🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පොරොන්දම් ගැළපේ නම් විවාහය දෙවියන් දුන් පඬුරක්මය

කේන්දර පරීක්‍ෂාවකින් හෝ පොරොන්දම් විනිශ්චයකින් තොරව දුටු පමණින් හා හිතුවක්කාරි ලෙසින් සිදුකරගන්නා විවාහයන් තුළින් පීඩාවට පත්වන විවාහ ජීවිත පිළිබඳ ඔබව දැනුම්වත් කිරීමේ අදිටනින් යුතුව මෙම ලිපිය ලියමි. විවාහය "උත්තරීතර" වන අතර දෙවියන් ද ඒ සඳහා මැදිහත් වන බව කියමනෙන් සනාථ වේ. " දෙවියන් එක්කළ දෙය මිනිසා වෙන් නොකෙරේවා!. " කතෝලික සභාවේ විවාහයන්වලදී පූජකතුමා විසින් පූජාසනය මතදී ස්ත්‍රිය හා පුරුෂයා අතර ආශීර්වාදකර බන්ධනය සිදුකරමින් එම වගන්තිය පවසනුයේ චාරිත්‍රයක් ඉටු කිරීමට පමණක් නොව, ආඥාවක්ද ලෙසිනි. එම වගන්තියෙන් කියැවෙන වචනවල ඇත්තේ ගාම්භීරත්වයක් මෙන්ම දෙවියන් පිළිබඳ මිනිසා තුළ ඇති කරවන විශ්වසනීයත්වයයි. මනුෂ්‍යයන් සැම විටෙකම දෙවි පිහිට පතන්නන් වන බැවින් දෙවියන් හා බැඳුන එම විවාහ ගිවිසුම කඩකිරීමට බියක් දක්වනුයේ ගෞරව සම්ප්‍රයුක්ත හැඟුමින් යුතුවය. එසේ නම් පූජාසනයක් මතදී පමණක් නොව සම්ප්‍රදායික පෝරුවක් මතදී වුව සිදුවන විවාහය උත්තරීතර වන අතර එක් කළ දෙඇඟිලි වෙන් නොව විය යුතුමය. ස්ත්‍රී - පුරුෂ දෙදෙනකු අතර ඇතිවන සම්බන්ධය "විවාහය" ලෙස නම්කර ඇති අතර විවාහ ජීවිතයේ පරමාර්ථය වනුයේ අඹු සැමියන් ඔවුනොවුන් හරි හැටි හඳුනාගෙන කායික - මානසික තෘප්තියක් ලබමින්, එක වහලක් යට එකමුතුකමින් ජීවිතය ගත කිරීමය.

'විවාහය' යන වචනයේ පරම අර්ථය ඉටුවීමට නම් දෙදෙනා තම අදහස්, සමාන ගති පැවැතුම් ඇති යුවළක් විය යුතුය. එපමණක් ද නොව කායික වශයෙන්ද ඔවුනොවුන් අතර ගැළපීමක් තිබිය යුතුය. එවිට විවාහ දිවිය සමානුපාත වීම හේතුවෙන් සාර්ථක, රසාලිප්ත විවාහ දිවියක් ගත කිරීමේ වාසනාව උදාවනු ඇත. බටහිර රටවල විවාහ ජීවිත දෙදරා යන්නේ බොහෝ විට එක් රැයකින්ය. රාත්‍රි සාදයන් බොහෝවිට අවසන් වන්නේ විවාහක ස්ත්‍රී පුරුෂයන් එකිනෙකා හුවමාරුකර ගැනීමෙනි. ඔවුන් සැමියන් හා බිරින්දෑවරුන් මාරුකරගනුයේ ඇඳුම්මාරුකර ගන්නා අයුරිනි. එහෙත් පෙරදිග ජාතීන් වන අපට ආත්ම ගෞරවය ඉතාම වැදගත්ය. එනිසාම ඉන්දියාව, ලංකාව වැනි ආසියාකරයේ රටවල දික්කසාද වීම් හා විවාහ දෙදරායෑම් සිදුවන්නේ ඉතාමත් අවම ලෙසිනි. එයත් නොකරම බැරි අවස්ථාවලදී පමණී. ඉවසා ඉවසා බැරිම තැනදී එම අවසන් තීරණය ගැනීමට පෙලඹීම අසාධාරණද නැත. ආසියාවේ රටවල් බොහෝමයක ජනතාව දේව සංකල්පය ඉහළින්ම පිළිගන්නා බව රහසක් නොවේ. තිස්තුන් කෝටියක් දෙවිවරු සිටිනා බව අදහන ජනතාවක් අප රටේ මෙන්ම අසල්වැසි ඉන්දියාවේ ද එදා මෙන්ම අද ද සිටිති. එම නිසාම දෙවියන්ට බය පක්‍ෂපාතිභාවයක් උපතින්ම දෙරටේ වැසියන් තුළ උත්පාදනය වී ඇත. එම බය හා යටහත්පහත් භාවය හේතුවෙන් විවාහ බන්ධන බිඳ වැටීම් මෙන්ම දික්කසාද වීම්ද සිදුවන්නේ කලාතුරකිනි. එයද සිදුවන්නේ දෙවියන්ට බිය නැති, පොරොන්දම් පරීක්‍ෂණ ආදියට මුහුණ නොදී නක්‍ෂත්‍ර උපදෙස් නොතකා හිතුවක්කාරකමට, දුටු පමණින් කෙරෙන විවාහයන්වලදී පමණකි. හිතුවක්කාර විවාහයන් ද ඉඳහිට සාර්ථක වී ඇත. එයද බොහෝ විට ඉතාම කලාතුරකිනි. එය දෛවෝපගත විවාහයක් යැයි පැවසිය හැකිය. නමුත් එය හාවා හඳ දකින්නා සේ ඉතාම අඩු ප්‍රතිශතයකැයි නොබියව පැවැසිය හැකිය.

වර්තමානයේ හිතුවක්කාරී අන්දමින් විවාහ වන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව අප රට තුළද තරමක් ඉහළ ගොස් ඇති බවක් පෙන්නුම් කෙරේ. එවැනි අන්දමට හිතුවක්කාරී අයුරින් විවාහවන්නේ ළාබාල තරුණ කොටස් බව අවිවාදයෙන් පැවසිය හැකිය. තමා සිටින පරිසරය පිළිබඳ හෝ වැටහීමක් නැතිව නීත්‍යනුකූලව විවාහ වී හෝ නොවී, එකවහලක් යටට වී ලිංගික සැපත පමණක් අපේක්‍ෂා කරන මොවුන්ගේ විවාහ ජීවිත බොහෝ විට අසාර්ථක වී ඇති බව දනිමු. අවුරුදු දහසයට පෙර මවුපියන් වූ, ළාබාල අඳබාලයන් සියල්ලෝම දුටහට එක්වූවන් වෙති. ඔවුන් දුර දිග නොදුටු අතර වැඩිහිටියන්ගේ හා මවුපියන්ගේ ඔවදන් තඹ සතයකට හෝ මායිම් නොකළ වූවන් බවට විවාදයක් නොමැත. කෙසේ වෙතත් අනාදිමත් කාලයක සිට නොනැසී පවත්වාගෙන එන පොරොන්දම් පරීක්‍ෂණයට අද දවසේත් සියල්ලෝම ගරු කරන බවද කිව යුතු නැත. අන්‍යාගමික හා වෙනත් ජාතියන්ද තම දුවා දරුවන්ගේ අනාගත විවාහ දිවිය සාර්ථකත්වයට පත්කර ගැනීමේ අදිටනින් යුතුව පොරොන්දම පිළිබඳ විශ්වාසය තබා කටයුතු කිරීම අද වන විට ඉහළ අගයක් ගෙන ඇති බවක් පෙනේ. අපගේ පැරැණි පරම්පරාවල ජේ‍යාතිෂ මුතුන් මිත්තන් පොරොන්දම් ශාස්ත්‍රය මැනවින් දැන සිටි බවට සාක්‍ෂි එමට ඇත. ඔවුන් මේ පිළිබඳ හසළ දැනුමින් පෝෂණය වූවන් බව මුඛ පරම්පරාගතව එන කතාවලින් සනාථ වී ඇති නමුත්, ඔවුන් සතු වූ ශාස්ත්‍රීය දැනුම ඔවුන් සමඟම වැළලී යෑම කනගාටුවට කරුණක් ම විය. "පොරොන්දම්" යන වචනය ද්‍රවිඩ වදනක් ලෙස පෙනී ගියද, එය මුළුමනින්ම ද්‍රවිඩ වචනයක් නොවේ. අප රටෙහි භාවිත කරන මෙම 'පොරොන්දම' යන වචනය දෙමළ බසෙහි එන "පොරුන්ද සොල්වෝර්" යන නමින් බිඳී ආ වදනකි. "පොරුන්ද සොල්වන්" යනු ද්‍රවිඩ භාෂාවෙන් "වේද හා වේදාංග උගන්වන්නා" හැඳින්වීම සඳහා යොදා ගත් නාමය වන අතර අපගේ හෙළ නක්‍ෂත්‍රාචාර්යවරුන් එම "පොරුන්ද සොල්වන්" වදනෙන් නැඟෙන ශබ්දය තම කාර්යයටත් අප දේශයටත් ගැළපෙන අයුරින් "පොරොන්දම්" ලෙස නිර්මාණය කරගන්නට ඇතැයි පණ්ඩිත ඒ. දසනායක මැතිඳුන් තම "පොරොන්දම් විනිශ්චය" නමැති මාහැඟි ග්‍රන්ථයෙහි සඳහන් කර තිබේ. අපගේ හෙළ වියතුන් පොරොන්දම් ලෙසින් හඳුන්වන වදන සංස්කෘත භාෂාවෙහි යොදා ඇත්තේ "කූඨය" ලෙසිනි. මෙහිදී අෂ්ට කූඨය ලෙසින් පොරොන්දම් අටක් ප්‍රධාන කොට තිබේ.
  1. වර්ණ
  2. වශ්‍ය
  3. නැකැත්
  4. යෝනි
  5. රශ්‍යාධිපති
  6. ගණ
  7. රාශි
  8. නාඩි
යන පොරොන්දම් අට මෙහිදී සුවිශේෂී කොට ඇති අතර ඒ සඳහා දී ඇති මුළු ලකුණු සංඛ්‍යාව 36කි. මෙහිදී නාඩි පොරොන්දමට ලකුණු අටක්ද, රාශි පොරොන්දමට ලකුණු තුනක්ද වන ලෙසින් පිළිවෙළින් ලකුණු 36ක් ගැළපීම් සඳහා ලබාදී ඇත. ස්ත්‍රී, පුරුෂ දෙදෙනාගේ අෂ්ට කූඨයේ එකතුව 18ට වැඩි නම් සුබ වන අතර ලකුණු 36ම ලැබේ නම් ඉතාම සුබය. යම් පොරොන්දමක් මධ්‍යම නම් ලැබෙනුයේ ලකුණුවලින් අඩකි. උදාහරණයක් ලෙස දෙදෙනාගේ නැකැත් පොරොන්දම මධ්‍යම වේ නම් ලැබෙනුයේ ලකුණු තුනෙන් අඩක් වන ලකුණු 1 1/2කි.

උපුටා ගැනීම මව්බිම