙකට විතර පස්සෙ කියනවා, මගේ තාත්තා මිය ගියා කියලා. දෙයියනේ! මීට පැය කිහිපයකට ඉස්සර මාත් එක්ක ඉස්පිරිතාලෙට ඇවිදගෙන ආපු තාත්තා. තිබුණෙ කකුලෙ තුවාලයක් විතරයි. මං කොහොම විශ්වාස කරන්නද මැරුණා කියලා... මේක තනිකරම නොසැලකිල්ලෙන් සිදු වුණු දෙයක්... ඇයි අසරණ වෙලා එන රෝගීන්ට මෙහෙම සලකන්නේ...” ඒ දියණිය හඬමින් මං ඉදිරියේ මෙහෙම සාක්ෂි දුන්නේ ඇගේ පියාගේ මරණ පරීක්ෂණය වෙලාවේ. 

ඇත්තටම කරුණු විමසද්දී ඈ කියූ කතාව හරි වග තේරුණා. සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් වාර්තාවක් මා ඉල්ලුවා. එකපාරටම වාර්තාවක් දිය නොහැකි බවත් පරීක්ෂණ කිහිපයක් කළ යුතු නිසාත් පරීක්ෂණය කල් දැමුණා. ඊළඟට මා අදාළ හෙද නිලධාරියගෙන් සාක්ෂි විමසුවා. නිවාස වෛද්‍ය නිලධාරියා නිර්දේශ කළ පරිදි පමණක් ඔහුට බෙහෙත් විද්ද බවයි ඈ පැවසුවේ. පෙනිසිලින් දීමට පෙර සංවේදිතා පරීක්ෂණය කළ බවත් එතැන් පටන් වෛද්‍ය නිර්දේශය අනුව බෙහෙත් එන්නත් කළ බවත් දිගින් දිගටම මාත්‍රා පිළිබඳ දීර්ඝව සඳහන් කරමින් ඈ කරුණු කිව්වා. ඇඳ ඉහපත් වාර්තාවේ එය සටහන් කළ බවත් ඈ පැවසුවා. මාස 11 කට පසු‍ වෛද්‍ය වාර්තාව එන විට, අර වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරු වී ගිහින්. ඔහුවත් කැඳවා යළි පරීක්ෂණ ඇරැඹුවා. ඒ වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත්තා. පෙනිසිලින් වලට අර රෝගියා අසාත්මිකතාවක් පෙන්නුම් කර තිබූ නිසා, ‘Cloxacellin’ යම් මාත්‍රාවක් පැය 6 කට වරක් අන්තර් ශිරා මගින් දෙන්නත් ceffazidine ග්‍රෑම් එකක් පැය 12 කට වරක් දෙන්නත් නියම කොට තිබුණා. නමුත් දීර්ඝ වෛද්‍ය පරීක්ෂණ මාලාවකින් පසුව අනාවරණය කර ගත් දේ තමයි, පෙනිසිලින් යම් රෝගියකුට අසාත්මිකතාවක් දක්වනවා නම්, ක්ලොක්සසිලීන් කියන බෙහෙතත් එසේම අසාත්මික වන බව. මොකද මේ දෙකම එකම පවුලේ බෙහෙත් දෙකක් නිසා. අර රෝගියාට කර තිබුණේ පෙනිසිලින් සංවේදිතා පරීක්ෂණය පමණයි. අර ඔහුගේ දුව දුටුවා යැයි කී පරීක්ෂණයෙන් තොරව විදපු බෙහෙත තමයි ක්ලොක්සසිලීන්. ඔහු මරණයට පත් වුණේ ඒ එකම පවුලේ අනෙක් බෙහෙත අසාත්මික වීමෙන්. මෙය රෝහලේ නොසැලකිල්ල නිසා සිදු වූ මරණයක් බව කාට වුණත් පැහැදිලියි...” අහංගම මහතා පවසන මේ සිදුවීම, තවත් එක් මරණයක් පමණක් යැයි බැහැර නොකරන ලෙස අපි ඔබට යළිත් කියමු. රෝහලක ප්‍රතිකාර ලබන විට තමන්ට විඳින එන්නත් හෝ බෙහෙත් හෝ සිදුකරන ශල්‍ය කර්මය පිළිබඳ හෝ දැඩි අවධානයෙන් දැනුවත්ව සිටින්නැයි අපි ඔබට යළි මතක් කර සිටිමු.

කොළඹ විශ්‍රාමික නාගරික හදිසි මරණ පරීක්ෂක එඩ්වඩ් අහංගම මහතාගේ ජීවන අත්දැකීම් 

ඉනෝකා පෙරේරා බණ්ඩාර

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත